ඒ දිනවල වැහි වැටුණේ හිටිහැටියේය. අහස මන්දාරම් කරමින් මාවීකුඹුරේ වෙලම්බඩ වූ ප‍්‍රදීප් සම්පත් කුමාර නන්දසේනලාගේ ගෙට ඉහළ අහසේත් වැහි වලාකුළු එකතුවුණේ පැත්ත පළාතම පාළු බවකින් මූසල බවකින් පුරවමිනි. ඒ මූසල පාළු ගතිය ප‍්‍රදීප්ගෙ අම්මාට හොඳින් දැනුණාය. ඈ සිටියේ දුකෙන් කනගාටුවෙන් සහ  අමනාපයෙනි. ඒ පෙරදිනයේ වැඩකටවත් නොයා ප‍්‍රදීප් පුතු බයිසිකලයත් ගෙන මිතුරන් හා ගමපුරාම ඇවිද අත තිබූ මුදල් ද වියදම් කොට ගෙන ගෙදර ආ නිසාය.

බයිසිකලය ගත්තාට පසු ඔහුගේ ගමන් වැඩිය. රියැදුරු බලපත‍්‍රයක් ද නොමැතිව මෙයාකාරව බයිසිකලය පදින ප‍්‍රදීප් ගැන ඈ හිතේ වූයේ බියකි. එදා ඒ බිය ඇයට වැඩියෙන්ම දැනුණාය.  ඒ නිසාම අම්මා බයිසිකලයේ යතුරත් බලපත‍්‍රයත්  ගෙන පසුදා වැඩට ගියේ  ඔහුට  බයිසිකලෙන් කොහේවත් රවුම් ගහන්නට නොලැබෙන පරිද්දෙනි.

අම්මා බයිසිකලේ යතුර හැංගුවා කියා ප‍්‍රදීප් බය වූයේ නැත. අම්මා නොදැන සිටියාට ඒ බයිසිකලයේ තවත් යතුරක්  ඔහු ළඟ තිබුණි. උදේත් ම`ද වැස්සක් වැටුණද  ඔහු ලෑස්ති වූයේ මස්සිනාද සමග වැඩ පුරුදුවෙන කඩුගන්නාවේ  ගරාජය වෙතට යාමටයි.

ප‍්‍රදීප්ගේ වැඩිමල් සොයුරියගේ සැමියා ප‍්‍රභාත් සම්පත් හා ඔහු  ඥාතීත්වයටත් වඩා හොඳ යාළුකමකින් සිටියේය. ප‍්‍රදීප්ට සිටියේ කුමුදු චතුරංගි අක්කාත් සන්ධ්‍යා කුමාරි නංගීත් ය. ඉන්ද්‍රා කළ්‍යානි  අම්මාත් අයි. ජී. නන්දසේන තාත්තාත් දියණියන් දෙදෙනා මැද්දට උපන් එකම පුතු ගැන බොහෝ බලාපොරොත්තු හිත  දරාගෙන සිටියහ. දුප්පත්කමත් සමග සටන්කරමින් අවට වතුවල තේදලූ කඩමින්  උපයන මුදලින් අම්මා පවුල ගොඩ ගන්නට වෙහෙස වෙද්දී තාත්තා අත්වැඩ දෙමින්, කඩවල වැඩ කරමින් මුදල් හෙව්වේ  හැකි විදිහට දරු තිදෙනාට උගන්වන්නටයි. ඒත්  එක්කෙනෙක්වත් වැඩිදුර ඉගෙනීමට යොමුවූයේ නැත.

පරණ පට්ටිය රේවත විද්‍යාලයේ ඉගෙනගත් ප‍්‍රදීප් යාන්තම් සාමාන්‍ය පෙළ විභාගය ලිව්වේය. ඒත් විභාගය පාස්කරගන්නට ඔහුට බැරි වුණේය. ගෙදර අයගේ බලකිරීමට පාසල් ගියා මිසක ප‍්‍රදීප් ඉගෙනීමට කැමැති අයකු නොවීය. ඒ නිසාම සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ඔහු ඉස්කෝලෙට ආයුබෝවන් කිව්වේය. ඉස්කෝලෙත් නොයා ගෙදර නැවතුණ පුතු ගැන අම්මාගේ හිතේ වූයේ බරකි. ඒත් ප‍්‍රදීප් ගෙදරට වී නිකම් සිටියේ නැත. අම්මා තාත්තා සේම ගමේ අනෙකුත් තරුණ පිරිස් මෙන්ම ඔහුත් එදා දවසට කීයක් හෝ අතට ලැබෙන රැුකියාවක් කළේය. ඒ වතුවල ගම්මිරිස්, කරාඹුනැටි  කැඞීම, ගස්වල අතු කැපීම වැනි දේවල්ය.  ඒ අතරේ  ඔහු ගමේ මිතුරන්ට ද බොහෝ හිතවත් විය. ගෙදර වාහනයක් නැතත් මිතුරන්ගේ බයිසිකල්වලින් මිතුරු ත‍්‍රිරෝද රථ රියැදුරන්ගෙන්  හොඳින් ඒ වාහන පදින්නට ඉගෙන ගත්තේය. ඒත් දෑතට ශිල්පය  ගත්තාට එහි නීත්‍යනුකූලබව රැුකගන්නට රියැදුරු බලපත‍්‍රයක් ලබාගන්නා එක ප‍්‍රදීප් දවසින් දවස කල් හැරියේය. පළවෙනිම  කාරණාව වූයේ ඒ සඳහා වැය කරන්නට මුදලක් නොමැති වීමයි.

රියැදුරු බලපත‍්‍රයක් නොමැතිව වුවද ත‍්‍රිරෝද රථයක් ගෙදරට ගන්නා ලෙස කියමින් ප‍්‍රදීප් අම්මාට කරදර කළේ 2014  වසරේය. එදා වේල කුලී වැඩෙන් පිරිමසා ගන්නා කල්‍යාණිලාට හිතෙනකොට ත‍්‍රීවිල් ගන්න තරම් මුදලක් අතේ තිබුණේ නැත. ඒත් කල්‍යාණිගේ හිතේ දියණියන් දෙන්නාට වඩා වැඩි ආදරයක් එකම පුතුට තිබුණේය.

කිව්වා නාහන ගතියක්  තිබුණත් කල්‍යාණි  ප‍්‍රදීප් ඉල්ලන දෙයක් කර දුන්නේ ඒ නිසාය. අම්මා කෙසේ හෝ ත‍්‍රීවිලරයක් ගන්නා බව ඒ නිසා ප‍්‍රදීප් දැන සිටියේය.  ඔහු සිතුවා සේම කළ්‍යාණි සමෘද්ධි බැංකුවෙන් රුපියල් 50,000 ක  ණය මුදලක් ගෙන  ත‍්‍රිරෝද රථයක් නිවසට ගෙන ආවාය. ප‍්‍රදීප්ට ත‍්‍රිරෝද රිය ලැබුණේ වයස අවුරුදු දහ අටෙනි. රියැදුරු බලපත‍්‍රයක් ගන්නවා නම් ඔහුට ඒ සඳහා වයස ද සම්පූර්ණවී තිබුණේය. ඒත් ඔහුට රියැදුරු බලපත‍්‍රයක් ගන්නට  ඕනෑකමක් නොවීය. ඔහු ත‍්‍රීවිලරයෙන් ගමේ පොඩි පොඩි ගමන් දිව්වේය. ඒ නිසා ත‍්‍රීවිලරයට ගත් ණය පියවන්නටවත්  ලීසිං වාරිකය ගෙවා ගන්නටවත් සරිලන ආදායමක් ලැබුණේ නැත. ඒත් කල්‍යාණි  හා නන්දසේන උපයන මුදලින් කෙසේ හෝ ඒ ණය වාරික ද  ගෙවා දැම්මාය. අවුරුදු එකහමාරකටත් වඩා ත‍්‍රීවිලරය දිව්වද ණය මිස ආදායමක් නොමැති විය. ඔවුන් බෙහෙවින් අමාරුවේ වැටුණේ නන්දසේන වැටී අත කැඩුණ නිසාය. ලීසිං වාරික හතරක් ගෙවන්නට නොහැකිවූ නිසා ෆිනෑන්ස් ආයතනයෙන් ත‍්‍රීවිලරය රැුගෙන ගියේය.

කාටත් වඩා ත‍්‍රීවිලරය නැති පාඩුව දැනුණේ ප‍්‍රදීප්ටයි. හිතෙනකොට ගම පුරා රවුමක් ඉගිල එන්නට හෝ නැත.  මාස දෙක තුනක් ගෙවුණේය. රුපියල් දාහ ගණනේ වැඩකරන අයත් සමග ඇල්ලූ සීට්ටුවේ රුපියල් තිස් දහසක කල්‍යාණිගේ සීට්ටුව ලැබුණේ ගිය මාසේය. ප‍්‍රදීප් අම්මා අත මුදල් ඇති බව දැන ඈ ළඟට ගොස් කෙදිරි ගෑවේය.

”මං වැඩ කරලා අම්මට ටික ටික  30,000  දෙන්නම්.. මට ඔය සල්ලි දෙනවද බයික් එකක් ගන්න  ”

අම්මා කතා දෙකක් නැතුව ඊට කැමැති වූයේ ත‍්‍රීවිලරයත් විකිණූ නිසා පුතුට දුක ඇත යන සිතුවිල්ලෙනි. ඊටත් කිව්වා නෑහුවා වුණත් කල්‍යාණි පුතුට ආදරේය.
”ඒත් මේ සල්ලි ඇතියැයි බයික් එකක් ගන්න..”

කල්‍යාණි හිතට දැනුන සිතිවිල්ල කීවාය. ඔහු ඊට ද විස`දුමක් සොයාගෙන තිබුණි. බයිසිකලය රුපියල් 50,000කි. ඉතුරු රුපියල්

20000 ද ඔහු අක්කාගෙන් ණයට ඉල්ලා ගත්තේ වැඩ කර ණය ගෙවන පොරොන්දුවෙනි.  ප‍්‍රදීප් බයිසිකලය ගත්තේ ගිය මාසයේ මැද වගේය. ඒ ඔහුට ඉගිලෙන්නට පුළුවන් විදිහේ පාවිච්චි කළ ටේ‍්‍රල් බයිසිකලයකි. බයිසිකලය ලැබුණු ප‍්‍රදීප් හිටියේ තටු ලැබුණා සේය. ඒත් කල්‍යාණි සිටියේ බයෙනි. ඈ එදා,  පසුගිය ජුනි 24 වැනිදා  බයිසිකලයේ යතුරත් ආදායම් බලපත‍්‍රයත් රැුගෙන වැඩට ගියේ ඒ නිසාය.

ඒත් කල්‍යාණිගේ උත්සාහය වැඩක් වූයේ නැත. ප‍්‍රදීප් අමතරව තිබූ යතුර ගෙන මස්සිනා හා ඔහු වැඩ කරන ගරාජයට ගියේය. එතැන වැඩ පුරුදුවන්නට ප‍්‍රදීප් ගොස් සතියක්වත් නැත. එදා ඔවුන්ට තිබුණේ ගරාජය අස්කරන්නටයි. අයිතිකරුද ගමනක් ගොසිනි. ඔවුහු දවල් 1.30 පමණ වෙද්දී ගරාජය අස් කර ආපසු එමින් සිටියහ. බයිසිකලය පැද ආවේ ප‍්‍රභාත් ය. ගමෙන් පිට යද්දී එද්දී  වාහන බලපත‍්‍රය නැති නිසා ප‍්‍රදීප් බයිසිකලේ පැද්දේ නැත.

”හරි බඩගිනියි …”
ප‍්‍රදීප් දෙතුන් ගමනක්ම ප‍්‍රභාත්ට කීවේය. යන්නේ ගෙදර නිසා කෑම ඇති බවත් ඔහු දැන සිටියේය. හැමදාමත් යන එන පාර වුවද ඒ පාරෙ වංගු හැමතැනමය. උස්ව ඇති රට තණකොළ පඳුරු නිසා ඉදිරිය කොහෙත්ම පේනවා අඩුය. ඔව්හු මානික්කාවත පන්සල ආසන්නයට පැමිණෙමින් සිටියහ. එතැන සිට ගෙදරට ඇත්තේ කිලෝමීටර් දෙකක් දෙකහමාරක පමණ දුරකි.  එක්වරම වංගුවෙන් ඉදිරියට පැමිණි සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාහනය දකිද්දී ප‍්‍රභාත්ට කිසිවක්ම හිතාගන්නට බැරි වුණේය. ඒ තත්පරයේ වාහනයේ ගැටුණ බයිසිකලයෙන් පිටුපස ඉඳගෙන සිටි ප‍්‍රදීප් අඩි ගණනාවක් උඩින් ගොස් වම්පස වූ ඇළ පාරට වැටුණේය. ප‍්‍රභාත් බයිසිකලයත් සමගම පෙරළී වැටුණේය.

මොහොතකින් එහි  පැමිණි ප‍්‍රදීප්ගේ මිතුරන් විසින් ඇළට වැටී සිටි ප‍්‍රදීප්ව වහා බඹරදෙණිය රෝහලට ගෙන ගියහ. පිටතින් කිසිදු තුවාලයක් නොවුණද ඒ වනවිටත් ප‍්‍රදීප්ගේ නහයෙන් කටින් ලේ පිටවෙමින් තිබුණේය. ඔහු පැළඳ සිටි හිස්වැස්ම ගැලවී හතරට ඉරිතලා තිබුණි. නොඅනුමානවම ඇළේ ඇති ගලක ඔහුගේ හිස වැදී ඇතැයි කවුරුත් අනුමාන කළහ.

”පුතාව බඹරදෙණිය ඉස්පිරිතාලෙන් මහනුවර ඉස්පිරිතාලෙට ඒ වෙලාවෙම මාරු කරලා තිබුණා. හිටපු  තත්ත්වෙ හැටියට බේරගන්න අමාරුයි. උත්සාහ කරන්නම් කියලා තමයි කිව්වෙ. ඒත් එයාට සිහිය ආවෙම නෑ. දැඩි සත්කාර ඒකකයේ මැෂින්වලට හයි කරලා හිටියේ. ඇහිපිල්ලමක්වත් ගැහුවෙ නෑ. දොස්තර මහත්තුරු කිව්වෙ මොළේට හානිවෙලා. දරුවා බේරගන්න පුළුවන් උත්සාහයක් ගන්නවා කියලා. අපි හැමදාම පුතා  බලන්න ගියා. උදේ ගියාම දවසම ඉඳලා උදෙයි, දවලූයි  හවසයි තුන්වරුවම බලලා එන්නේ. අනේ ඉතින් මැෂින්වලට ගහලා ඉන්න පුතාගෙ අත, පය  අතගගා හිටියා. කතා කළා. කොයි මොහොතෙ හරි ඇහැක් අරියි කියලා බලාගෙන හිටියා. අනේ ඒත් එහෙම වුණේ නෑ.

පුතා ඉස්පිරිතාලෙ අරන් ඇවිත් 11 වෙනි දවසෙ පුතා බාර දොස්තර මහත්තයා මටයි, තාත්තටයි, පුතාගෙ නැන්දටයි කතා කළා. පුතාගෙ මොළේ මියගිහින් තියෙන්නෙ කිව්වා. පුතාව ජීවත් කරන්න බෑ කිව්වා. එ්ත් කැමැති නම් පුතාගෙ ඇස්, වකුගඩු, හදවත තවත් රෝගීන් වෙනුවෙන් දන් දෙන්න පුළුවන් කිව්වා. එහෙම දුන්නොත් ඇස් දෙකෙන් හතර දෙනෙකුත් වකුගඩුවකින් දෙන්නෙකුත්, හදවතෙන් එක්කෙනකුත් එක්ක හත්දෙනෙක් ජීවත් කරවන්න පුළුවන් කිව්වා.

තාත්තා කිව්වා පුතාව ජීවත් කරන්න බැරිනම් තව අය ජීවත් කරන්න අවයව දෙන්න කැමැතියි. ඒක අපෙ පුතාට පිනක් කියලා. අපි පුතාගෙ අවයව පිනට දුන්නේ. මේ පින් ඔක්කෝම අපේ පුතාට ආයෙ මේ වගෙ දෙයක් නොවෙන්න ලැබෙන්න  ඕන. අවයව දෙන්නම් කියපු වෙලේ තාත්තා කිව්වෙත් සල්ලි එහෙම එපා. පූතාගෙ අවයව දෙන්නෙ පිනට කියලා. ”

අනෙක් දරුවන්ට වඩා වැඩියෙන් ප‍්‍රදීප්ට ආදරේ කළ කල්‍යාණි පුතු වෙනුවෙන් කළ උතුම්, නිමක් නැති පුණ්‍යකර්මය සිහිපත් කළේ එලෙසිනි. ඒ වන විට මහනුවර මහරෝහලේ වෛද්‍යවරුන් විසින් ප‍්‍රදීප්ගේ මොළය මියගොස් ඇති බවටත් යළි ඔහුව ජීවත් කළ නොහැකි බවටත් තහවුරු කොටගෙන  තිබුණි. ඔහුගේ අවයවවලින් මියෙන්නට සිටින තවත් ජීවිත ජීවත් කළ හැකි බවට ඔවුන් ප‍්‍රදීප්ගේ මව්පියන්ට යෝජනා කරන්නේ ඉන්පසුවය.  ඒ අනුව ජූලි හත්වැනිදා,  ප‍්‍රදීප්  රිය අනතුරට ලක්ව දින 14 කට පසුව දැඩි සත්කාර ඒකකයේ යන්ත‍්‍ර වලින් ඉවත්කර මවිපියන්ගේ කැමැත්තට අනුව ඔහුගේ ඇස්, වකුගඩු සහ අවසානයේ හදවත ද ඉවත්කරනු ලැබීය.

විසි එක් හැවිරිදි වියේ දී ප‍්‍රදීප්ට ජීවිතය හැරයන්නට සිදුවූවත් ඔහුගේ හදවතෙන් මේ වනවිටත් මරණය අතදරාගෙන සිටි 37 හැවිරිදි එක්දරු මවක් ජීවිතය ලබා සිටින්නීය. ප‍්‍රදීප්ගේ සිරුරින් ඔහුගේ හදවත වෙන් වෙත්ම  ඒ මොහොතේම මේ රෝගීව පසුවූ කාන්තාවගේ සිරුරේ ඒ හදවත තැන්පත් වුණේය. ප‍්‍රදීප් මියගියත් ඔහුගේ හදවත තව කෙනෙකුගේ පපුවෙහි ගැහෙයි.

”අපි ටීවී එකෙන් දැක්කා.  පුතාගෙ හදවත් බද්ධ කරපු සිද්ධිය. හදවත බද්ධ කරපු කෙනත් දැක්කා. එයාලා තවම අපිට කතා කළේ එහෙම නෑ. අපිටත් ආසයි ඒ දුව බලන්න. අපේ පුතා අපිට ගෙදර නැති එක දුකයි. ඒත් අපිට සංතෝෂයි අපේ පුතාගෙ හදවත කොහේ  හරි ජීවත් වෙනවනෙ… ගිය සතියෙ අපිට මහනුවර රෝහලේ අධ්‍යක්ෂතුමා එන්න කියලා, අපේ ඉඩමෙ ගෙයක් හදවලා දෙනවා කියලා ජනාධිපතිතුමාගෙ පණිවුඩයක් කිව්වා. ජනාධිපතිතුමා ටීවී එකෙත් කිව්වලූ අපට ගෙයක් හදලා දෙනවා කියලා.. අනේ ඉතින් මොනවා වුණත් මගෙ පුතාට ආයේ උපදින කිසිම ආත්මෙක මේ වගේ අකල් විපතක් වෙන්න එපා.. ”

ඒ අම්මෙකු හදවත පලා  එන දුක වාවාගෙන කරන ප‍්‍රාර්ථනාවයි.  පෙර ආත්මයක කළ පවකට මෙවන් විපතක් වූවද ඒ විපත මැදින් ප‍්‍රදීප් සම්පත් කුමාර නන්දසේන මේ ආත්මයේ අවයව දන්දීමෙන් ආත්ම ගණනාවකට පින් එක්කොට ගෙන ඇත. ඒ  පින් මහිමයෙන් කිසිදු ආත්මයක යළි මෙවන්  විපතක් නොවේවා .

බියංකා නානායක්කාර
ඡුායාරූප – චතුර එස්. කොඩිකාර

Untitled-7
ප‍්‍රදීප්ගේ දෙමාපියන්ට ජනපතිගෙන් නිවසක් ලැබෙන බවට මහනුවර රෝහල් අධ්‍යක්‍ෂවරයා දැනුම් දෙමින්

Untitled-8