රටේ කතාබහට ලක්ව ඇති ව්‍යවස්ථා සංශෝධනය සහ පුංචි ඡන්දය ගැනත් දඹුලු විහාරය හා මතු වී ඇති ආන්දෝලනාත්මක තත්ත්වය ගැනත් පිවිතුරු හෙළ උරුමයේ නායක සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සමග කළ සාකච්ඡාවකි.

ප්‍ර: දඹුලු ලෙන් විහාරය පිළිබඳ පසුගිය දිනවල ඇති වූ කතාබහ දැන් රටේ සියලු දෙනාම කතාකරන ලොකු මාතෘකාවක් වෙලා. දැන් දඹුලු විහාරය තාවකාලිකව වසා දමන කතාවකුත් මතුවෙලා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
පි: මහජන අදහස් විමසීමේ විජේනායක කමිටු වාර්තාවෙන් බුදුදහමට ලබාදුන් ප්‍රමුඛස්ථානය ඉවත් කළ යුතු බවට යෝජනා කර තිබෙනවා. මෙකී යෝජනාවටම මුලින්ම විරෝධය පළ කළේ කාදිනල්තුමා. මහනාහිමිවරුන්ගෙන් අස්ගිරියේ මහානායක හිමියන්ද මේ පිළිබඳ තම විරෝධය පළ කළා. මෙකී විරෝධතාවලට කන්දුන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ රටේ බුදුදහමට ලබාදුන් ප්‍රමුඛස්ථානයට කිසිදු ආකාරයේ වෙනසක් වෙන්න ඉඩ දෙන්නේ නැති බවට ප්‍රතිඥාවක් දුන්නා. ඊළඟට ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඉදිරිපත් කළ වාර්තාවේ නවවැනි වගන්තියේ බුදුදහමට සම්බන්ධව විකල්ප හතක් යෝජනා කර තිබුණා. මීට එරෙහිව මුලින්ම හඬක් නැගුවේ අස්ගිරි කාරක සංඝ සභාව. ඒ අනුව මේ රටේ බුදුදහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කිරීමට ආණ්ඩුව දියත්කර ඇති කූට වැඩපිළිවෙළට ඇති ලොකුම බාධාව අස්ගිරි පාර්ශ්වය බව ආණ්ඩුව හොඳටම තේරුම් අරගෙනයි තියෙන්නේ. ඒ නිසා එකී පාර්ශ්වයෙන් පළිගන්නත්, ඒ හරහා රටේ සෙසු බෞද්ධ භික්ෂූන්ට අනතුරු ඇඟවීමක් කරන්නත් ආණ්ඩුව පටන් අරන්. එදා හාමුදුරුවරු පාලනය කිරීමට සුද්දාගෙනා නීතිය කිසිම රජයක් නොකළ විදියට මේ ආණ්ඩුව පාවිච්චි කරන්න පටන් අරන්. දඹුලු විහාරය වසා දැමීමටත් අස්ගිරි පාර්ශ්වයට අයත් සමහර විහාරවලට සීල් තැබිමටත් ආණ්ඩුව තීරණය කර ඇත්තේ ඒ නිසයි. මේ වන විට දඹුලු ලෙන් විහාරය විනාශ වී ඇති බවත්, හාමුදුරුවරු එයට වගකිව යුතු බවත් ජනතාවට අඟවන්න හදන්නේ ඒ කුමන්ත්‍රණකාරී අරමුණින් තමයි.

ප්‍ර: නමුත් දඹුලු විහාරයේ ඉපැරණි සිතුවම් විනාශ වී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික ත්‍රිකෝණය වගේ ආයතනත් කියා තිබුණා?
පි: පසුගිය අවුරුදු තිස්පහ තිස්සේම දඹුලු විහාරයේ කටයුතු කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික ත්‍රිකෝණය යන ආයතන. එහෙම නම් මේ විනාශයට වගකිවයුත්තේ පන්ස‍ලේ හාමුදුරුවන් නොවේ. මේ ආයතන. ඔවුන් මේවායේ විවිධ පර්යේෂණ කරන අතරේ අපේ වටිනා උරුමයන් බරපතළ ලෙස විනාශ වී තිබෙනවා.

ප්‍ර: ආගමික ආයතනවලට ලැබෙන මුදල්වලට සිදුවන දේ ගැන නිසි  විගණනයක් නැති බවත්, ඒවා විගණනය විය යුතු බවත්, මේ දඹුලු විහාර ප්‍රශ්නයේ දී මතුවුණු තවත් තර්කයක්. මේ ගැන ඔබගේ අදහස?
පි: ආණ්ඩුව පැත්තෙන් නම් කිව්වේ විදේශීය සංචාරකයන්ට ටිකට් අලෙවි කිරීමෙන් දඹුලු විහාරය දවසකට ලක්ෂ අසූවක පමණ ආදායමක් ලබන බවයි. මේක අතේ පත්තුවෙන බොරුවක්. රුපියල් 1500 ක් වටිනා ටිකට්පතකින් දවසට රුපියල් ලක්ෂ අසූවක ආදායමක් ලබන්න නම් දිනකට විදේශ සංචාරකයන් 5333 ක් පැමිණිය යුතුයි. ඒ අනුව වසරකට දඹුල්ලට විදේශ සංචාරකයන් ලක්ෂදහනවය හමාරක් එන්න ඕනා. ඒත් 2015 මුළු වසරටම ලංකාවටම විදේශ සංචාරකයන් ඇවිත් තියෙන්නෙත් ලක්ෂ දහඅටක පමණ ප්‍රමාණයක්. ඉතින් වැඩි විස්තර කිරීම් අවශ්‍ය නැහැනේ.

ආණ්ඩුවේ බොරු කීමේ ප්‍රමාණය ඕනෑම කෙනකුට තේරුම් යනවනෙ. අනිත් කාරණය තමයි සංචාරකයන්ට දඹුලු පන්සලෙන් ටිකට් විකුණන්න පටන් ගත්තේ පසුගිය මැයි මාසයේ ඉඳලයි. ඊට කලින් මේක කළේ මධ්‍යම සංස්කෘතික අරමුදලයි. ඔය ටිකට් අලෙවියෙන් කෝටි ගණන් මුදල් ලැබෙනවා නම් ඒ මුදලට කළ දේ, ඒ අය රටට කිව යුතුයි.

ඔය පන්සලට ලැබෙන මුදල් විගණනය කළ යුතුද කියන ප්‍රශ්නයේ දී කියන්න තියෙන්නේ ‍පොදු අරමුදල් විගණනය කර ගැනීම ඒ ඒ සංවිධානයන්ම කරගත යුතුයි කියන එකයි. පන්ස‍ලේ පින්කැටයට ලැබෙන මුදල් අයිති පන්සලට මිස ආණ්ඩුවට ‍නෙවෙයි. අනික් අතට පන්සලට, කෝවිලට ලැබෙන මුදල්වලට වෙන දේ ගැන කතා නොකරන ආණ්ඩුවම පන්ස‍ලේ පින් කැටේට වැටෙන මුදල් ගැන විතරක් තියෙන කැක්කුම මොකක්ද? මේ රටේ බුදුදහම ඉලක්ක කරගෙන භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරගෙන අලුත් තාලයේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කියලා මේ දේවල්වලින් හොඳටම ඔප්පු වෙනවා.

ප්‍ර: මේ දිනවල ව්‍යවස්ථා සංශෝධනයක් ගැනත්  අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාව ගැනත් කතාබහක් ඇති වී තිබෙනවා. ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව ඇතැම් පාර්ශ්ව කියද්දී එවැන්නක් අවශ්‍ය නැති බව මහා සංඝරත්නයත් කියා තිබුණා?
පි: මේ මොහොතේ රටට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත්, ජේ. ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාවේ අඩුපාඩු ඇති බවත් රටම ‍පොදුවේ පිළිගන්නා  කාරණයක්. නමුත් මේ මොහොතේ රටේ ප්‍රමුඛ අවධානය යොමුවිය යුත්තේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන ‍නෙවෙයි. කොටි මර්දනය කරපු, රටකට ඩෙංගු මර්දනය කරගන්න බැරිවෙලා. අනිත් අතින් 2013 ග්‍රීසියේ සිදු වුණ පරිදිම ලංකාවේ ආර්ථිකයත් බින්දුවටම කඩාවැටිලා, පාතාලය නැගිටලා. නගර පුරාම කුණුකඳු ගොඩගැහිලා. බදු බරින් ජීවන බරින් ජනතාව මිරිකිලා. රට අරාජික වෙලා. මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න ආණ්ඩුවට වුවමනාවක් නැහැ. මේක විදේශ ඒජන්තයන් විසින් රට පාලනය කරන කාලයක්.

ඉතින් එහෙම වෙලාවක ජනතාවට අවශ්‍ය විදියේ ව්‍යවස්ථාවක් ගැන කොහොමද බලා‍පොරොත්තු තියන්නේ.

ප්‍ර: විදේශ ඒජන්තවරුන් රට පාලනය කරනවා කියන කතාවේ තේරුම මොකක්ද?
පි: බැරැක් ඔබාමා ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයා. පසුගිය අවුරුද්දක ඉන්දියානු නිදහස් උළෙලට ඇවිත් කිව්වේ ලංකාවේ ආණ්ඩු පෙරළියක් කළේ ඔවුන් බවයි. ඉතින් ඒකෙන්ම පේනවනේ මේ රට හැබෑවටම පාලනය කරන්නේ කව්ද කියලා. අද තියෙන්නේ ඇමෙරිකානු ඉන්දියානු රූකඩ ආණ්ඩුවක්.

ප්‍ර: 1948 නිදහස ගත්තු දවසෙ ඉඳලා මේ රට දිනෙන් දින පිරිහුණා මිස දියුණුවක් නම් වුණේ නෑ. මේකට වගකිවයුත්තේ දේශපාලනඥයෝ. අද දවසේවත් කිසිම දේශපාලනඥයකුට රට දියුණු කිරීමේ සැබෑ වුවමනාවක් නැති බවයි ජනතාව නම් කියන්නේ?
පි: 1948 නිදහස ලබන විට ආර්ථික අතින් ආසියාවෙන්ම දෙවැනි තැනට හිටියේ ලංකාව. පළමු තැන හිටපු ජපානයේ ඒකපුද්ගල ආදායම ඩොලර් අසූඅටක් වෙනකොට ලංකාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් අසූහතයි. එක ඩොලරයක පමණයි වෙනස තිබුණේ. අද ජපානය කොතැනද සිංගප්පූරුව හදපු ලී ක්වාන් යූ 1965 බලයට ඇවිත් මහ වැස්සක් මැද ජනතාව අමතමින් කිව්වේ මට දශක දෙකක් දෙන්න මම සිංගප්පූරුව ලංකාවක් කරනවා කියලා. ඊට දශකයකට පස්සේ ලංකාවේ අගමැති වුණ ජේ. ආර්. ජයවර්ධන දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ ඉඳගෙන කිව්වේ ලංකාව සිංගප්පූරුවක් කරන්න මට සහාය දෙන්න කියලා. මට නම් හිතෙන්නේ මේ වැරැද්දට දේශපාලකයන්ට දොස් කියන්න බැහැ. මේ රටේ කවදාවත්ම හමුදා ආණ්ඩුවක් හෝ ඒකාධිපති පාලනයක් තිබිලා නැහැනේ. ජනතාව පත්කරගත් ආණ්ඩුනේ තිබුණේ. ජනතාව වැරදි මිනිස්සුන්ගේ අතට රටේ පාලනය දීපු නිසයි මෙහෙම පසුබෑම්වලට ලක්වුණේ. මේ වැරැද්ද ගැන ජනතාව තමන්ටම බැණගත යුතුයි. ජනවාරි 8 වැනිදා වූ අපේ වැරැද්දෙන්වත් පාඩමක් උගත යුතුයි.

ප්‍ර: පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යනවා. ජනතාවටත් ඒ ගැන කිසිම උනන්දුවක් නැහැ. නමුත් දේශපාලනඥයන්ට නම් ඒ ගැන දැඩි උනන්දුවක් තියෙන බවයි හැඟෙන්නේ?
පි: පුංචි ඡන්දයට බාලගිරි දෝෂය හැදිලා. ආණ්ඩුවේ ඇමැතිවරු කියනවා පුංචි ඡන්දය අද නෙවේ හෙට කියලා. තවත් අය කියනවා අද හෙටම තියනවා කියලා. ආණ්ඩුව දන්නවා ඡන්දයක් තිබ්බොත් කවදාවත් නැති විදියට ඔවුන් පරාජය වෙනවා කියලා. හැබැයි ආණ්ඩුව බුද්ධිමත් නම් කළ යුත්තේ හැකි ඉක්මනින් ඡන්දයක් පැවැත්වීමයි.

මොකද ප්‍රමාදවන හැම දවසක් දවසක් පාසාම මාසයක් මාසයක් පාසාම ආණ්ඩුව කෙරේ ඇති ජනතා අප්‍රසාදය වැඩිවෙනවා. නිසා මේක පුංචි ඡන්දයක් නෙවේ. අපට මේක පුංචි ඡන්දයක් වුණාට ආණ්ඩුවට මේක මහ ඡන්දයක් තරමටම තීරණාත්මකයි. ජනතාවටම බොරු කිය කිය ඡන්දය කල්දාන්නේ ඒකයි.

ප්‍ර: මීළඟ මැතිවරණයකදී මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රීලනිපයෙන් නාම යෝජනා නොදෙන බව එහි මහ ‍ලේකම් දුමින්ද දිසානායක මහතා කියා තිබුණා.
පි: එහෙම කතාවක් නම් කියලා තිබුණ වගේ දැක්කා. ඒත් මම එයට පිළිතුරු දීම අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා ඒකට නිසි පිළිතුරු දීලා තිබුණා. ඔහු කියලා තිබුණා අපේ පක්ෂයේ මහ ‍ලේකම්තුමා පුංචි බබෙක් කියලා. ඉතින් බබාලගේ කතාවලට මම පිළිතුරු දිය යුතුද?

සාකච්ඡා කළේ : උපාලි තිලකරත්න