ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවේ ඊයේ (16) සිම්බාබ්වේ පිල දෙවැනි ඉනිමට කඩුලු 6 ට ලකුණු 252 ක් ලබමින් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා පිලට අභියෝග කළේ තවත් කඩුලු 4 ක් අතැතිව ලකුණු 262 ක වාසියක්ද සමගය. රංගන හේරත් විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් මේ වන විට තරගයේ කඩුලු 9 ක් ලබා තිබියදීත් සටන්කාමී ඉනිමක නිරත වූ සිකන්දර් රාසා පන්දු 158 න් නොදැවී ලකුණු 97 ක් ලබා මැල්කම් වොලර් (නොදැවී ලකුණු 57 ක් සමග 7 වැනි කඩුල්ලට ලකුණු 107 ක නොබිඳුණු සබඳතාවක් එක්කරමින් ශ්‍රී ලංකා පිලට මෙම ටෙස්ට් තරගයේ මේ වන විට ප්‍රබල පීඩනයක් ලබා දී ඇත්තේ දඟ පන්දු යවන්නන් ඉදිරියේ සිම්බාබ්වේ පි‍ලේ ජවය කදිමට පෙන්නුම් කරමිනි.

ප්‍රථම ඉනිමේ ලකුණු දහයක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ සිම්බාබ්වේ පිල ඊයේ (16) දිවා භෝජනය වන විට ලකුණු 23 කට කඩුලු 4 කට දැවී දැඩි අවදානම් තත්ත්වයක පැවතියදී සිකන්දර් රාසා සහ පීටර් වෝර් එක්ව හයවැනි කඩුල්ලට ලකුණු 89 ක සටන්කාමී සබඳතාවක් තැබිම නිසා ශ්‍රී ලංකා පිලට මෙම ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ අභියෝගයක් ලබා දීමට කැපී පෙනේ.

ශ්‍රී ලංකා පි‍ලේ ගැලවුම්කාරයා වූ පා දඟපන්දු යැවීමේ විශේෂඥ රංගන හේරත් දෙවැනි ඉනිමේ මුල් 4 ලකුණු 27 කට ඕවර දහයක් ඇතුළත ලබා ගත්තේ දෙවැනි ඉනිමේ ආරම්භක පන්දු යවන්නා වෙමිනි. සිම්බාබ්වේ පිල මුල් ඉනිමේ කේ‍රග් අර්වින්ගේ ලකුණු 160 න් සවිමත් වී ලකුණු 356 කට සියලු දෙනා දෙවැනි දිනයේ උදෑසන දැවීයාමේදී රංගන හේරත් තමාගේ ටෙස්ට් ඉනිමේ කඩුලු පහ ගණනේ 30 වැනි වතාවකට ලබා ගැනීම කැපී පෙනුණි. ඒ අනුව ලකුණු 116 කට කඩුලු 5 ක් ලැබූ රංගනට ලහිරු කුමාර හා අසේල ගුණරත්න කඩුලු 2 බැගින් ලබා සහාය ලබා දුන්නේ සිම්බාබ්වේ පිල ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට මෙතරම් හොඳ පිතිකරණයක් දැක්වූ ටෙස්ට් තරගයකදීය.

ශ්‍රී ලංකා ඉනිම ප්‍රථම ඉනිමේ ලකුණු 84 ක සබඳතාවක් උපුල් තරංග (71) හා දිමුත් කරුණාරත්න (25) සමගින් තබා පසුව නායක දිනේෂ් චන්දිමාල් (55) හා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් (41) සමග ලකුණු 94 ක සිව්වැනි කඩුල්‍ලේ සබඳතාවක් තැබිම කැපී පෙනුණි. ඊයේ දිනය ආරම්භයේ ශ්‍රී ලංකා පිල ප්‍රථම ඉනිමට කඩුලු 7 ට ලකුණු 293 ක් සමගින් ප්‍රථම ඉනිමට ලකුණු 63 ක් පිටුපසින් සිටිය අතර විනාඩි 75 ක් අවසානයේ සියලු දෙනා ලකුණු 346 කට සීමා වූයේ ග්‍රැහැම් ක්‍රීමර් තමාගේ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 125 කට කඩුලු 5 ක් ලැබිමත් සමගය.

අසේල ගුණරත්න පාදයේ ආබාධයක්ද සහිතව අවසන් පිතිකරු ලෙස ප්‍රථම ඉනිමේ ලකුණු 45 කට දැවීගිය අතර ඔහුගේ ආබාධය නිසා පිටියේ පන්දු රැකීමටද ඒමට නොහැකි වීම ශ්‍රී ලංකා පිලට තදින්ම බලපෑවේ ඔහු පන්දු යැවීමේදී ද දක්ෂතා දැක්වූ හෙයිනි.

කෙසේ වුවද රංගන හමුවේ මුලින් ඇඹරුණු සිම්බාබ්වේ පෙර පෙළ පිතිකරුවන්ට වඩා සිකන්දර් රාසා සටන්කාමී අර්ධ ශතකයක් ලැබිම සිය ශ්‍රී ලංකා පිලට මෙම පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ පීඩනය වැඩි වීමට බලපා ඇත්තේ සිව්වැනි ඉනිමේ ක්‍රීඩා කිරීමේ ක්‍රීමර්, විලියම්ස් වැනි දඟපන්දු යවන්නන්ගේ ද අභියෝගයට මුහුණ දීමට සිදුවන හෙයිනි.

ඊයේ තරගයේ අවසන් කාර්තුවේදී සිකන්දර් රාසා පන්දු 62 න් තම අර්ධ ශතකය 4 පහර 4 ක් සමගින් ලැබූ අතර ඔහුට අනගි සහායක් 7 වැනි කඩුල්ලට නැවතත් එක් කිරීමට මැල්කම් වොලර් සමත් වී තිබුණි.

අද තරගයේ සිව්වැනි දිනයයි. ශ්‍රීලංකා පිලට ලැබෙන අභියෝගය හමුවේ පිතිකරුවන්ගේ ක්‍රියාත්මක වීම තුළ තරගයේ තීරණය වීමට හැකි නිසා නව ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට අභියෝගය තවත් ප්‍රබල වී ඇත්තේ සිම්බාබ්වේ පිලට එරෙහිව තරගයේ වාසිය ලැබිම සඳහාය.

රංගන හේරත්, දඟ පන්දුවෙන් නැවතත් දක්ෂතා
ග්‍රැහැම් ක්‍රීමර් හොඳම පන්දු යැවීමෙන් ශ්‍රීලංකා පිල බිඳ දමයි

ලකුණු සාරාංශය

සිම්බාබ්වේ පළමු ඉනිම (සියලු දෙනා දැවී ) 356
සී. අර්වින් 160, සිකන්දර් රාසා 30, එම්. වොලර් 36
ලහිරු කුමාර 2/68, රංගන හේරත් 5/116, අසේල ගුණරත්න 2/28
ශ්‍රී ලංකාව පළමු ඉනිම (සියලු දෙනා දැවී) 346
උපුල් තරංග 71, දිනේෂ් චන්දිමාල් 55, ඇන්ජලෝ මැතිව්ස් 41, දිල්රුවන් පෙරේරා 32, අසේල ගුණරත්න 45
ගේ‍රහැම් ක්‍රීමර් 5/125, ෂෝන් විලියම්ස් 2/62

සිම්බාබ්වේ දෙවැනි ඉනිම
හැමිල්ටන් මැසකඩ්සා ක. මු. ක. ප. හේරත් 07
රෙගිස් චකබ්වාප. හේරත් 06
මරිසායි මුසකන්ඩා ඇ. දිමුත් ප. හේරත්00
කේ‍රග් අර්වින් ඇ. දිමුත් ප. දිල්රුවන් 05
ෂෝන් විලියම්ස් ප. හේරත් 22
සිකන්දර් රාසා නොදැවී 97
පීටර් මුවර් ඇ. අතිරේක ප. ලහිරු 40
මැල්කම් වොලර් නොදැවී 57
අතිරේක – 18
මුළු ලකුණු (කඩුලු 6 ක් දැවී) 252
කඩුලු බිඳවැටීම 1-14, 2-16, 3-17, 4-23, 5-59, 6-145
පන්දු යැවීම
සුරංග ලක්මාල් 9-0-28-0 රංගන හේරත් 23-2-85-4
දිල්රුවන් පෙරේරා 21-1-69-1 ලහිරු කුමාර 11-3-43-1
කුසල් මෙන්ඩිස් 4-0-16-0

ඡායා : ඉෂාර එස්. කොඩිකාර