යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වූ ස්විස්කුමාර් නමැත්තාට රැුකවරණය හා පොලිස් අත්අඩංගුවෙන් පැනයාමට අනුබල දීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ඌව හා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ. ජයසිංහ මහතා ලබන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කයිට්ස් අතිරේක මහෙස්ත‍්‍රාත් ආර්. සබේසන් මහතා ඊයේ (16* නියෝග කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කයිට්ස් අතිරේක මහෙස්ත‍්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට වෑන් රථයකින් ගෙන යන අතරවාරයේදී ගමන්ගත් වාහනය අළුයම 04.15ට පමණ කයිට්ස් තම්බාඩි ප‍්‍රදේශයේදී අනතුරකටද ලක්ව ඇත. එම අනතුරෙන් කිසිවකුට තුවාල සිදුවී නැතැයි කයිට්ස් පොලිසිය සඳහන් කරයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විකල්ප වාහනයකින් අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරුනේ උදෑසන 6.30ට පමණය.

විද්‍යා ඝාතනයේ නව වන සැකකරු වන මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඉන් මුදා හැර වැල්ලවත්තට පැනයාමේ සිද්ධියට අනුබල දී ඇත්තේ එවක උතුරු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකළේය.

විද්‍යා ඝාතන සිද්ධියේ විශේෂ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවති සාක්ෂි විභාගයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨාධිපතිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු වන වී. පී. තමිල්මාරන් නමැත්තාද සාක්ෂි දෙමින් සඳහන් කර සිටියේ පොලිසියේ ඉල්ලීම මත තමාගේ වාහනයෙන් පොලිසියට ගෙන ආ ස්විස් කුමාර් නමැත්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් යාපනය මූලස්ථාන පොලිසිය වෙත භාර කිරීමෙන් පසු වැල්ලවත්තෙන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

‍පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් ස්විස් කුමාර් නමැති අය මුදාහැරීම සඳහා ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා රුපියල් ලක්ෂ හතළිහක මුදලක් ලබාගත් බවත්, ස්විස් කුමාර් නමැත්තා කොළඹ විශ්වවිද්‍යාලයයේ නීති පීඨයේ පීඨාධිපති තමිල් මාරන් නමැති අයගේ ඥාති සම්බන්ධයක් තිබෙන බවත්ය. මෙම ස්විස් කුමාර් නමැති සැකකරු වව්නියාව ප්‍රදේශයට යනතුරු ‍පොලිස් ආරක්ෂාව ලබාදී ඇතැයිද ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

එමෙන්ම ඉකුත් ජනාධිපතිවරණ සමයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වීමට නියමිතව සිටි කහවත්ත ප්‍රදේශයේ රැස්වීමක සැරසිලි කටයුතු කරමින් සිටියදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන දේශපාලනඥයා නිදහස් කරන ලෙසට ‍පොලිස් ස්ථානාධිපතිවරයකුට මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා බලපෑම් කර ඇතැයිද අනාවරණය වී ඇත.

මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා දකුණේ පාතාල කල්ලි සමගද සබඳතා පැවැත්වූ බවටද අනාවරණය වී ඇත. පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් දකුණේ චීවරධාරියකු සමග ඔහු සබඳතා පැවැත් වූ බවද අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ රහස් පොලිසිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සෙනසුරාදා (15* වැනිදා උදෑසන කැ`දවා වැඩිදුර විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්තේය. අනතුරුව ලබන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග විණි.

රිමාන්ඞ් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර බන්ධනාගාරයේ ර`දවන ලෙසටද අතිරේක මහෙස්ත‍්‍රාත් සබේසන් මහතා නියෝග කළේය.ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ පසුගිය දිනක මෙරට සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ පොලිස් නිලධාරියකුගෙන් හෝ කිසිම වරදක් නොවිය යුතු බවය.

සාලිය කුමාර ගුණසේකර/ පැතුම් රණසිංහ/එෆ්. අස්ලම්