කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා නාවික හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂව සිටියදී ඔහු යටතේ පැවති කණ්ඩායම් දෙකක් විසින් පුද්ගලයින් 11 දෙනකු පැහැරගෙන ඇත්තේ ඔවුන්ගෙන් මුදල් ලබා ගැනීමේ අරමුණින් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පුළුල් විමර්ශනවලින් අනාවරණය වී ඇති බවත්, මෙම පුද්ගලයින් 11 දෙනා ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ නොමැති බව ත්‍රිවිධ හමුදා,‍පොලිස් සහ බුද්ධි අංශ අනාවරණය කර ඇති බවත්, මෙම 11 දෙනා ඇතුළුව පුද්ගලයින් 28 දෙනෙකු අතුරුදහන්වී ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍පොලිස් අධිකාරී, නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේය. නාවික හමුදා කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව විවිධ මත, විවිධ අදහස් මේ දිනවල කතාබහ කෙරෙන බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බවත්, වාචික සාක්ෂි සහ විද්‍යාත්මක සාක්ෂි වලින් ඔහුට විරුද්ධව චෝදනා අනාවරණය වී ඇතැයිද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේය.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා 2009 වසරේ මැයි මස 28 වැනි දින ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් සම්පත් මුණසිංහ යන අයට විරුද්ධව කොළඹ අපරාධ කොට්ඨාශයේ පැමිණිල්ලක් කළ බවත්, එම පැමිණිල්ලට අනුව ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් මුණසිංහ සහ ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් සම්පත් හෙට්ටිආරච්චි යන දෙදෙනාගේ කැබින් එක පරීක්ෂා කිරීමේදී පුද්ගලයින් සිවු දෙනකුගේ ජාතික හැඳුනුම්පත්ද, එම සිව් දෙනාගෙන් එක් අයකුගේ විදේශ ගමන් බලපත්‍රයක්ද, විවිධ වර්ගයේ ජීව පතරොම් 450 ක්ද, ජංගම දුරකථනයක් සහ රුපියල් ලක්ෂ දහයක ‍පොරොන්දු නෝට්ටු හමුවූ බවට එම පැමිණිල්‍ලේ සඳහන්ව තිබූ බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

හිටපු නාවික හමුදාපතිවරයාගේ එම පැමිණිල්ලට අනුව සිය ප්‍රධාන ආරක්ෂක නිලධාරියා සතුව මෙවැනි දෑ තිබිය නොහැකි බවත්, ඔහු ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධයක් තිබේදැයි සැකයක් පවතින බවට එම පැමිණිල්‍ලේ සඳහන්ව තිබූ බවද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම පැමිණිල්ල 2009 වසරේ ජූනි මස 10 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවත්, ඒ අනුව පරීක්ෂණ කටයුතු ඇරඹුණු බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේය.

කොමදෝරු දසනායක යන අයගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිගේ කැබින් එකේ තිබූ ජාතික හැඳුනුම්පත් හතර, මන්නාරමේ පදිංචි සුසෙයි පුල්‍ලේ අමලන් ලියෝන්, ඔහුගේ පුතාවන සුසෙයි පුල්‍ලේ රොෂාන් ලියෝන්, කොටහේනේ පදිංචි කස්තුරි ආරච්චිගේ ඇන්ටනි, ත්‍රිකුණාමලයේ පදිංචි ත්‍යාගරාජා ජෙගන් යන අයගේ බවද හෙතෙම පැවසීය.

කොමදෝරු දසනායක මහතා යටතේ කණ්ඩායම් දෙකක් පැවති බවත්,එම කණ්ඩායම් දෙක ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් සම්පත් මුණසිංහ සහ ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් සම්පත් හෙට්ටිආරච්චි යන අයවලුන් මෙහෙයවා ඇති බවත්, ඔවුන් දෙදෙනාට විරුද්ධව නාවික හමුදාවේ නීති ඒකකයට පැමිණිලි කීපයක් ලැබි තිබූ බවත් ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

2008 වසරේදී දෙහිවල ප්‍රදේශයේදී තවත් තරුණයින් පස්දෙනකු අතුරුදහන් වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගත් බවත්, එම පස්දෙනා නම් කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ රජිව් නාදන්, ප්‍රදීප් විශ්වනාදන්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන තිලකේෂ්වර රාමලිංගම්, මරදානේ පදිංචිකරුවකු වන මොහොමඩ් ජමල්ඩින් ඩිලාන් යන පුද්ගලයින් පස් දෙනා බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද තවත් පරීක්ෂණවලදී තවත් පුද්ගලයින් දෙදනකු අතුරුදහන් බවට තොරතුරු අනාවරණය වූ බවත්, එම පුද්ගලයින් දෙදෙනා දෙහිවල පදිංචි මොහොමඩ් අන්වර් සහ කොටහේනේ පදිංචි කස්තුරි ආරච්චිලාගේ ගොඩ්රික් යන අය බවට අනාවරණය වී ඇතැයිද ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම පුද්ගලයින් 11 දෙනාගේ අතුරුදහන්වීම සම්බන්ධව ප්‍රබල සාක්ෂි රැසක් ලැබි ඇති බවත්, සිවිල් පුද්ගලයින්ගෙන්, අතුරුදහන්වූවන්ගේ හිතවතුන් සහ ඥාතීන්ගෙන්, නාවික හමුදාවේ නිලධාරීන්ගෙන් සහ සෙසු නිලයන්ගෙන් සාක්ෂි ලැබි ඇති බවත් ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මෙම තරුණයින් 11 දෙනා කොමදෝරු ඩී.කේ.පී.දසනායක මහතා යටතේ ක්‍රියාත්මක වූ කණ්ඩායම් දෙක විසින් පැහැර ගැනීමෙන් අනතුරුව කොළඹ, ෙචෙත්‍ය පාරේ කඳවුරක සහ ත්‍රිකුණාමලය කඳවුරේ රඳවා සිටියදී එම තරුණයින් ජංගම දුරකථනවලින් වරින් වර සිය පවු‍ලේ ඥාතීන් අමතා ඇති බවත්, එම දුරකථන ඔවුන්ට දී ඇත්තේ ඔවුන්ව පැහැර ගැනීම අනුමත නොකළ නාවික හමුදාවේ සෙසු නිලධාරීන් බවත්, එම දුරකථන ඇමැතුම් ගැනීම සඳහා අවශ්‍ය මුදල් අතුරුදන්වූවන්ගේ ඥාතීන් පෙරගෙවුම් කාඩ්පත් මගින් දී ඇති බවට අනාවරණය වී ඇති බවත්, එවැනි ජංගම දුරකථන 15 ක ප්‍රබල දුරකථන විශ්‍ලේෂණ වාර්තා සහ දුරකථන සංඥා කුලුනු පිළිබඳ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගනු ලැබ ඇතැයිද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සුසෙයි පුල්‍ලේ අමලන් ලියෝන් සහ ඔහුගේ පුතාවන සුසෙයිපුල්‍ලේ රොෂාන් ලියෝන් යන දෙදෙනා පැහැරගෙන ඇත්තේ ඔවුන් දෙදෙනා හමුවීමට එංගලන්තයේ සිට පැමිණි මයික් හෝගන් නැමති අයකු ඉදිරිපිටදී බවත්, ඔහු එංගලන්තයේ සිට පැමිණ ඇත්තේ රොෂාන් ලියෝන් නමැති අය එංගලන්තයේ ප්‍රාන්තයක පාපන්දු ක්‍රීඩා සමාජයක පුහුණුකරුවෙකු බවත්, පාපන්දු ක්‍රීඩාව සඳහා රොෂාන් ලියෝන් කැඳවාගෙන යාමට ඔහු පැමිණ ඇති බවත්, පැහැර ගැනීමට පැමිණි අයවලුන් මයික් හෝගන් නමැති අයටද තර්ජනයකර ඔහුගේ ජංගම දුරකථනය පැහැරගෙන ඇති බවත්, ලුතිනන් කොමදෝරු සම්පත් මුණසිංහගේ කැබින් එක තුළ තිබුණේ එම ජංගම දුරකථනය බවට අනාවරණය වී ඇති බවද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මෙලෙස පැහැරගත් එක් අයකුගේ වාහනයක්ද ලබාගෙන එහි චැසි අංක සහ එන්ජින් අංක වෙනස්කර නාවික හමුදාවට අයත් බවට අංක යොදා ඇති බවත්, එම වාහනයේ චැසි අංක සහ එන්ජින් අංක මකාදමා ඇතැයි රස පරීක්ෂක වාර්තා මගින් අනාවරණය වී ඇති බවද ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේය. ඥාතීන් එම වාහනය හඳුනාගත් බවද හෙතෙම කීවේය.

මෙම පුද්ගලයින්ගේ අතුරුදහන්වීම සම්බන්ධව ඔවුන්ගේ ඥාතීන් කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතාට දන්වා ඇති බවත්, පැහැරගත් පුද්ගලයන්ගේ ඥාතීන්ගේ වාචික ප්‍රකාශ, දුරකථන විශ්‍ලේෂණ වාර්තා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දසනායක මහතා භාවිත කළ ජංගම දුරකථන සිම්පත් කීපයක දුරකථන විශ්‍ලේෂණ වාර්තා පරීක්ෂා කිරීමෙන් අනාවරණය කරගෙන ඇති බවත් හෙතෙම පැවසීය.

ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් සම්පත් මුණසිංහ සහ සම්පත් හෙට්ටිආරච්චි යන දෙදෙනා මීට පෙර අත්අඩංගුවට ගත් බවද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මෙම පුද්ගලයින් 11 දෙනාගේ අතුරුදහන් වීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් සම්පත් මුණසිංහ, එවකට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සේවය කල කමාන්ඩර් රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ, සාමාන්‍ය නිලධාරීන් වන තිලකරත්නගේ ලක්ෂ්මන් උදය කුමාර, නලීන් ප්‍රසන්න වික්‍රමසූරිය, තම්මික ඉහළගෙදර ධර්මදාස, රාජපක්ෂ පතිරණගේ කිත්සිරි සහ අවසන් වරට කොමදෝරු ඩී.කේ.පී.දසනයක යන අයවලුන් අත් අඩංගුවට ගත් බවත්, මීට වසර දෙකකට පෙරදී අත් අඩංගුවට ගත් ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් සම්පත් මුණසිංහ යන අය ඇප මත මුදා හැර සිටින බවද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.අනෙක් පිරිස රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවද ඔහු කීවේය.මෙම අතුරුදහන්වූවන් 11 දෙනා යම් දේ‍පොළක් සහිත අයවලුන් බවද ඔහු කීවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ හිතුමතේ නොව පැහැදිලි සාක්ෂි මත බවත්, මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධව යම් අයකු අභියෝග කරන්නේ නම් මානව හිමිකම් කොමිසමට සහ ශේ්‍රෂ්ඨාධිකරණයට පැමිණිලි කළ හැකි බවද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේය. මෙම පැහැර ගැනීම නාවික හමුදාවේ ක්‍රියාවලියක් නොවන බවද, මෙම විමර්ශන කටයුතු තවදුරටත් කෙරෙන බවත්, ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් හෙට්ටිආරච්චි නමැති අය රවිරාජ් ඝාතනයේ එක් සැකකරුවකු බවද හෙතෙම පැවසීය.

සාලිය කුමාර ගුණසේකර
පැතුම් රණසිංහ