මේ රටේ කිසියම් ආපදාවකට ලක් වූ ජනතාවට වන්දි ගෙවීම පිළිබඳ ඇත්තේ එතරම් යහපත් චිත‍්‍රයක් නොවේ. මෑත අතීතයේ සිදුවූ නාය යෑම, ගං වතුර ආදි ආපදා නිසා විපතට පත් ජනතාව කිසිදු හව්හරණක් නැතිව කුඩාරම්වල හෝ පාසල් පන්ති කාමරවල මාස ගණන් තපින්නට විය. එවැනි තැන්වල ජනතාවට සිය මූලික අවශ්‍යතා  පවා සපුරා ගැනීමේ හැකියාවක් නොමැති අතර එලෙස අවතැන් වූ සියලූ දෙනාට අදටත් විසඳුම් සහ වන්දි මුදල් ලබා දී අවසන් ද යන්න ගැටලූවකි. බොහෝ විට ජනතාවට වන්දි මුදල් ලබා ගැනීම සඳහා ද උද්ඝෝෂණ කිරීමට සිදු විය. කල දුටු කල වළ ඉහින දේශපාලන කල්ලි ඒ ජනතාව අතරට රිංගා ඇවිළෙන රැුවුලෙන් සුරුට්ටු දල්වති.

එවැනි පසුබිමක උමා ඔය ව්‍යාපෘතිය නිසා හානි වූ දේපළ සඳහා සැප්තැම්බර් 15 වන දිනට පෙර වන්දි  ලබා දීමට ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කළ කැබිනට් අනුකමිටුව තීරණය කිරීම අගය කළ යුතුය. ව්‍යාපෘතිය නිසා හානියට පත් ජනතාවගේ දේපළ පිළිබඳ තක්සේරුව අගෝස්තු මස 1 වන දිනට පෙර සිදු කොට අවසන් කරන ලෙස ද අනුකමිටුව උපදෙස් ලබා දී තිබේ. මේ වන විට එහි වන්දි ගෙවීම් කටයුතු සඳහා දිස්ත‍්‍රික් ලේකම්වරුන්ට රුපියල් මිලියන 300ක් ලබා දී ඇති අතර තක්සේරු කටයුතු අවසන් කළ වහා ම අදාළ වන්දි මුදල් ගෙවීම ආරම්භ කිරීමට ද උපදෙස් ලබා දී තිබේ.

ස්වභාවික ආපදා පිළිබඳ අපට කලින් අනාවැකි පළ කළ නොහැකි වුව ද සංවර්ධන කටයුතු නිසා මතු විය හැකි හදිසි තත්ත්වයන් සඳහා මුහුණ දීමට සුදානම් වීමේ නොහැකියාවක් නොමැත. ලොව කිසිදු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් කිසිදු පරිසර හානියක් නොමැතිව කළ නොහැකි අතර කළ හැක්කේ හානිය අවම වන ආකාරයට එම කටයුතු කිරීම පමණි. එහෙත් සංවර්ධනයට මුවා වී පරිසර සංහාරයට කිසිවකුට අයිතියක් නොමැති අතර එය අවසානයේ සියතින් ගෙල සිඳ ගැනීමකි.

පරිසර හානි අවම වන ආකාරයට සියලූ සංවර්ධන කටයුතු සැලසුම් කළ යුතු අතර කිසියම් පරිසර හානියක් සිදු වුවහොත් ගතයුතු කෙටි කාලීන සහ දිගු කාලීන ක‍්‍රියා මාර්ග මොනවා ද යන්න එම ව්‍යාපෘති සැලසුමේ අනිවාර්ය අංගයක් විය යුතුය. ඒ සඳහා ප‍්‍රයෝජනයට ගැනීමට කිසියම් අරමුදලක් වෙන් කර තබා ගැනීම වැදගත්ය. එවිට යම් හදිසි අවස්ථාවක ඊට ගොදුරු වන ජනතාව පීඩනයට ලක් නොකර ප‍්‍රමාදයකින් තොරව ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබා දිය හැකිය. උමා ඔය ව්‍යාපෘතිය අතරතුර හදිසියේ මතු වූ පාරිසරික ගැටලූ නිසා ප‍්‍රදේශවාසී ජනතාවට විවිධ ගැටලූවලට මුහුණ පෑමට සිදුවිය. නිවාස ඉරි තළා විනාශ වීම, ළිං සිඳී යාම, වගා බීම් පාළු වීම ඒ අතර වෙයි.

මේ ආපදා නිසා ජනතාවට සිදු වූ හානි තක්සේරු කර වන්දි ගෙවීම සඳහා ක‍්‍රමවේදයක් නිර්මාණය කළේ නම් එම වන්දි මුදල් ලබා දීමට වහා කටයුතු කළේ නම් උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව ජනතාව පාරට රැුගෙන ඒමට දේශපාලන බලවේගවලට අවස්ථාව ලැබෙන්නේ නැත. රටට ද ජනතාවට ද සිදු වූ හානියට මුවා වී කිසිවකුට දේශපාලන වාසි ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැත. ජාතික ආපදාවල දී සියලූ දේශපාලන මතවාද පසෙක ලා පක්ෂ දේශපාලන න්‍යාය පත‍්‍ර ඉවත දමා කටයුතු කරන ශිෂ්ට දේශපාලනයක් තවමත් අපේ රටේ දක්නට නො ලැබීම අවාසනාවකි.

වසර ගණනාවක් තිස්සේ 78%ක් පමණ වැඩ අවසන් කළ ව්‍යාපෘතියක් නිසා හදිසියේ මතු වූ පාරිසරික ගැටලූ නිසා එය නතර කර දමන්න යැයි ජනතාව උසිගන්වා පාරට කැඳවීම ඔස්සේ පරිසරයට ජනතාවට හෝ රටට සිදු වන යහපතක් නැත. එම ව්‍යාපෘතියේ කටයුතු හැකි ඉක්මනින් අවසන් කිරීම මගින් සිදුව ඇති පරිසර හානිය යම්තාක් දුරකට අවම කරගත හැකි බවට ඉංජිනේරුවන් අදහස් පළ කොට ඇති පසුබිමක පවා ඇතැම් දේශපාලන බලවේග කටයුතු කළේ ආණ්ඩු විරෝධි පක්ෂ දේශපාලනයකි. ඔවුන්ට සිය පක්ෂ දේශපාලනය මිස විශේෂඥ අදහස් වැදගත් වූයේ නැත.

විශාල වැඩ කොටසක් අවසන් කළ උමා ඔය වැනි දැවැන්ත ව්‍යාපෘතියක් අතරමග නතර කළ හැකි ද යන්න හෝ එසේ නතර කිරීම ඔස්සේ මතු විය හැකි ගැටලූ ඔවුන්ට අදාළ නැත. එම ව්‍යාපෘතිය නතර කොට දැමූ විට ඉන් අගතියට පත් ජනතාවට සාධාරණ වන්දියක් ලබා ගැනීමේ අවස්ථාව පවා යම් ආකාරයකට ඇහිරෙන බව සහ බලධාරීන්ට ඒ ගැටලූ මගහැර යාමට අවස්ථාවක් ලැබෙන බව ඔවුන්ගේ අවධානයට යොමු වූයේ නැත.  උමා ඔය ව්‍යාපෘතිය නිසා අලූතින් අස්වැද්දිය හැකි කුඹුරු හෝ විදුලි බල පද්ධතියට එකතු වන නව ජල විදුලි බල ශක්තිය නිසා ගල් අඟුරු සහ ඞීසල් දහනයෙන් විදුලි උත්පාදනය නිසා සිදු වන පරිසර හානිය අවම වීම හෝ මේ රටේ ඉතිරි වන මුදල් හෝ ඔවුන්ගේ තක්සේරුව තුළ දක්නට ලැබුණේ නැත. උමා ඔය ව්‍යාපෘතිය නිසා රටට මුහුණ පෑමට සිදු වූ හානිය මිස උදා කරගත හැකි වාසිය ඔවුන් ජනතාවට කීවේ ද නැත. බොහෝ දේශපාලන බලවේග කළේ ජනතාවට සිදු වූ හානිය සහ ඒ හානියට වන්දි ගෙවීමේ ප‍්‍රමාදය දඩමීමා කරගෙන පහත් දේශපාලනයක යෙදීමය.

එවැනි පසුබිමක උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදු වූ හානි තක්සේරු කර වහා වන්දි මුදල් ගෙවා ජනතාවට සාධාරණයක් කිරීම සඳහා ආණ්ඩුව දැන්වත් කඩිනමින් කටයුතු කිරීම අගය කළ යුතු අතර ඉදිරි සංවර්ධන කටයුතු කිරීමේ දී උමා ඔය ව්‍යාපෘතිය නිසා ඇති වූ තත්ත්වය වත්මන් ආණ්ඩුව පමණක් නොව අනාගත පාලකයන් ද පාඩමක් කරගත යුතුය. එසේ නොවුණහොත් සිදුවනු ඇත්තේ මේ රටේ සංවර්ධන කටයුතු දිගින් දිගට ම ප‍්‍රමාද වන අතර ඒ ආශීර්වාදයෙන් අසල්වැසි රටවල් දියුණුව කරා පියනැගීමය.