දෙවැනි වරට සංවිධානය කරන ලද ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලිය යටතේ කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි අදියරට අයත් පළමු දින තරග නිමාවට පත්වෙද්දී පළමු අදියර පළඟ ශූරතාව දිනාගත් ඇක්සස් කිංග්ස් හා බඳුන ශූරතාව දිනාගත් ඊසි වෝල්ව්ස් යන කණ්ඩායම් වෙතින් වැඩි දස්කම් මතුව තිබිණි.එහිදී ඇක්සස් කිංග්ස් පිල සොෆ්ට්ලොජික් වොරියර්ස් පිල වෙතින් ලකුණු 24-12ක් ලෙස පරාජය වී තිබුණද කේ.බි.එල්. ඩ්‍රැගන් පිල ලකුණු 47-07ක් ලෙස හා එටිසලාට් පැන්තර්ස් පිල ලකුණු 24-07ක් ලෙස පරාජය කරනු ලැබිය.

එසේම පළමු අදියර දී බඳුන ශූරතාව දිනාගත් ඊසි වෝල්ව්ස් පිල ලකුණු 31-12ක් ලෙස වෝර්කස් වයිෆර්ස් පිල හා කාගිලස් ග්ලැඩියේටර්ස් පිල ලකුණු 19-10ක් ලෙස පරාජය කොට මොබිටෙල් ඊගල්ස් පිල වෙතින් පමණක් ලකුණු 24-21ක් ලෙස පරාජය වී තිබිණි.

කොහොම නමුත් මෙවර පළමු අදියරේදී ශූරතාවද හිමි කරගෙන කොළඹ පැමිණි මොබිටෙල් ඊගල්ස් පිලට මෙම දෙවන අදියර පළමු දිනයේ ජයග්‍රහණය කිරීමට හැකිවූයේ ඊසිවෝල්ව්ස් පිලට එරෙහිව පමණක් වීම කැපී පෙනුණි. එම තරගය ඔවුන් ලකුණු 24-21ක් ලෙස ජය ගත්තද වෝර්කර්ස් වයිපර්ස් පිල වෙතින් ලකුණු 17-12ක් ලෙස හා කාගිල්ස් ග්ලැඩියේටර්ස් පිල වෙතින් ලකුණු 29-14ක් වශයෙන් පරාජයට පත් වූහ.

මේ අනුව ඊයේ (16) මොබිටෙල් ඊගල්ස් වෝර්කර්ස් වයිපර්ස්, ඊසි වොල්ව්ස් හා කාගිල්ස් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් ‘ඒ’ කොටසින්ද සොෆ්ලොජික් වොරියර්ස්, ඇක්සස් කිංග්ස්, කේ.බි.එස්.එල්. ඩ්‍රැගන් හා එටිසලාට් පැන්තර්ස් යන කණ්ඩායම් ‘බි’ කොටසින්ද තරග වැදීමට නියමිතව ඇත.

අදියර දෙකකින් සමන්විතව හා කණ්ඩායම් අටක සහභාගිත්වයක් ඇතිව මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ පසුගිය සතියේ පැවැති පළමු අදියර ජයග්‍රහණය කළ පසුගිය වසරේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ඊගල්ස් පිල ප්‍රසාද ලකුණු 30ක් අත්කර තිබූ අතර එහිදී ප්‍රසාද ලකුණු 25ක් සහිතව සොෆ්ට්ලොජික් වොරියර්ස් පිල දෙවන ස්ථානයේද ප්‍රසාද ලකුණු 21ක් ලබා ගත් ඇක්සස් කිංග්ස් පිල තෙවැනි ස්ථානයේද පසුවූහ.එහි අවසන් තරගයේදී ශ්‍රී ලංකා මොබිටෙල් ඊගල්ස් පිල ලකුණු 19-05ක් ලෙස සොෆ්ට්ලොජික් වොරියර්ස් පිල පරාජයට පත් කළේය.

ඇක්සස් කිංග්ස් පිල ලකුණු 31-7ක් ලෙසින් වෝකර්ස් සී.එම්.එල්. පිල පහසුවෙන් පරාජය කොට පලඟ ශූරතාවද ඊසි වොල්ව්ස් පිල ලකුණු 19-14ක් ලෙස කේ.බි.එස්.එල්. ඩ්‍රැගන් පිල පරදවා බඳුන ශූරතාවද එටිසලාට් පැන්තර්ස් පිල ලකුණු 17-00ක් ලෙස කාගිල්ස් ග්ලැඩියේටර්ස් පිල පරදවා පළිහ ශූරතාවද දිනා ගත්හ.

ඡායා – ඒෂාන් දසනායක

මොබිටෙල් ඊගල්ස්- ඊසි වෝල්ව්ස් තරගයේ අවස්ථාවක්
මොබිටෙල් ඊගල්ස්- ඊසි වෝල්ව්ස් තරගයේ අවස්ථාවක්