දිලානි මනෝදර එක් දින දිවියේ හොඳම ඉනිම ලෙස ලකුණු 84ක් ලැබිමත් චන්දිමා ගුණරත්න එක්දින දිවියේ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 41ට කඩුලු 4ක් ගැනීමත් නිසා ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ප්‍රථම ජය වාර්තා කිරීමට ලිස්ටර්ෂයර්වලදී සමත් වූයේ පාකිස්තානයට එරෙහිව තියුණු ලකුණු 15ක ජයක් සමගිනි. චන්දිමා තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබිය.

මුල් තරග හය අඛණ්ඩව පැරදුණ ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේ තමන්ට ලැබුණු අවසාන තරගයේදී කාසියේ වාසිය ලබා කඩුලු හතට ලකුණු 221ක් ලැබිමේදී මනෝදර ලකුණු 84ක් පන්දු 111ක් තුළ 4 පහර 9ක් සහිතව ලැබිම කැපී පෙනුණි.

චමරි අතපත්තු ලකුණු 27ක්ද ඒෂානි කෞෂල්‍යා ලකුණු 28ක් ද ලැබූහ. පාකිස්තාන පිල ලකුණු 206කට ඕවර 46.4කට සීමා කිරීමට සමත් වූ ශ්‍රී ලංකා පිලට පා දඟ පන්දුවෙන් ආරම්භක පන්දු යැවූ චන්දිමා ගුණරත්න ඕවර 10 තුළ ලකුණු 41ට කඩුලු 4ක් ලබා දක්ෂ පන්දු යැවීමක නිරත වීම කැපී පෙනුණි. අමා කාංචනා ලකුණු 31ට කඩුලු 2ක් ලැබිය.

මේ වන විටත් ලෝක කුසලාන කාන්තා තරගාවලියේ එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලැබිම කැපී පෙනේ.

ලකුණු සාරංශය
ශ්‍රී ලංකාව ඕවර 50 තුළ කඩුලු 7ට ලකුණු 22/1, හෂිනි පෙරේරා 13, චමරි අතපත්තු 27, ශෂිකලා සිරිවර්ධන 17, දිලානි මනෝදර 84, එෂානි කෞෂල්‍යා 28, අමා කාංචනා නොදැවී 21, ඩයනා බයිග් 3/41,
පාකිස්තානය ඕවර 46.4 තුළ සියලු දෙනා දැවී ලකුණු 206, නයින් අබිචි 57, ජවේරියා ඛාන් 24, අස්මවියා ඉක්බාල් නොදැවී 38, චන්දිමා ගුණරත්න 4/41, අම කාංචනා 2/31.