තාරුක පුතා තම නව නිපැයුම සමග

අපි පුංචි කාලයේ අපේ සීයලා ආච්චිලාගෙන් විවිධ කතාන්දර අසා රස විඳ ඇත්තෙමු. ඒත් කතන්දර කියන සීයලා, ආච්චිලා කතන්දර අසන මුනුපුරු මිනිපිරියන් අද විරලය. මේ දෙගොල්ලම දැන් ඉන්නේ රූප පෙට්ටි ළඟය. රූප පෙට්ටියේ යන ඉන්දියානු කතා නරඹන ඒ අයට කතාන්දර කියන්නට හෝ කතන්දර අසන්නට වේලාවක් නැත.
මට අපේ කිරිඅම්මා කියා දුන් කතාවක් තවමත් හොඳ හැටි මතකය. ඒ කතාව ‘අරුම පුදුම සැරයටිය’ නම්විය. ඉතා උස් තැන්වල පිහිටි අඹ, කජු පුහුලන්, දොඩම්, නාරං කඩන, අහසින් ද යා හැකි මේ අරුම පුදුම සැරයටිය ගැන කතාව අපි පුංචි කාලයේ රස කර කර රස විඳ විඳ ඇසුවෙමු.

මේ සැරයටිය වසර 55ට පසු නැවත මතකයට ආවේ මාවතගම මැදිමහ විදුහ‍ලේ නවය ශ්‍රේණිය ‘බි’ පන්තියේ ඉගෙනුම ලබන තාරුක දිල්ෂාන් කුමාර හේරත් නම් පුංචි නව නිර්මාණකරුවා අතින් නිමවූ ‘අරුම පුදුම සැරයටිය’ පිළිබඳ තොරතුරු ගවේෂණයේදීය. එම සැරයටිය නම් කර ඇත්තේ ‘ආලෝක සැරයටිය’ නමිනි.

මේ අරුම පුදුම සැරයටිය හරි අපූරු සැරයටියකි. දෘශ්‍යාබාධිත පුරවැසියන් සඳහා නිර්මිත මෙම සැරයටිය ක්‍රියාත්මක කිරීමට බොත්තම් හතරකි. පළමු බොත්තම ක්‍රියාත්මක කළ විට සැරයටිය රැය සහ දවාල පෙන්වා දෙයි. හරිම පුදුමය. එම බොත්තම ක්‍රියාත්මක කරන්නේ දහවල නම් ‘මේ දහවල් කාලයයි’ යනුවෙන් මේ සැරයටිය පවසයි. රාත්‍රියේ නම් ‘මේ රාත්‍රී කාලයයි’ යනුවෙන් සැරයටිය පවසයි.
දෘශ්‍යාබාධිත පුද්ගලයකු මෙම සැරයටිය අත දරා යන විට යම් උදව්වක් ඇවැසි නම් දෙවන බොත්තම ක්‍රියාත්මක කළ යුතුය. එවිට ‘කරුණාකර මට උදව් කරන්න’ යනුවෙන් මේ සැරයටිය පවසයි. උදව්වට කෙනෙකු එනතුරා උදව් කරන අයකුට ඇසෙන තුරා සැරයටිය මේ ඉල්ලීම කරයි. කෙනෙකු උදව්වට ඉදිරිපත් වූ විට එම හඬ නවත්වන්නේ හතර වන බොත්තමෙනි.

තුන්වන බොත්තම ක්‍රියාත්මක කළ විට එසේ ක්‍රියාත්මක කළ අවස්ථාවේ වේලාව නිවැරදිව පැවසීමට ‘මේ අරුම පුදුම සැරයටිය’ සමත්ය. පළමු බොත්තමින් දිවා රැය වෙන් වෙන්ව හඳුන්වා දීම තවදුරටත් තහවුරු වීමට මේ වේලාව පැවසීම ඉවහල් වේ.
එමෙන්ම ඉදිරියේ බිත්තියක්, වළක්, මිනිසෙක් වැනි බාධක ඇත්නම් සංඥාවක් මගින් ඒ බව දැනුම් දීමටද මෙම සැරයටියට හැකියාව ඇත. සැරයටිය අග ඇති යකඩ බෝලය නිසා සැරයටිය බිම ගසමින් යන්නට එය භාවිත කරන්නාට සිදු නොවේ.

ගැට්ටක්, වළක් වැනි බාධකයක් ඇත්නම් එය මේ සැරයටියට දැනෙන්නේ භාවිත කරන්නාට පෙර සැරයටිය එම බාධකය හඳුනාගෙන පුද්ගලයා දැනුවත් කරන නිසාය.
සැරයටිය භාවිත කරමින් ඉදිරියට යද්දී ඉන් නිකුත් වන රතු එළිය සහ ලුමිනස් සෙලෝටේප් නිසා ඉදිරියෙන් එන කෙනකුට දිවා රාත්‍රී දෙකෙහිම එම සැරයටියෙන් විහිදෙන රතු සහ ලුමිනස් වර්ණ නිසා දෘශ්‍යාබාධිත පුද්ගලයකු බව කල්තියා හඳුනාගත හැකිය. නැවත බලගැන්විය හැකි (රීචාර්ජබල්) බැටරි දෙකකින් මෙම සැරයටියට අවශ්‍ය බලය සැපයෙන අතර ගෘහස්ථ විදුලි බලයෙන් එම බැටරිය නිතර නිතර බලගැන්විය (චාර්ජ්) කළ හැකිය. පැය දෙකක් විදුලි බලය ආරෝපණය කරගත් පසු පැය 20ක් මේ සැරයටිය භාවිත කිරීමට හැකිය.

මේ අරුමපුදුම සැරයටියක්මය. මේ නව නිපැයුම සොයා ගත් නිර්මාණය කළ පුංචි හපනා තාරුක දිල්ෂාන් කුමාර හේරත්ය. තවමත් 14 වන වියේ පාසල් සිසුවෙකි. ඔහුගේ මව එල්.ඒ. ශිරෝමි ලියනාරච්චිය. (43) පියා එච්.එම්. වසන්ත කුමාර හේරත්ය.

මේ දෙමහල්ලන්ට පිරිමි දරුවන්ම දෙදෙනෙකි. ලොකු පුතා ඉරෝෂන් විමුක්ති කුමාර හේරත්ය. 21 වන වියේ පසුවන ඔහු ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ මෝටර් කාර්මික පාඨමාලාවක් හදාරයි. ඔහුද මෝටර් රථයක් සම්පූර්ණයෙන් ගලවා නැවත සවි කළ හැකි හපනෙකි.

පවු‍ලේ බඩ පිස්සා අපේ පුංචි වීරයා තාරුකය. මේ ඔහු කියන කතාවයි.
“පුංචි කාලෙ ඉඳලම මට ‍පොඩි ‍පොඩි යන්ත්‍ර සූත්‍ර ගැන විමසන ඒවා ගලවලා බලන පුරුද්දක් තිබුණා. 7 ශ්‍රේණියේ ඉගෙන ගනිද්දී මම රුචිර කියලා අයියා කෙනෙක් එක්ක එකතු වෙලා මකුළුදැල් කඩන යන්ත්‍රයක් නිර්මාණය කළා. ඊට පස්සේ තණකොළ කපන යන්ත්‍රයක් හැදුවා.

අපට තාක්ෂණය උගන්වන සර් නන්දන කරුණාසේන සර් නව නිපැයුම් තරගයක් තියනවා. ඒකට ඉල්ලුම්පත් දාලා ඉදිරිපත් වෙන්න කියලා 6 ශේ්‍රණියෙන් ඉහළ සිසු සිසුවියන්ට කිව්වා. ඒ තරගය තිබ්බේ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමෙන් (ඉඹ්ඛි) මේ තරගයට අපේ පාසලෙන් (මාවතගම මැදි මහා විදුහලින්) ඉදිරිපත් වුණේ මම විතරයි.

එම තරගයට මම මේ ‘ආලෝක සැරයටිය’ නිර්මාණය කළා. එය කොට්ඨාස පළාත් ජය අරන් සමස්ත ලංකා මට්ටමිනුත් ජයග්‍රහණය කළා. පස්සේ මට ජාත්‍යන්තර තරග දෙකට යන්න අවස්ථාව ලැබුණත් යන්න බැරි වුණා. ඒ හොංකොංවල හා ඊජිප්තුවේ පැවැති තරග දෙකට. ඊළඟට මැ‍ලේසියාවේ ක්වාලාම්පූර් නගරයේ පැවති නව නිර්මාණ තරගයට යන්න අවස්ථාව ලැබුණා. එහිදී රටවල් 58ක තරගකරුවන් 258 දෙනකු සමග තරග කරලා මගේ ‘ආලෝක සැරයටිය’ හොඳම නව නිපැයුම ලෙසත් කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානයත් කනිෂ්ඨ අංශයේ හොඳම නව නිපැයුම ලෙසත් ඇගයීමට පාත්‍ර වුණා. මේ වෙලාවේ මට කියලා නිම කරන්න බැරි තරම් සතුටක් හිතට දැනුණා. මේ ජයග්‍රහණයේ ගෞරවය මට, මගේ දෙමාපියන්ට, මගේ පාසලට, මගේ රටට නේද ලැබුණේ කියලා හිතනකොට මට මහා සතුටක් දැනුණා.”

මේ අපේ පුංචි වීරයා කියන කතාවයි. මේ ජයග්‍රහණ රැගෙන ගමට ආ මොහොතේ තාරුක පුතාව පිළිගන්නට ගමේ පන්ස‍ලේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි අපූරු රථ පෙළපාළියක් සංවිධානය වී තිබුණි. පාස‍ලේ එවැනිම වැඩසටහනක් සංවිධානය වූයේ නියෝජ්‍ය විදුහල්පති සරත් සේනාසිංහ මහතා ඇතුළු ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙනි.

තාරුක පුතා නව නිර්මාණ කරුවෙක් පමණක් නොවේ. ඔහු දක්ෂ කරාටේ ශූරයෙකි. හය ශ්‍රේණියේ සිට මේ දක්වා කරාටේ තරගවලින් ඔහු හිමිකරගත් පදක්කම් අටක් සහ සහතික තිහක් අපට පෙන්වූයේ මහත් අභිමානයෙනි.

ඒ විතරක්ද? ඔහු පාස‍ලේ 15න් පහළ ක්‍රිකට් සහ අත්පන්දු කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයෙකි. පාසල් පාර්ලිමේන්තුවේ නව නිපැයුම් සහ තාක්ෂණික ඇමැතිවරයාද මේ අපේ පුංචි වීරයා තාරුකය. උඩඉඟුරුවත්ත ශ්‍රී ධම්මානන්ද දහම් පාස‍ලේ ශිෂ්‍ය නායකයාද වන පුංචි තාරුක ගමේ පිහිටුවා ගත් එකමුතු ළමා සමාජයේ සභාපතිවරයාය. ගමේ යෞවන සමාජය වූ දිලෙන තරු යෞවන සමාජයේ උප සභාපතිවරයාය.

ඔහුට උපකාර කළ සහයෝගය දුන් අතහිත දුන් ආශීර්වාද කළ අය අතර විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අනුශාසක බ්‍රිගේඩියර් සරත් ආනන්ද පල්ලෙමුල්ල පෞද්ගලික උපකාරක පන්තියේදී ඔහු දිරිමත් කළ නිමල් නන්දන විද්‍යා ගුරුතුමා නන්දන වීරසිංහ ගණිත ගුරුතුමා මංජු ප්‍රභාත් ඉංග්‍රීසි ගුරුතුමා පාස‍ලේ හිටපු විදුහල්පති හේරත් මහතා වත්මන් විදුහල්පති ආර්.එම්.සී.බි. රත්නායක මහතා සිටින අතර විශේෂයෙන්ම සෙවණැල්ලක් මෙන් ඔහුගේ ජයග්‍රහණ හමුවේ මේ පුංචි වීරයා දෝතින් ඔසවා නගා සිටුවීමට අතදෙන අත දුන් නියෝජ්‍ය විදුහල්පති සරත් සේනාසිංහ මහතා මෙන්ම ආචාර්ය මණ්ඩලයේ සඳමාලි නවරත්න, නාමලී යන ගුරු මව්පියවරුන්ද මේ නව නිපැයුමට උපකාර කළ ඉසුරු ඒකනායක සොහොයුරාද සිහිපත් කරන්නේ ගෞරවය මුසු අපිරිමිත සෙනෙහසකිනි.

මේ පුංචි වීරයාගේ සෙවණැල්ල නියෝජ්‍ය විදුහල්පති සරත් සේනාසිංහ මහතාය. පුංචි තාරුකව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හඳුන්වා දීමට පුරෝගාමී වූයේ ඒ මහතාය. මේ සරත් සේනාසිංහයන් අපට තාරුක ගැන කිවූ කතාවයි.

“තාරුක පුතාගේ දක්ෂකම් රටට ආඩම්බරයක්. ජාතික තලයේ මෙන්ම අන්තර්ජාතික තලයේ ජයග්‍රහණ රැසක් ඔහු හිමි කරගෙන තියෙනවා. කුරුණෑගල පැවැති ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම් උළෙලට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවෙන්න අවස්ථාවක් උදා කර ගත්තා. එතුමා එදා තාරුක පුතාගෙන් ඇහුවා ‘පුතාට මොනවද ඕනෙ’ කියලා. එතකොට මේ දරුවා කිව්වේ තාක්ෂණ විෂයය හදාරන්න පහසුකම් තියෙන පාසලකට යන්න තිබුණොත් හොඳයිකියලයි. ජනාධිපතිතුමත් කිව්වේ මේ දරුවා තාක්ෂණ විෂයය සඳහා උපරිම පහසුකම් ඇති පාසලකට රගර්, ක්‍රිකට්, අත්පන්දු වගේ ක්‍රීඩාවන් තියෙන පාසලකට යොමු කරන්න කියලයි.

මෙහිදී මේ දරුවා වෙනුවෙන් අපේ විදුහල්පති ආර්.එම්.සී.බි. හේරත් මහතාගේ අනුදැනුම ඇතිව දරුවට හොඳ පාසලක් සොයා දෙන්න උත්සාහ කරන මොහොතක තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්කත් මේ දරුවා කිව්වේ ‘මට හොඳ පාසලක් දෙන්න’ කියලා.

අද (13) ජනාධිපති සම්බන්ධීකරණ ‍ලේකම් සේනක අබේගුණසේකර මහතා මේ දරුවාගේ නිවසට ආවා. එතුමා අතේ තිබුණා අපි එදා සමුපකාර දින උළෙ‍ලේදී ජනාධිපතිතුමාට දුන් ලිපිය. ලියුමෙම ජනාධිපතිතුමාගේ අත් අකුරින්ම සටහනක් ගහලා තිබුණා එයින් කියැවෙන්නේ ‘මේ දරුවාගේ අවශ්‍යතා ඉටු කරන්න.’ යන නියෝගය තමයි දීලා තිබුණේ.

ඒ ලිපියට අනුවයි අද ජනාධිපති සම්බන්ධීකරණ ‍ලේකම්තුමා ඇවිත් හිටියේ. එතුමා මගෙන් ගමේ පන්සලෙන් තොරතුරු විමසුවා. ඒ ඔස්සේ සොයාගත් තොරතුරු එක්ක ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීම ඉටු වේවි.”

මේ අපේ පුංචි වීරයා දස මසක් කුස දරා බිහි කළ දරුවා පිළිබඳව ඔහුගේ සෙනෙහෙවත් මව ශිරෝමි ලියනාරච්චි මහත්මිය අදහස් දැක්වූ අයුරුයි.

“මේ දරුවා පුංචි කාලෙ ඉඳලා අලුත් අලුත් දේවල් නිර්මාණය කරන්න උත්සාහ ගත්තා. මෙයා පුංචි කා‍ලේ (අවුරුදු 9 විතර) හරිම දඩබ්බරයෙක්. ඒක එයාට අවුරුදු 9-10 වෙද්දී වෙනස් වුණා. එයා හරිම තැන්පත් කෙනෙක් වුණා. ඒ කා‍ලේ පුතා මහණ වෙන්න කියලා හරියට අපට කරදර කළා. දැන් එහෙම නෑ. දරුවට මේ නව නිපැයුම් කරන්න අතහිතදීම තුළින් තමයි අපි දරුවා මේ තැනට ගේන්න ලොකු වෙහෙසක් දැරුවා. මේ වෙහෙසේ ප්‍රතිඵලය මේ දරුවාගේ නව නිර්මාණ ජාත්‍යන්තර ඇගයීමට පවා ලක්වීම.

මේ දරුවා ජනාධිපතිවරයා හමුවේ ඉල්ලා සිටියේ එකම එක ඉල්ලීමයි. නව තාක්ෂණික දැනුම වර්ධනය කරගෙන නව නිර්මාණකරුවකු ලෙස තවත් ඉදිරියට පිය නගන්නට තාක්ෂණික විෂයය හැදෑරීමට පහසුකම් ඇති පාසලකට ඔහු ඇතුළත් කර දෙන්න එම ඉල්ලීමයි.

ජනාධිපතිවරයා මේ ඉල්ලීම ඉටු කිරීමට කටයුතු කරනු ඇතැයි යන විශ්වාසය අපේ සිත් තුළ තැන්පත් වූයේ ජනාධිපති සම්බන්ධීකරණ ‍ලේකම් සේනක අබේගුණසේකර මහතා ජනපති නියමයෙන් තාරුකගේ නිවස සොයා පැමිණි නිසාය.

බොහෝ නව නිර්මාණකරුවන් රටේදී නිසි ඇගයීමකට ලක් නොවන කල ඔවුන් ඇගයීමට ලක් කරන චීනය, ජපානය වැනි රටවලට යාමට අවස්ථාව හදා ගන්නා බවත් පෙනී යයි.

ලෝකයේ ප්‍රථම වරට කවකටු පෙට්ටිය වැඩි දියුණු කළ ගල්නෑවේ තිසර බණ්ඩාර කසළ ප්‍රතිචක්‍රීයකරණ යන්ත්‍රය නිමවූ ගම්‍පොළ විකුම් රටේ ඇගයීමට ලක් නොවුවද ලෝකයේ දියුණු රටවල ඇගයීමට ලක්වී ඔවුන් සතු නව නිර්මාණ හැකියාව එම රටවලට ලබා ගන්නා තත්ත්වයක් මත තිසර බණ්ඩාරට වසර හතරක චීන රජයෙන් ශිෂ්‍යත්වයක් පිරිනමා ඇත. ඔහු තව ටික දිනකින් ඒ සඳහා විදෙස්ගත වනු ඇත.

මේ තත්ත්වයේ වෙනසක් ඇවැසි මේ මොහොතේ එම වෙනස සිදු කරමින් නව නිර්මාණකරුවන්ට අතහිත දෙන බලධාරීන් සහ නිලධාරීන් අප රට තුළින් මතුවේවා යැයි පතමින් මේ ලිපිය හමාර කරන්නේ තාරුක පුතාට සුබ පතමිනි. තාරුකගේ දුරකථන අංකය 0372298779 වේ.

සටහන : සුනිල් ‍පොරමඬල
s.poramadala@gmail.com
ඡායාරූප : මහින්ද ජයසිංහ (රිවිර මාවතගම ප්‍රවෘත්ති ‍ලේඛක)

Untitled-10