ජාතික ආණ්ඩුවේ පැවැත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන ස්ථාවරය හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එම පක්ෂයේ භාණ්ඩාගාරික සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන සහ කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බි. දිසානායක මහතා සමග ‘රිවිර’ ඉරිදා සංග්‍රහය කළ සංවාදයක් ඇසුරිනි.

ප්‍ර: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ උණුසුම් දේශපාලන තත්ත්වයක් උද්ගතවී තිබෙනවා. මොකක්ද මේ තත්ත්වය?
පි: අපේ පක්ෂය කොහොමත් හැමදාමත් උණුසුම් තමයි. මේ දවස්වල අපි බොහොම උනන්දුවෙන් වැඩකරනවා. ඒ උණුසුම තමයි. ඒක තමයි මගේ උත්තරය ඔයාට.
ප්‍ර: ඔබ එහෙම ප්‍රකාශ කළත් ඇතැම් ශ්‍රීලනිප මැතිඇමැතිවරු   ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරනවා.
පි: මෙහෙමනෙ ඉතින්, අපේ පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය කියන්නේ පරස්පර විරෝධී පක්ෂ දෙකක් නේ. අපේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ලක්ෂණ තිබුණට ප්‍රතිපත්තිමය වශයෙන් අපි පක්ෂ දෙකක්නේ. ඒ නිසා ඒ පක්ෂ දෙක  එකතුකරගෙන යනකොට ගැටලු මතුවෙනවා. ඒක ස්වභාවිකයි. ඒක තමයි අභියෝගය. ඒක තමයි විශිෂ්ටත්වය. එහෙම පක්ෂ දෙකක් එකට එකතුකරලා ලංකාව වැටෙන්න ගිය මහා අමාරුවකින් බේරගත්තා. නිදහස් පක්ෂයේ අපේ පිරිස අතර කිසිදු ගැටලුවක් නෑ. අපි එකා වගේ වැඩකරනවා.

ප්‍ර: එහෙම ගැටලු නැත්නම්  ජනාධිපතිතුමා  ශ්‍රිලනිප මැතිඇමැතිවරු හදිසියේ කැඳවලා දෙසැම්බර් වෙනකම් මේ ආණ්ඩුව කරගෙන යන්න සහාය ඉල්ලුවේ ඇයි.?
පි: නෑ. නෑ. නෑ. එහෙම ‍නෙවෙයි. දෙසැම්බර්වල මොනවද කරන්නේ කියලා මන්ත්‍රීවරු ජනාධිපතිතුමාගෙන් ඇහුවා. කලබල වෙන්න එපා අපි දෙසැම්බර්වල ඒක ගැන බලමු කිව්වා.  ඔය මොනවා කතා කළත් ජනාධිපතිතුමත්  එක්ක ශ්‍රීලනිපයේ ඉන්න අපේ කණ්ඩායම අතර තියෙන්නේ අනේ‍යාන්‍ය සහයෝගිතාව සහ සහෝදරත්වය. අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ විපක්ෂයට ගිහිල්ලා ඉන්න ඔය අනෙකුත් කණ්ඩායම් අතර ඒක නෑ. ඒක අපි දන්නවා. විපක්ෂයේ ඉන්න අය අපිට  කියන දේවල් අපි දන්නවා. රාජපක්ෂ පවුල ඇතුළේ තියෙන ප්‍රශ්න අපි දන්නවා. ඒ පක්ෂ ඇතුළේ තියෙන ප්‍රශ්න අපි දන්නවා. විමල් වීරවංශ පහුගිය දවස්වල රැස්වීම් තියාගෙන යනකොට ඒ රැස්වීම් නැවැත්තුවෙත් ඔය විපක්ෂයේ ඉන්න අපේ ම හාදයෝ තමයි. ඒනිසා අපි ඒවා හොඳට දන්නවා. එක්සත් ජාතික පක්ෂයේ ඇතුළේ තියෙන අවුල් වියවුලුත් අපි දන්නවා. ටී.එන්.ඒ. එකේ ඇතුළේ තියෙන අවුල් වියවුලුත් අපි දන්නවා. ප්‍රධාන පක්ෂ කණ්ඩායම් ගත්තම ජනාධිපතිතුමත් කිව්වේ අපේ කණ්ඩායම තමයි වඩාත් සහෝදරත්වයෙන් අනේ‍යාන්‍ය සුහදත්වයෙන් කටයුතු කරන්නේ කියලා.

අපි ඕන දෙයක් විවෘතව සාකච්ඡා කරනවා. අපි දෙසැම්බර්වල තීන්දුවක් ගමු කිව්වේ ඒකයි.

ප්‍ර: මෙච්චර අනේ‍යාන්‍ය සුහදත්වයක් තියෙනවා නම් ගැටලු කතා කරනවා නම් ඇයි ටී.බි.  ඒකනායක ඇමැතිතුමා දහ අටක් එක්ක ස්වාධීන වෙන්න ගියේ.?
පි: නෑ. නෑ. නෑ. එහෙම එයා කියලා නෑ. එයා ඊට පස්සේ අපිට හම්බවුණා. එහෙම කරන්න ආවොත් මම දහඅටක් එක්ක එළියට බහින්න හදනවා කියලා කියලා තියෙන්නෙ. එහෙම කරන්න ආවොත් කියන කෑල්ල මාධ්‍යයෙන් දාන්නේ නෑනේ.

ටී.බි.ලා අපි සේරම එකට එකතුවෙලා තීන්දුවක් අරගෙන තමයි වැඩකරගෙන යන්නේ.  ජනාධිපතිතුමත් එක්ක එකට ඉඳගෙන තමයි ඒ තීන්දු ගන්නේ.

ප්‍ර: ඔබ මේ කියන්න හදන්නේ සම්මුතිවාදී ආණ්ඩුව 2020 වෙනකම්ම මේ ආකාරයෙන් යයි කියලද?
පි: නෑ.. නෑ.. මම දන්නෑ මේක කවදා වෙනකම් යයිද කියලා. මම කියන්නේ කරන දෙයක් අපි කතා කරලා කරන්්න ඕනැ.

ප්‍ර: ඇමැතිවරු අතර මේ නොසන්සුන්තා ඇතිවන්නේ ඇත්තටම එජාපයත් එක්ක ජාතික ආණ්ඩුව කරගෙන යන්න බැරිද?
පි: එක්සත් ජාතික පක්ෂය හින්දවත්, එක්සත් ජාතික පක්ෂ නායකත්වය හින්දවත් ඇතිවන ප්‍රශ්න ‍නෙවෙයි. අපි අතර පරස්පර තියෙනවා. හැබැයි ඒක තමයි අභියෝගය. ප්‍රශ්න තියෙනවා ගැටලු තියෙනවා අර්බුද තියෙනවා. යම් යම් ආවේගශීලී ප්‍රකාශ කරනවා. හැබැයි ඒ අතරතුර ජනාධිපතිතුමා මේක අරගෙන යනවා. ඒ හින්දා ඒ නියම තීන්දු තීරණ සාකච්ඡා කරලා ගනීවි. ඒ තුළින් ගැටලුවක් නෑ.

ප්‍ර: ඒ වුණාට එක්සත් ජාතික පක්ෂය නම් දිගින් දිගටම  චෝදනා කරන්නේ මේ   බස්එකට පස්සේ ගොඩවෙච්ච අය තමයි මේක කඩාකප්පල් කරන්නේ කියලා.
පි: මොකක්ද කියන්නේ?

ප්‍ර: මේ යහපාලන ජාතික ආණ්ඩුවට පස්සේ එකතුවෙච්ච අය මේක කඩාකප්පල් කරනවා කියලා එජාප මැතිඇමැතිවරු චෝදනා කරනවා?
පි: ඔයා අහන ප්‍රශ්නෙත් එහෙම්මම ලියන්න හොඳද? මගදිද? කොහෙදිද? කොතෙන්දිද නැග්ගේ කියලා අපිට එහෙම තේරෙන්නේ නෑ. හැබැයි අපි ජනාධිපතිතුමා පත්කරන්න උදව් කළේ නෑ. හැබැයි ජනාධිපතිතුමා  ඇවිල්ලා අපේ පක්ෂයේ සභාපතිතුමා වුණා. ජනාධිපතිතුමා පක්ෂයේ මහ ‍ලේකම් හැටියට එළියට බැහැලා ‍පොදු අපේක්ෂකයා විදියට දිනලා එතුමා ඇවිල්ලා අපේ පක්ෂයේ සභාපති වුණා. ඉතින් අපි ඉන්නේ අපේ පක්ෂයේ සභාපතිත් එක්ක තමයි. අපේ පක්ෂයේ සභාපතිතුමා එක්සත් ජාතික පක්ෂයත් තවත් පක්ෂ ගණනාවක් එකතු කරලා ආණ්ඩුවක් හැදුවා.  ඉතා පැහැදිලියි අපි මේ ජනාධිපතිවරයා පත්කරන්න උදව් නොකරපු අය. ඒක කාටත් වඩා හොඳින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දන්නවා. ඒනිසා ඉස්සෙල්ලද නැග්ගෙ පස්සෙද නැග්ගෙ කියන එක අපිට ප්‍රශ්නයක් නමෛයි.

ප්‍ර: මේ හවුල් ආණ්ඩු ජාතික ආණ්ඩු නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩුවක් කවදා එයිද?
පි: ඒක ඉතින් ජනතාව තීන්දු කරන්න ඕන දෙයක්නේ. අපි හැබැයි හැම මැතිවරණයකටම වෙනම තරග කරන්නේ. අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරනවා. එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන් තරග කරයි. ‍පොට්ටුවෙන් තරග කරන අය ‍පොට්ටුවෙනුත් තරග කරයි. සීනුවෙන් තරග කරන අය සීනුවෙන් තරග කරයි. අපිට බහුතරයක් ආවොත් අපි තනියෙන් ආණ්ඩුව හදනවද එකතුවෙලා හදනවද කියන එක ඒ වෙලාවේ මතුවෙන තත්ත්වයත් එක්ක තීන්දු කරන්න ඕන දෙයක්නේ.

ප්‍ර: ශ්‍රිලනිප මහ ‍ලේකම් දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ අතර සටනක් කියලා. එහෙම සාකච්ඡාවක් පක්ෂ අභ්‍යන්තරයේ තිබුණාද?
පි: නෑ.. නෑ.. එහෙම සාකච්ඡාවක් යන්නේ නෑ. නමුත් අපේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමයි.

ප්‍ර: ඒ වුණාට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නම් ප්‍රකාශ කළේ 2015 ජනාධිපතිවරණයට පමණයි ඉදිරිපත් වෙන්නේ කියලා?
පි: එතුමා එහෙම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාරගන්න කලින්නේ. ඒක අපිට අදාළ නෑ. අපේ පක්ෂයේ අපේක්ෂකයා තීන්දු කරන්නේ අපි. පක්ෂය. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට තරග කරන්න කීවම එතුමා තරගකරයි. පක්ෂයට ඉතාම ආදරය කරන පක්ෂයත් එක්ක නැගිට්ට මනුස්සයෙක්නේ. ඒනිසා එයා පක්ෂයේ තීන්දුවට පිටුපාන එකක් නෑ.

ප්‍ර: පළාත් සභා තුනක කාලය සම්පූර්ණ වේගෙන එනවා. පළාත් පාලන ඡන්දයත් තාම නෑ. මේ ඡන්ද තියෙන්නේ නැද්ද?
පි: අපි ඡන්දෙට ලෑස්තියි. අපි දැන් ප්‍රාදේශීය සභා අපේක්ෂකයෝ තෝරලා ඉවරයි. සියලුම ආසනවලට අපි පළාත් සභාවලට ලෑස්ති වෙනවා. ඒ ගැන අපට කිසිම ගැටලුවක් නෑ.

ප්‍ර: ඇත්තටම ඇමැතිතුමා මේ ආණ්ඩුවට සල්ලි නැද්ද? ඒකාබද්ධ විපක්ෂය නම් කියන්නේ සල්ලි නැති නිසා පිං කැට ටිකටත් අත තියලා කියලයි.
පි: ආණ්ඩුවට මූල්‍ය අර්බුදයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම වගකියන්න ඕන අපේ පහුගිය ආණ්ඩුව අපිත් එක්කම. මේක තමයි ඇත්ත. අපි වග කියන්න ඕන.  උසස් අධ්‍යාපන ඇමැතිවරයා විදියට මම ගත්තා බිලියන දාහතාමාරක් විතර විශ්ව විද්‍යාල නේවාසිකාගාර හදන්න. හැබැයි ඒවා කල් පිරෙන්නේ 2017. ඒක තමයි ඇත්ත තත්ත්වය. 2010 න් පස්සේ ගත්ත හුඟක් ණය කල් පිරෙන්නේ 2017 න් පස්සේ.   ඒකත් එක හේතුවක් තමයි පහුගිය ජනාධිපතිවරණයට අපි අවුරුදු දෙකකට කලින් යන්න තීන්දු කරපු. මොකද අර්බුද අවස්ථා වෙනකොට තවත් කාලයකට බලය අතට ගැනීම එක අරමුණක් තමයි. ඒ නිසයි මම කිව්වේ මේ අර්බුදයට ප්‍රධාන වශයෙන් වගකියන්න ඕන මමත් ඇතුළු පහුගිය ආණ්ඩුව කියලා. මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන අපි ඔක්කොම හිටියනේ. ඒ නිසා මේ අර්බුදයට වගකියන්න ඕන මේ ආණ්ඩුව ‍නෙවෙයි.

ප්‍ර: මේ ආණ්ඩුවේ ආර්ථික තීන්දු සාර්ථකයි කියලද ඔබ කියන්නේ?
පි: මේ ආණ්ඩුවෙත් ආර්ථික පැත්තේ ප්‍රශ්න නැතුවා ‍නෙවෙයි. ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන් මුදල් ඇමැතිකම එහෙම වෙනස් කරන්න ඒවා බලපෑවනේ. පහුගිය කාලයේ අයවැය ප්‍රතිපත්තිවල ගැටලු තිබුණා. මහජනයට සැක ඇති වුණා. විදේශිකයන්ට සැක ඇති වුණා. ඒ මිනිස්සු තිබ්බ සල්ලි අරන් ගියා. එහෙම ඒවා වුණා. හැබැයි මෙම අර්බුදය සමථයකට පත්වෙන දිශාවකට යමින් තියෙනවා.

ප්‍ර: නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගැටලු මතුවෙලා. ඇත්තටම මේ අලුත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දෙන්නේ නැද්ද?
පි: ඒ පිළිබඳව මොකක්වත් වෙන්නේ නෑ. ඒක අපි ෙතේ‍රනිකායික මහානායක හාමුදුරුවන් කියන විදියට දානවා. දැනට ඔය තියෙන විදියේ මොකක්වත් වෙනසක්  කරන්නෙ නැති එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපේ තීන්දුව. කොහොම වුණත් අපි මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා කරගෙන ගියාට අපිට ප්‍රමුඛතාව තියෙන්නේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම. විසිවන සංශෝධනය අපි දහනවයට ඡන්දෙ දුන්නේ ඒක ගේනවා කියලා ‍පොරොන්දු වෙච්ච නිසා.  හැබැයි අද වනතුරු විස්ස ආවේ නෑ. ඒනිසා අපේ ප්‍රමුඛතාව විස්ස.

ප්‍ර: ඔබ ඔය ප්‍රකාශ කරන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අනවශ්‍යයි කියලද?
පි: පෞද්ගලිකව මම හිතන්නේ නම් අපි මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධව විවෘත සාකච්ඡාවක් අරන් යන එක ඉතා හොඳයි. ඒක මහනායක හාමුදුරුගොල්ලත් අනෙකුත් ආගමික නායකයොත්, රටේ ජනතාවත් ඒ සියලු දෙනත් එක්ක කරන්න ඕන. මොකද අපිට හැකියි දවසකින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගේන්න. මම හිතන්නේ පෞද්ගලිකව මේ රජයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්න අයිතියක් නැහැ.  ජනවරමක් නැහැ කියලයි.

ප්‍ර: ඔබ මොන පදනමකින් ද එම ප්‍රකාශය සිදු කළේ?
පි: ප්‍රධාන කාරණය තමයි ජනාධිපතිතුමා කිව්වා මම ජනමත විචාරණයට යන කිසි දේකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසි දේකට අත තියන්නේ නෑ කියලා. එතකොට කොහොමද එතුමා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යන්නේ. එතුමා එහෙම කිව්වා. එතුමගේ මැතිවරණ ප්‍රකාශනයේ එහෙම තියෙනවා. ඒ එකක්. දෙවැනි එක තමයි එක්සත් ජාතික පක්ෂය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ජන වරමක් ඉල්ලුවා. ඒක ලැබුණේ නැහැනේ.  105 නේ හම්බ වුණේ. හරිද? අපි ඉල්ලුවේ නෑ.

ඒක නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමේ ජනවරමක් මේ ආණ්ඩුවට නෑ. ජනාධිපතිතුමා ඇත්තටම නිර්ලෝභීව ජනාධිපති බලතල පවා අඩුකරන්නනේ ගියේ. ඒක නැවැත්තුවෙ උසාවියෙන් නේ. මේ කාරණා ඔක්කොම ලියන්න හරිද? ඒ නිසා මම කියන්නේ මේ රජයට, මේ පාර්ලිමේන්තුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යන්න ජනවරමක් නෑ කියන එක තමයි මගේ අදහස.

අස්ගිරි මහා නායක හිමියන් ඇතුළු ෙතේ‍රනිකායික මහානායක ගොල්ලන් ඡන්ද ක්‍රමය වෙනස් කරන්න වෙන දේවල්වලට යන්න හොඳ නෑ කියලා කිව්වේ ඕක තමයි.

සාකච්ඡා කළේ
නිමල කොඩිතුවක්කු