පසුගිය ජූලි 14 සිට 23 වැනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවර ඔලිම්පික් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 2017 ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ආරම්භක දිනයේදීම රිදී පදක්කමක් දිනා ගන්නට සමත් වී තිබිණි.

එම පදක්කම ශ්‍රී ලංකාවට අත්කර දී ඇත්තේ එදින පවත්වන ලද පිරිමි එෆ් 46 හෙල්ල විසි කිරීමේ තරගයට සහභාගි වූ දිනේෂ් ප්‍රියන්ත හේරත් විසිනි. ඔහු එම රිදී පදක්කම දිනා ගැනීම පිණිස මීටර් 56.93ක දුරක් වාර්තා කර තිබූ අතර රන් පදක්කම ඉන්දියාවට අත්කර දුන් ගුර්ජාර් සුන්දර් සිං වාර්තා කරන ලද දුර ප්‍රමාණය මීටර් 60.36කි.

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම චීන ක්‍රීඩක ජියූ චුන්ලියැන් මීටර් 56.14ක දුරක් සටහන් කරමින් ජය ගත්තේය. මේ අනුව මෙම ඉසව්ව වෙනුවෙන් ප්‍රදානය කරන ලද පදක්කම් තුනම ආසියානු කලාපයට හිමිවීම විශේෂත්වයක් විය.

මේ අතර තරගාවලියේ දෙවන දිනයේ (15) පැවැති පිරිමි මීටර් 200 ටී 42 අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක අනිල් ප්‍රසන්න ජයලත් හයවැනි ස්ථානයට පත්වී තිබිණි. ඔහු ඒ සඳහා තත්පර 25.28ක කාලයක් වැය කර තිබූ අතර රන් පදක්කම දිනූ එංගලන්ත ක්‍රීඩක වයිට්හෙඩ් රිචඩ් තරගය නිම කර තිබුණේ තත්පර 23.26කදීය. රිදී පදක්කම දිනූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා තත්පර 23.95ක් හා ලෝක පදක්කම දිනූ එංගලන්ත ක්‍රීඩකයා තත්පර 24.73ක කාලයක්ද ඒ සඳහා වැය කර ඇත.

සීවලී එදිරිවීර