ලුතිනන් කමාන්ඩර් චින්තක පෙරේරාගේ අණදීම යටතේ වූ පී. 465 ඩෝරා යාත්‍රාව මුහුද නිරීක්ෂණ රාජකාරි සඳහා මුලතිව් මුහුදට එන්නේ ඉකුත් 11 උදෑසනින්ය.
මුලතිව් මුහුදු තීරය වසර අට නවයකට පෙර මුහුදු කොටින්ගේ පාරාදීසයක් වූයේය. මුලතිව් මුහුදේ තවමත් දිනපතා නාවික මෙහෙයුම් සිදු කෙරෙන්නේ රට වටා යොදා ඇති නාවික ආරක්ෂක වළල්ලට සමගාමීවය.

නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා යටතේ ත්‍රිකුණාමලයේ සිට මුලතිව් මුහුදු ප්‍රදේශය ආවරණය වන මෙහෙයුම් සිදුවන්නේය. සිව්වැනි ඊළාම් යුද්ධයේදී එල්.ටී.ටී.ඊ. අවි ප්‍රවාහන නෞකා ජාත්‍යන්තර මුහුදු සීමාවේදීම කොටු කරන නාවික මෙහෙයුම්වල ප්‍රධානියා වූයේද ට්‍රැවිස් සින්නයියාය.

පී. 465 ඩෝරා යාත්‍රාව මුලතිව් මුහුදේ නිරීක්ෂණ මුරයේ නිරත වන අතරතුර යාත්‍රාවේ සිටින අවට නිරීක්ෂණය කරන්නට යොදවා ඇති නැවියන් හට සැකකටයුතු යමක් ඈත මුහුදේ නිරීක්ෂණය වන්නට වූයේය.

මේ වන විට වේලාව උදෑසන 9.10 පමණ විය. ඒ වන විටත් දැඩි වර්ෂාවක් ඇදහැලෙමින් තිබූ අතර මුහුදද රළු තත්ත්වයක් ගෙන තිබුණේය.

“සර් කළුපාට දෙයක් මුහුදේ පාවෙනවා. මොකක්ද කියලා හිතාගන්න බැහැ.” ඩෝරා යාත්‍රාවේ නිරීක්ෂණ මුරයේ සිටි බළනැවි දිනේෂ් මධුරංග තම අණදෙන නිලධාරියා හට දැන්වීය.

ඒ අනුව වහාම ඩෝරා යාත්‍රාව ඒ දෙසට යාත්‍රා කරවන්නට අණදෙන නිලධාරි ලුතිනන් කමාන්ඩර් චින්තකගේ අණ ලැබෙන්නේය. මෙම සැක කටයුතු දෙය දකින්නට ලැබුණේ ඩෝරා යාත්‍රාව තිබූ තැනට නාවික සැතනුම් දහයක් පමණ දුරිනි.

“සැක කටයුතු දෙයක් පාවෙනවා කියලා මගේ යාත්‍රාවේ නිරීක්ෂකයන් කළ දැනුම් දීමට අනුව අපි ඩෝරා යාත්‍රාව ඒ දෙසට ගෙන ගියා. අපිට කළු පාට දෙයක් ඈතට පේනවා.

ඒ වගේම සැරින් සැරේට උඩට යමක් ඉස්සෙනවා පෙනුණා. තල්මහෙක් වෙන්න පුළුවන් කියලා අපි තවත් ළං කළා. මහ මුහුද මැද්දේ අලියෙක් පාවෙනවා කියලා තහවුරු වුණේ තවත් ළං වුණාමයි. අලියාගේ බඩේ කොටසක් විතරක් හොඳටම පේනවා. සැරින් සැරේ හොඬවැල උඩට උස්සලා හුස්ම ගන්නවා. මේ වෙනකොට මුහුදත් රළුයි, ලොකු වැස්සකුත් වහිනවා. අලියාව ඈත මුහුදට ගහගෙනත් යනවා කියලා නිරීක්ෂණය වුණා. මම නැගෙනහිර නාවික විධානයේ මෙහෙයුම් මැදිරියට වහාම මේ බව දැනුම් දුන්නා.” යැයි ඩෝරා යාත්‍රාවේ අණදෙන නිලධාරි ලුතිනන් කමාන්ඩර් චින්තක පෙරේරා සිය අත්දැකීම විස්තර කළේය.

නැගෙනහිර නාවික විධානයෙන් මේ බව නාවික මූලස්ථාන මෙහෙයුම් මැදිරියට දන්වා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න දැනුවත් කිරීමෙන් පසුව පුළුවන් තරම් සතාගේ ජීවිතය බේරාගන්න උත්සාහ කරන්නයැයි නාවික හමුදාපතිවරයාගේ නියෝගය විය.

මේ වන විට සැඩ රළපහරට හසුව ගසාගෙන යන අලියා සිටියේ කෝකිලායිහි කොක්කුතුඩුවායි සිට නාවික සැතපුම් අටක් පමණ දුරිනි. ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළුවීමට තවත් තිබුණේ සැතපුම් හතරක් තරම් වූ සුළු දුරකි. මෙතරම් දුරකට ගසාගෙන ඒමට නම් අලියා කලින් දින මුහුදට වැටෙන්නට ඉඩ ඇති බව නාවික නිලධාරීන් දුර අනුව තීරණයකට එළැඹුණහ.

ත්‍රිකුණාමල නාවික කඳවුරෙන් ලද උපදෙස් මත වහාම අලියා ගසාගෙන යාම නැවැත්වීම සඳහා අසලින් ගමන් ගත් ධීවර යාත්‍රාවක් නවතා එයට නැවියන් තිදෙනකු යොදවා කඹයක් ගැට ගහන්නට උත්සාහයක් ගත්තේය. ඩෝරා යාත්‍රාව අලියා සිටින තැනටම ගියහොත් අලියා කලබල වන නිසා ධීවර බෝට්ටුවක සහාය ගත්තද එම වෑයම අසීරු කාර්යයක් විය.

මේ සිදුවීම් අතරේ නැගෙනහිර නාවික ආඥාපති මූලස්ථානයේ උපදෙස් මත මුලතිව් නයාරු නාවික කඳවුරේ අණ දෙන නිලධාරි ලුතිනන් කමාන්ඩර් ඊ.එස්. ජයකොඩි සෙඩ්රික් වර්ගයේ නාවික යාත්‍රාවලින් අලියා මුදාගැනීමේ මෙහෙයුම සඳහා පිටත් වූහ.
මුලතිව් ගෝඨාභය කඳවුරේ වැඩබලන අණදෙන නිලධාරි ලුතිනන් කමාන්ඩර් ජී.බි. තරංගගේ උපදෙස් මත සෙඩ්රික් යාත්‍රා දෙකකින් මෙහෙයුමට අවශ්‍ය කඹ ඇතුළු ආම්පන්න රැගත් පිරිස පිටත් වන්නේ උදෑසන 9.30ටය.

ඉසෙඩ් 124 යාත්‍රාවේ ලුතිනන් කමාන්ඩර් එස්. ජයකොඩි සමග නායක නැවි එන්.අයි. ප්‍රේමරත්න, නායක නැවි ජී.එස්. බණ්ඩාර, බළනැවි ඩී. චතුරංග ඇතුළු කණ්ඩායමක් ඉසෙඩ් 210 යාත්‍රාවේ නායක නැවි ආර්.සී. අමරසිංහ, නායක නැවි ජී.ආර්. සමරසිංහ, නාවික ඉංජිනේරු කාර්මික ඒ. සෙනෙවිරත්න, බළනැවි ඩී.එන්. කුමාර යන අටදෙනා නයාරු සිට අදාළ ස්ථානයට පිටත් වූහ.

අපිට නයාරු ඉඳන් නාවික සැතපුම් 5.5ක් දුරින් අලියා හිටියේ. අපි උදේ 10.05ට එතැනට ළඟා වුණා. පී. 465, පී. 485 ඩෝරා දෙක ඒ වන විටත් අලියා බේරාගන්න දැවැන්ත වෑයමක් යොදා තිබුණා. ඩෝරා යාත්‍රා අලියාගේ ළඟට ගෙනියන්න අමාරු වුණත් අපේ කුඩා සෙඩ්රික් යාත්‍රා වේගවත් නිසා ඉක්මනින් ළං කරලා ඉවතට ගන්න හැකියාව තිබ්බා. අපි අලියාගේ ළඟට යද්දී අලියා තෙහෙට්ටු වෙලා හිටියේ. දියවැලට අහුවෙලා ඈත දියඹට යමින් තිබුණේ. අපි දවල් 11.30ට විතර කඹයක් අලියාගේ බෙල්ලට දාලා ගහගෙන යන එක නවත්වා ගත්තා.” යැයි මෙම කණ්ඩායම භාරව ගිය ලුතිනන් කමාන්ඩර් ජයකොඩි සිය මෙහෙයුම දියත් කළ ආකාරය අපට විස්තර කළේය.

මුහුද රළු වීමත්, අලියා ගසාගෙන යාමත් හමුවේ කඹය නිසි පරිදි යෙදීම නාවික භට පිරිස්වලට අසීරු කාර්යයක් වූයේය. මේ සඳහා නාවික කිමිඳුම්කරුවන් එනතුරු අලියාට හානියක් නොවන පරිදි ගොඩබිම දෙසට ගෙන යාම සෙඩ්රික් යාත්‍රාවලට පැවරිණි.

මේ වන විට මුහුදේ දියවැල් තිබුණේද ගැඹුරු මුහුද දෙසටය. අලියාට ගොඩබිම ඇත්තේ කොතැනදැයි නොපෙනෙන මායිමේ වූ නිසා අලියා පීනන්නට වූයේත් පහසුම මග ඔස්සේය. ඒ ජාත්‍යන්තර මුහුදු සීමාව දෙසටය.

සෙඩ්රික් යාත්‍රාවල සහායෙන් යෙදවූ කඹ ආධාරයෙන් අලියාව ගොඩබිම දෙසට ඇදගෙන එන මෙහෙයුම ඇරඹෙන්නේය. සෙඩ්රික් යාත්‍රාව හෙමින් සීරුවේ පසුපසට යාත්‍රා කරන්නට වූයේ සද්දන්තයාවද ඇදගෙනය. ඩෝරා යාත්‍රාද එහි සහායට මෙහෙයුමේ නිරත විය.

“සතා දැන ගත්තා අපි කරදරයක් කරන්න ‍නෙවෙයි හදන්නේ කියලා. තෙහෙට්ටුවට පත් වෙලා හිටියත් මුලදී කලබල වුණත් අපි බේරාගෙන එද්දී කලබලයක් කළේ නැහැ. අපි හැමවිටම සතාගේ ජීවිතයට මුල්තැන දුන්නා. එයාගේ හැසිරීම බල බල අරන් ආවේ. අලියා හොඬවැල උඩට අරන් හුස්ම ගන්නවාද කියලා අපි දිගින් දිගටම බැලුවා.

නාවික හමුදාපතිවරයාගේ නියෝග මත නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියාගේ නැගෙනහිර නියෝජ්‍ය නාවික ආඥාපති කොමදෝරු පෙරේරාගේ අධීක්ෂණයෙන් මේ වන විටත් නාවික කිමිදුම් කණ්ඩායමක් පිටත් කර තිබිණි. නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් කේ.වී.පී. ද සිල්වා නාවික මෙහෙයුම් මැදිරිය තුළ නිලධාරීන් මෙහෙයවූහ.

ත්‍රිකුණාමල කඳවුරේ කිමිදුම් හා ගලවා ගැනීමේ අංශයේ වැඩබලන අණදෙන නිලධාරි ලුතිනන් ශිරාන් බුද්ධික තම කිමිදුම් කණ්ඩායමට අයත් සුළු නිලධාරි පෙරේරා, සුළු නිලධාරි ධම්මික, නායක කිමිදුම් මධුසුරංග, නායක කිමිදුම් විජේතුංග, නායක කිමිදුම් ප්‍රේමරත්න සමග කඹ හා ආම්පන්න සමග පී. 422 ඩෝරා යාත්‍රාවෙන් දහවල් 1.20 වන විට සිද්ධිය වූ තැනට ළඟා වූයේය. ලුතිනන් මහේෂ් මධුවන්ත පී. 422 ඩෝරාවේ අණදෙන්නා ලෙසින් මෙම මෙහෙයුමට එක්වූයේය.

කලින් යෙදූ කඹයේ ගැටය සිරවීම නිසා වේගයෙන් ඇදීම මේ වන විට ප්‍රශ්නයක්ව තිබුණේය. අලියාව තවදුරටත් එම කඹයේ ආධාරයෙන් ගෙන ඒම අසීරු වන නිසා කඹය කපා දමා යළිත් මුහුදේ කිමිදී ගොස් කඹයක් යෙදවීමට කිමිදුම් කණ්ඩායම්වලට ලුතිනන් බුද්ධික උපදෙස් දුන්නේය.

ගොඩබිමේ සිට කිලෝමීටර් 14.6ක් (නාවික සැතපුම් 08ක්) ඈත මුහුදට ගසාගෙන ගොස් සිටි මේ සද්දන්තයා කිසිදු හානියක් නොවන්නට ගෙන ඒම සියලු දෙනාට පැවරුණු කාර්යභාරයක් වූයේය.

නාවික මෙහෙයුම් මැදිරිය මේ වන විට ත්‍රිකුණාමල වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඩී. ලලිත් මහතා සමග සම්බන්ධ වෙමින් නාවික මෙහෙයුම සඳහා වනජීවී සහායද ගත්තේය. ඔවුන් සමග කළ සාකච්ඡාවෙන් පසුව පුල්මුඩේ, ‍පොල්මල්කුඩාහි වූ යාන්ඔය මුහුදට වැටෙන මෝය කට දක්වා අලියා රැගෙන ඒම නාවික හමුදාවට පැවරිණි. වනජීවී කණ්ඩායම් නාවික හමුදා භට කණ්ඩායම් සමග මෝයකට අසලට පිටත් කෙරෙන්නේ ගොඩබිම් මෙහෙයුම සැලසුම් කිරීමටය.

“අපේ කිමිදුම් කණ්ඩායමේ තුන් දෙනෙක් මුහුදට බැහැලා ගැටය හිරවෙලා තිබුණු කඹය කැපුවා. එතකොට අලියා ආයේ දඟලන්න වුණා. ළඟට යන්න බැරි වුණා. මුහුදත් එක්කයි, අලියත් එක්කයි සටනක් කරලා වම් කකුලට කඹයක් දා ගත්තා. පී. 422 ඩෝරා එකට කඹය දීලා අපි ඇදගෙන එන්න උත්සාහ කළා. හිර නොවන ගැටයක් දාපු නිසා ටික දුරක් යද්දී ලණුව කකුල දිගේ දුවන්න වුණා. ඒත් එක්කම කඹය ගැලවිලා අලියා ආයේත් පීනන්න වුණා.” යැයි ලුතිනන් ශිරාන් බුද්ධික තම අත්දැකීම හෙළි කළේය.

දෙවැනි වතාවට යළිත් පෙරේරා, මධුසුරංග විජේතුංග ඇතුළු කණ්ඩායම මුහුදේ කිමිදුණේ සද්දන්තයා සමග යළි මුහුදු සටනකටය. අලියාගේ ඉදිරිපසින් අත්දෙකට යටින් කිමිදී කඹය අත්දෙක යටින් දමා ඉහළට ගෙන ඒම අභියෝගය විය. කකුල් ගසමින් පීනන අලියාගේ කකුල් පහරවල් අතරින් බේරී කඹය රැගෙන යාමේ අභියෝගය භාරගත් නැවියන් එක් කඹයක් ඉහළට ගෙන ආහ. ඒ අතරේ වූ සුළු නිලධාරි පෙරේරා අලියාගේ පිට උඩට නැග කඹයේ අගුල් දමා ගත්තේ දැඩි සටනක් කරමිනි. පීනමින් යන අලියාගේ දැවැන්ත පා පහරක් විජේතුංගගේ පපුවට වැදෙන්නේ පිටිපස කකුලට ගැටයක් දමන්නට යන අතරේය. කිමිදුම් ඇඳුම නිසා විජේතුංගගේ ජීවිතයට හානියක් නොවුණේ අනූනවයෙනි.

“අපි කකුල් දෙක අස්සෙන් කඹය දාලා කොන්ද මැද්දට ගෙනත් හිර කරලා අලියට අපහසුතාවක් ඇති නොවන්න උඩට ගත්තා. ඊට පස්සේ පැයට කිලෝමීටර් දෙකක වේගයෙන් (නොට්ස් එකක) පී. 422 ඩෝරා එකෙන් ඇදගෙන යන්න ගත්තා.

අලියාගේ ඇඟෙන් සියයට අසූවක්ම වතුර යට තිබුණේ. පිට හරිය පමණයි උඩට තිබුණේ. තත්පර හතරෙන් හතරට වගේ අලියා හොඬවැල වතුරෙන් උඩට කරලා හුස්ම ගන්නවා. අලියා හුස්ම ගන්නවාද බල බලා අපි ගොඩබිම දෙසට ඩෝරා එකෙන් ඇදගෙන ආවා.

සෙඩ්රික් යාත්‍රා දෙකත්, ඩෝරා යාත්‍රා දෙකත් මගින් නිරීක්ෂණය කරමින් අලියාව ගොඩබිම දෙසට රැගෙන යාමේ මෙහෙයුම ක්‍රියාත්මක විය. අලියා මුදාගන්න මෙහෙයුම ඇති පෙදෙසට ධීවර යාත්‍රා ගමන් කිරීමට ඉඩ නොදීමටද නාවික හමුදාව ක්‍රියා කළේ කලබල නොවන සේ අලියා ගෙන යාමටය.

නාවික ඩෝරා යාත්‍රාවෙන් රැගෙන එන අලියා ගොඩබිමට සැතපුම් දෙකක් ආසන්නයේදී යළිත් සෙඩ්රික් යාත්‍රාවලට භාරදීමට උපදෙස් දී තිබුණි. ඒ ඩෝරා යාත්‍රා මෝය කට ආසන්නයට යාමට නොහැකි නිසාය.

රාත්‍රී 7.19ට පමණ ලුතිනන් කමාන්ඩර් ජයකොඩි යටතේ වූ සෙඩ්රික් යාත්‍රාවලට යළිත් ඉතිරි මෙහෙයුම භාර කෙරිණි. ඒ වනතෙක් අලියා එන ගමන් මගේ සෙඩ්රික් යාත්‍රාද පැමිණියේ අලියාගේ තත්ත්වය නිරීක්ෂණය කරමිනි. කිමිදුම් කණ්ඩායමද හදිසි තත්ත්වයකදී ක්‍රියාත්මක වීමට ඒවායේ සිටියහ.

ගොඩබිම් සීමාවට යන සෙඩ්රික් යාත්‍රාවල සහායට විශේෂ යාත්‍රා බළගණයේ කුඩා යාත්‍රා දෙකක්ද යොදවා තිබුණේය.

මුහුදු වෙරළ ආසන්නයට පැමිණ ගොඩබිමට පය ගැසීමත් සමග දඟලන්නට වුවහොත් යාත්‍රා පෙරළෙන්නට වුව ඉඩ ඇති නිසා ඒ සඳහාද සැලසුම් යෙදුවේය. පුල්මුඩේ රන්වැලි නාවික කඳවුරෙන් නාවික භට පිරිස් ගොඩබිම කටයුතු සම්බන්ධීකරණයට පැමිණ සිටියහ.

රාත්‍රී 10.50ට පමණ ගොඩබිම ආසන්නයට මීටර් පනහක් පමණ ළඟා වුණු යාත්‍රාවල කිමිදුම්කරුවන් කඹය රැගෙන ගොස් ගොඩබිමේ භට පිරිස්වලට ලබා දුන්හ. එතැන් සිට භට පිරිස් ගොඩබිම සිට අලියාව ගොඩට අදින්නට වූහ. ගොඩබිමට පය වදිනවාත් සමග අලියා යළිත් මුහුද දෙසට දුවන්නට වීමත් සමග මෙහෙයුමෙන් පසුපසට ගත් නාවික යාත්‍රා යළිත් ළඟා වී ආරක්ෂක වළල්ලක් සේ යොදවා විදුලි එළි ගසා අලියා ගොඩබිම දෙසට පන්නන්නට කටයුතු යෙදූහ.

නාවික යාත්‍රාවක නැගුණු ගොඩබිම සිටි වනජීවී නියාමක ඩබ්ලිව්.එච්. සාලිය නැවියන් සමග මුහුදට ගොස් අලි වෙඩි ගසන්නට වූයේය.

“අලියා කකුල් දෙක බිම වදින තැනදී හිට ගත්තා. එතැන ඉඳන් අදින්නට හැදුවට ආවේ නැති නිසා අපි අලි වෙඩි ගහලා ගොඩබිමට එළෙව්වා. ගොඩබිමට ආවට පස්සේ ගම මැදින් ගියොත් මිනිස්සුන්ට හානි කරන්න ඉඩ ඇති නිසා යාන්ඔය කැලෑව දෙසට යොමු කරන්න අපි නාවික හමුදාවේ සහාය ඇතිව කටයුතු කළා” යැයි වනජීවී නියාමක සාලිය සිය අත්දැකීම විස්තර කළේය.කඹය පිටින්ම යාන්ඔය කැලෑවට රාත්‍රී කාලයේ කඩා වැදුණු අලියා බදාදා (12දා) වන විට අතුරුදන් වූ අතර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ. ලලිත්ගේ උපදෙස් මත වනජීවී කණ්ඩායම් තවත් මෙහෙයුමක් ඇරඹුවේය.

කඹය ඇදී ගිය මාර්ගය ඔස්සේ ගොස් යාන්ඔය කැලෑවේ සිටි අලියා සම්පූර්ණයෙන්ම නිර්වින්දනය නොකර කඹය ගලවන මෙහෙයුමක් සැලසුම් කළේය. ගිරිතලෙන් පශු වෛද්‍ය නිලධාරි කලිගුආරච්චිව ඒ සඳහා රැගෙන ආවේය. මුහුදේ පීනා දුර්වල තත්ත්වයක සිටි නිසා අලියා සම්පූර්ණයෙන්ම නිර්වින්දනය නොකර එන්නතක් මගින් සිහිමඳ තත්ත්වයට පත් කර හිටගෙන සිටියදීම කඹය කපා දැමීමට කටයුතු කළේය.

බදාදා (12) සවස් වන විට අලියා නිරුපද්‍රිතව යාන්ඔය කැලෑවට මුදාහැරුණේය.
අඩි අටක් නවයක් පමණ උසැති නිරෝගිව වැඩුණු මෙම අලියා මුලතිව් කැලෑවෙන් මුහුදට පිවිසෙන්නට ඇතැයි නිගමනය විය. සාම්පූර් මුහුදේ අලි පිහිනා යෑමේ සිදුවීම දකින්නට ඇතත් ගැඹුරු මුහුදු තීරයේදී අලියකු පිහිනා ගිය පළමු වතාව මෙය විය.
පැය දොළහකට වඩා වැඩි නාවික මෙහෙයුමක් කර මෙම අලියා මුදාගත්තේ නාවික හමුදාවේ සියලු දෙනා අලියාගේ ජීවිතය රැක ගන්නට කළ කැපවීම නිසාය. ජාත්‍යන්තර මුහුදු සීමාවට හැතැප්ම හතරක් ඔබ්බෙන් හමුවූ මෙම අලියා නාවික හමුදාවට හසු නොවුණා නම් ජාවා, සුමාත්‍රා දෙසට වුවද දියරැළ ඔස්සේ ගසාගෙන යාමට ඉඩ තිබුණේය.

වීසා නොමැතිව විදෙස් රටකට යන්නට ගිය අලියාට යළිත් ගොඩබිමට එන්නට වරම් ලැබෙන්නේ ෙදෙවෝපගත ලෙසය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com

Untitled-15
කිමිදුම් භටයා අලියාගේ කරමත නැග කඹය යොදමින්
Untitled-18
පී 465 ඩෝරා යාත්‍රාව
Untitled-16
කිමිදුම් කණ්ඩායම භාරව ගිය ලුතිනන් බුද්ධිකගේ කණ්ඩායම වමේ සිට දෙවැනියට සිටින්නේ අලියගේ කරමත නැගගත් සුළු නිලධාරී පෙරේරාය
Untitled-17
ලුතිනන් කමාන්ඩර් ජයකොඩි යටතේ වූ සෙඩ්රික් යාත්‍රාවල ගිය ගලවා ගැනීමේ කණ්ඩායම

Untitled-19 Untitled-14 Untitled-12 Untitled-13