උත්තර ඉන්දියාවේ ජම්මු- කාශ්මීර ප‍්‍රාන්තයේ පිහිටි අමරනාත් හින්දු සිද්ධස්ථානය වෙත වන්දනාකරුවන් රැගෙන ගිය බස්රථයක් පෙරළීමෙන් බැතිමතුන් 16 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වී තවත් බැතිමතුන් 19 දෙනෙකුට පමණ තුවාල සිදුවී ඇති බව එම කලාපයේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී මොහාන් ලාල් මහතා සඳහන් කර සිටියි.

වන්දනාකරුවන් රැගෙන ගිය බස්රථය ජම්මු – ශී‍්‍රනගර් ජාතික අධිවේගී මාර්ගයේ ප‍්‍රපාතයකට පෙරළීමෙන් අද (16) දහවල් අනතුර සිදුවී තිබේ.

තුවාල ලැබූ වන්දනාකරුවන් ප‍්‍රතිකාර සඳහා ගුවන් මඟින් ජම්මු නගරය වෙත රැගෙන ගිය බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

පසුගිය සතියේ අමරානාත් සිද්ධස්ථානය වෙත වන්දනාකරුවන රැගෙන ගිය බස් රථයකට ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ල වීමෙන් බැතිමතුන් හත් දෙනෙකු මියගොස් තිබේ.

අමරනාත් ගුහාව හින්දු ආගමිකයන්ගේ අතිපූජනීය සිද්ධස්ථානයක් වන අතර එය මුහුදු මට්ටමේ සිට මීටර් 3,888ක් පමණ ඉහළින් ශී‍්‍රනගර් සිට කිලෝ මීටර් 141ක් පමණ දුරින් පිහිටා ඇත.

වසරේ වැඩි කාලයක් අමරනාත් ගුහාව හිමෙන් වැසී තිබෙන අතර ග‍්‍රීෂ්ම සෘතුවේ කෙටි කාලයක් සඳහා පමණක් එය බැතිමතුන්ට විවෘත වේ.

“අමරනාත් යාත‍්‍රා” ලෙස හඳුන්වන වාර්ෂික වන්දනා සමය අගෝස්තු 07 දින අවසන් වීමට නියමිත අතර දිනකට වන්දනාකරුවන් 7,500ක් සඳහා පමණක් පැමිණීමට අවසර ලබා දී තිබේ.