මේ දිනවල රටේ වැඩි දෙනා අතරේ මාතෘකාවක් වී ඇති කසළ බැහැර කිරීමේ ප්‍රශ්නය ගැනත් ඒ හා බැඳුණු ඩෙංගු ව්‍යාප්තිය ගැනත් වත්මනෙහි රටේ මතු වී ඇති සෙසු දේශපාලන අර්බුද පිළිබඳවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමග කළ සාකච්ඡාවකි.

ප්‍ර – පසුගිය ආණ්ඩුව කා‍ලේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කොළඹ කුණු මීතොටමුල්‍ලේ හැංගුවා කියනවා. චම්පික රණවක ඒ කුණු කොහෙද හංගන්නේ?
පි – අපි කිසි තැනක කුණු හංගන්නේ නෑ. ඒකට වැඩපිළිවෙළක් හදනවා. පසුගිය කාලය තුළත්, ඊට පෙරත් කසළ විධිමත් ආකාරයකට නිර්මාණය කරන ගෙවල් හිමියොත් ඒවා භාරදුන්නෙත් නෑ. ඊළඟට නගර සභාවෙන් ඒවා විධිමත් ආකාරයට බැහැර කළෙත් නෑ. අපි නිතරම කීවේ සා‍ලේ ලස්සනට තියාගත්තට වැඩක් නෑ වැසිකිළියයි, කුස්සියයි අපිරිසිදු නම්. ඉතින් මීතොටමුල්ල, බ්ලූමැන්ඩල්, කරදියාන වගේ කසළ කඳු හැංගිලා තිබුණා. එළිය ලස්සනට තිබුණා. ඒක තමයි ඇත්ත තත්ත්වය.

ඉතින් කසළ සම්බන්ධයෙන් ගත්තොත් අපි නාගරික සංවර්ධන අධිකාරිය හින්දා අපට ඇඟිල්ල දිගු කරලා චෝදනා කළාට වගකීම තියෙන්නේ නගර සභාවට, ප්‍රාදේශීය සභාවට. ඒ වගේම ඒවා පාලනය කරන පළාත් සභාවට. නමුත් පසුගිය කා‍ලේ විවිධ කරුණු නිසා කසළ මංමාවත්වල ගොඩගැහෙන්න පටන් ගත්තා. එකක් මීතොටමුල්ල ඇතිවුණු ඛිෙදවාචකය නිසා කොළඹ, කඩුවෙල, කොළොන්නාව, පෑලියගොඩ ආදී ප්‍රදේශවල කසළ දාන්න තැනක් තිබුණේ නෑ. ඒ නිසා අපි ඒ අය කසළ කරදියානට අරගෙන ගියා. විරෝධතා ආවා. සීදුවට අරගෙන ගියා. විරෝධතා ආවා.

මුතුරාජවෙලට අරගෙන ගියා. විරෝධතා ආවා. දොම්පෙත් ඒකමයි වුණේ. ඒක එකක්. ඒ වගේම පසුගිය මැයි මාසෙන් පස්සේ කසළ භාරගන්න නගර සභා ප්‍රතික්ෂේප කළා. මොකද ගෙහිමියන්ගේ වගේම ආයතනවල වගකීම ඉෂ්ට වෙලා නැති නිසා. කසළ තෝරලා මිසක් දෙන්න බෑ. සමහර අයගේ නොදිරන කසළ වෙන් නොකර භාරදෙන්න ගියාම නගර සභාව භාරගත්තේ නෑ. ඒ නිසා ඒ අයත් ඒ කසළ පාරට දාලා ගියා. ඒ වගේම දේශපාලන අධිකාරියක් නොමැති නිසා යම් අක්‍රිය වීමක් අපිට පේනවා පළාත් පාලන ආයතනවල.

ප්‍ර – කසළ කඳු තැන තැන ගොඩගැසීම ඩෙංගු උග්‍ර වීමට හේතුවක් වෙලා?
පි – ඇත්ත. අද මේ කසළ තැන තැන ගොඩ ගැසීමෙන් ඩෙංගු ආදිය වර්ධනය වීමේ ප්‍රවණතාවක් ඇතිවෙලා. මේ නිසා පසුගිය ජූලි මාසේ පස්වැනිදා ජනාධිපතිතුමා මටත් පළාත් පාලන ඇමැතිතුමාටත්, පළාත් සභාවේ මහ ඇමැතිතුමාටත් භාරදුන්නා කොළඹ නගරයේ කසළ ප්‍රශ්නය විසඳන්න. ඒ අනුව අපි දින තුනක් ඇතුළත කොළඹ ගොඩගැහිලා තිබුණ කසළ ඇද්දා. ටොන් 3000ක් විතර. ඉතින් අපි දැන් මේ කසළ ඉවත් කරන්න ක්‍රමවේද කිහිපයක් අනුගමනය කරනවා.

ප්‍ර – මොනවද ඒ ක්‍රමවේද?
පි – දැන් එක්තරා ආකාරයකට කසළ එකතු කිරීම විධිමත් කරගෙන යනවා. සතියකට දින තුනක් ඉඳුල් ආදී දිරන කසළ භාරගන්නවා. තව දවසක් ප්‍රතිචක්‍රීකරණය කරන්න බැරි කිලිටි, ප්ලාස්ටික් වගේ දේවල් භාරගන්නවා. ඒ වගේම තව දින දෙකක් ප්‍රතිචක්‍රීයකරණය කරන්න පුළුවන් කඩදාසි, කාඩ්බෝඩ්, ‍පොලිතීන් වගේ ඒවා භාරගන්නවා.  මීට කලින් මේ ප්‍රතිචක්‍රීයකරණය කරන්න බැරි සනීපාරක්ෂක දේවල් ගියේ කසළ අංගණයට. අපි දැන් මේවායෙන් කොටසක් පුලුස්සා දාන්න වැඩපිළිවෙළක් සකස් කරගෙන යනවා. ඒ වගේම රෝහල්වල අපද්‍රව්‍යත් පුලුස්සා දාන්න වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒක පුද්ගලික අංශයෙන් කරනවා. ඊළඟට අපි කසළ ලොරි සහ ඒවායේ ගමන් මග පිළිබඳව ගෙහිමියන් සහ ආයතන දැනුවත් කරනවා. ඒ වගේම ඒවා පරීක්ෂා කරන්න අපි ‍පොලිසියට භාරදෙනවා, නිසි අයුරින් මේ ලොරි ගිහින් කසළ එකතු කළාද කියලා බලන්න.

ප්‍ර – මේ මොන දේ කළත් පාරවල් දිගේ කසළ ගොඩගැහෙන අයුරු අදත් දැකගන්න පුළුවන්. ඒකට මොකක්ද විසඳුම?
පි – ඔව්. පාරට කසළ දාන එක නතර කරන්න අපි පරිසර ‍පොලිසිය යොදවනවා. එහෙම යොදවලා නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම යුද හමුදාවේ නාගරික අලංකරණ ඒකකය ලවා දිනකට දෙවතාවක් පරීක්ෂා කරවනවා. උදේ හතරේ ඉඳලා හය හමාර වනතුරුත්, හවස හතරේ ඉඳලා හය හමාර දක්වාත් මේ කසළ කොහෙද එළියේ දාලා තියෙන්නේ කියලා.

ඒ වගේම අපි තවත් ක්‍රම අනුගමනය කරලා කසළ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට කටයුතු කරනවා. ඉස්සර කළේ කිසිම ක්‍රමවේදයක් නැතුව කසළ කඳු ගොඩ ගැහුවා. දැන් අපි කියන්න ඕනෑ කොළඹ කසළ තියෙනවා ටොන් 700ක් 800ක් අතර ප්‍රමාණයක්. මේ ටොන් 700-800 අතර ප්‍රමාණයෙන් දැන් ටොන් 400ක් විතර වෙන් කරලා අපිට භාරදෙන්නේ. ඒ නිසා අපි කෙරවලපිටිය ප්‍රදේශයේ විශාල කොම්‍පෝස්ට් අංගණයක් ඉදි කරගෙන යනවා. වෙනදා කඳු ගොඩ ගැහුණු කසළවලින් ප්‍රයෝජනවත් කසළ ප්‍රමාණයක් බිහිවෙනවා. ඊළඟට වෙන් කරපු ප්ලාස්ටික් ආදියෙන් ටොන් 100ක් විතර තියෙනවා කිසිම ආකාරයෙන් ප්‍රතිචක්‍රීකරණය කරන්න බැරි. නමුත් මේක පෙර තිබුණ තත්ත්වය හා බලද්දි හොඳ තත්ත්වයක්.

ප්‍ර – මේ කසළ ප්‍රශ්නයට මොනවද දිගුකාලීන විසඳුම් ලෙස ඔබ ගන්න ක්‍රියාමාර්ග?
පි – ඇත්තටම මේකට දිගුකාලීන ක්‍රියාමාර්ග ලෙස කසළ පුලුස්සා දැමීමේ විදුලිය නිපදවීමේ ව්‍යාපෘති තුනක් අගෝස්තු 10 දින ආරම්භ කරනවා. ඒක මාස 14ක් ඇතුළත ස්ථාපිත වෙනවා. ඊට අමතරව අපි මහා පරිමාණ සනීපාරක්ෂක කසළ රඳවනයක් සහ කුඩා පරිමාණ කසළ රඳවන ගණනාවක් ස්ථාපිත කරනවා. මහා පරිමාණ එක පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයේ ඇති කරනවා. මේක සම්බන්ධයෙන් දැන් අපි ජනතාව දැනුවත් කරනවා. සැප්තැම්බර් මාසයේ අපි එහි වැඩ ආරම්භ කරනවා.

ප්‍ර – කසළ දිරන නොදිරන කියලා වෙන් කරනවා කීවාට කසළ වෙන් නොකිරීම නිසා ඒවා භාර ගන්නේ නෑ. ඒ තුළ දැන් ලොකු අර්බුද නිර්මාණය වෙලා?
පි – ඔව්. ජනතාවගෙන් සමහර අය කසළ වෙන් කළේ නෑ. එතකොට නගර සභාව ගත්තේ නෑ. එතකොට පාරට දැම්මා. ඕක තමයි වුණේ. නමුත් ජනතාවට එහෙම කරන්න බෑ. ජනතාවට වගකීමක් තියෙනවා. අපි දැන් කසළ එකතු කරන වාර ගණන වැඩි කරනවා. සතියට පස් වතාවක් එනවා.

ප්‍ර – ලෝකය ගත්තාම කසළ ක්‍රම හතරකට වෙන් කරනවා. ලංකාවේ ඒක අනුගමනය කරන්නේ නෑ?
පි – මෙහෙමයි. අපේ රටේ දැනට තියෙන තත්ත්වය එක්ක මේක තමයි සුදුසු. දිරායන කසළ ටික කොම්‍පෝස්ට් කරගන්නයි, කඩදාසි, කාඩ්බෝඩ් ඔය ටික ප්‍රතිචක්‍රීයකරණය කරගන්නයි, නොදිරන ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි ඒවා පුච්චන්නයි සිද්ධ වෙනවා.

ප්‍ර – අරුවක්කාරුවලට කසළ දාන්න නම් පරිසර වාර්තාවක්, පුරාවිද්‍යා ඇගැයීම් වාර්තාවක් ලබාගත යුතුයි නේද?
පි – ඒ සියල්ල කරලයි තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නෑ.

ප්‍ර – පරිසරවේදීන් කියන කතාවක් තමයි මේ දාන කසළවලින් බැහැර වන දියර කලා ඔයටත්, පසුව මුහුදටත් යෑමට ඉඩ තියෙනවා, ඒක ඒ තරම් යෝග්‍ය නෑ කියලා?
පි – නෑ, නෑ. අනික කලාඔය ඔය පැත්ත පළාතක ඇත්තෙත් නෑ. මේක සනීපාරක්ෂක කසළ රඳවනයක් මිසක් මීතොටමුල්ල වගේ කසළ ගොඩක් නොවේ. ඒවට අවශ්‍ය පිළියම් සියල්ල සහිතව තමයි අපි මේක කරන්නේ. මේකේ ‍ලේයර් හයක් තියෙනවා මීටර් දෙකක් ඝනකමට. ඒකෙන් එක ‍ලේයර් එකක් දාලා තියෙන්නේ පයිප්ප ලයින් එකක් එක්ක ඔය කියන කුණු වතුර ගන්න. තවත් ‍ලේයර් එකක් දාලා තියෙන්නේ ‍පොළොව යටින් එන උල් දිය ආකර්ෂණය කරගන්න. තව එකක් දාලා තියෙන්නේ නිපදවන ගෑස් එළියට ගන්න. මේක අලුත් දෙයක් නොවේ. අපි මෙවැනි දෙයක් කරලා තියෙනවා දොම්පේ. එහි මේ කිසිම ප්‍රශ්නයක් නෑ. එහි වතුර ටික අන්තිමට කුඹුරුවලට නිකුත් වෙන්නේ. මේ නිකං කරුණු නොදන්නා මිනිස්සු තමයි චෝදනා කරන්නේ. පුත්තලමේ කරන්නේ දොම්පෙටත් වඩා හොඳ එකක්.

ප්‍ර – කසළ ප්‍රශ්නයට ඔබ ළඟ ඇති සාර්ථකම විසඳුම මේකද?
පි – ඇත්තටම මේ රටේ හැටියට කරන්න පුළුවන් දේ තමයි මේක. අපේ රටේ කසළවලින් විදුලිය නිපදවීම අපට එතරම් ගැළපෙන දෙයක් නෙවේ. අපිට ගැළපෙන දේ තමයි සනීපාරක්ෂක කසළ රඳවනය.

ප්‍ර – මේ කසළ කළමනාකරණය කරන්න වෘත්තීය පළපුරුද්ද තියෙන පිරිස් නෑ නේද?
පි – නෑ, ඉන්නවා. මම 2007-2010 කා‍ලේ ව්‍යාපෘතියක් ආරම්භ කරලා ප්‍රාදේශීය සභා 130ක මේක කළා. ඒක හුඟක් අය අමතක කරන දෙයක්. ඉස්සර ඔය කළුතර තිබුණු කුණු කඳු අයින් කළේ මම. මට කරන්න දුන්නේ නෑ කොළඹ එහෙම. ඒවායෙන් ප්‍රායෝගික අත්දැකීම් ලබපු අය ඉන්නවා. ඒ අයගේ සේවය අපි ගන්නවා. අරුවක්කාරු අපි සියලුම පරිසරවේදීන්ට විවෘත කරනවා අධීක්ෂණය කරන්න. ඒ ක්‍රියාවලිය පුංචි හරි සිදුවීමක් වුණොත් අපි ඒක වහලා දානවා.

ප්‍ර – ඇයි මහ ඇමැතිට තිබුණු මේ කසළ ඉවත් කිරීමේ බලය ඔබට දුන්නේ? ඇයි මුලින් ඒක නොදුන්නේ?
පි – මෙගා ‍පොලිස් අමාත්‍යාංශය කියලා කීවට මෙහෙම ආයතනයක් රටේ නෑ. මට බලය දෙන්නේ මොනවටද මම ඒවා කරලා තියෙනවා. ‍පෝට් සිටිය විශාල ලෙස දේශපාලන, සමාජ, පරිසර ප්‍රශ්න තිබුණ එකක්. ඒක මට නිසි ගිවිසුමකින් භාරදුන්නා.

මම ඒක කරගෙන යනවා ඉතාම හොඳට. අපිට නිශ්චිත වගකීමක් එක්ක ලබාදෙන දේ කරනවා. කොළඹ පැල්පත්වාසීන්ට නිවාස ලබාදීම ආණ්ඩුවේ සත පහක්වත් නැතුව අපි කරගෙන යනවා. මට මේකේ නිශ්චිතව වගකීම දුන්නාම ඒක මම කළා. කොළඹ කුණු අපි පැය 72න් අයින් කළා.

ප්‍ර – දූෂණ විරෝධී කමිටු ‍ලේකම් කාර්යාලය වසා දැම්මා. කෝ කියපු හොරු ඇල්ලුවාද?
පි – නෑ, නෑ. දූෂිතයෝ ඇල්ලීමක් වුණේ නෑ. ඒක අපි පැහැදිලිවම කියනවා. පුංචි පුංචි ඒවා ටිකක් කළා විතරයි. ජනාධිපතිතුමාගේ අදහස වුණේ ජනතාවට දැන් ස්වාධීන ‍පොලිස් කොමිසම යටතේ කෙළින්ම ‍පොලිසියට පැමිණිලි කරන්න පුළුවන්. ඉතින් අතරමැදි එකක් දැමීමෙන් ඒවායේ ස්වාධීනත්වයට බාධා වෙනවා. දේශපාලන වශයෙන් මැදිහත් වීම් නැතුව කෙළින්ම පැමිණිලි කරන්න කියලා තමයි ජනාධිපතිතුමාගේ ඉල්ලීම. ඒක තමයි මේක අහෝසි කළේ.

ප්‍ර – පළාත් පාලන මැතිවරණය කල් යෑම තුළ කසළ ප්‍රශ්නය, ඩෙංගු ප්‍රශ්නය උග්‍රවෙලා කියන චෝදනාව තියෙනවා?
පි – සම්පූර්ණයෙන් ඇත්ත. මේ මැතිවරණය කල් යන්න කරුණු ගණනාවක් බලපෑවා. එකක් සීමා නිර්ණය කටයුතු සිදු කිරීමේදී ඇතිවී තිබුණු ගැටලු ඇතුළුව. ඉතින් ඒ නිසා මේ ප්‍රමාද ඇතිවුණේ. ඒත් මේ වර්ෂය අවසන් වීමට පෙර පළාත් පාලන ඡන්දය පවත්වන්න හැකිවේවි.

ප්‍ර – ධර්ම රාජ්‍යයකට යන්න ආපු හෙළ උරුමය අද පන්සල් වසා දමන ආණ්ඩුවක් එක්ක ඉන්නවා කියලා ඇතැම් අය කියනවා?
පි – අපි ඔය ධර්ම රාජ්‍ය කතාව කීවාට ඒක මුලින්ම කීවේ මිහිඳු මහරහතන් වහන්සේ. අපේ විතරක් නෙවේ වගකීම මේ රට ධර්ම රාජ්‍යයක් කිරීමේ. ඒක මේ රටේ භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසගේම වගකීමක්. ජාතික හෙළ උරුමය මේ රටට මහා කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. අපි ත්‍රස්තවාදය විනාශ කරන්න බල කළේ නැත්නම් ඕක කරන්න මහින්ද රාජපක්ෂ පෙලඹෙන්නෙත් නෑ. විධායක ධුරයේ අත්තටු කපන්නේ නෑ අපි නැතිනම්. අපි ආණ්ඩුව එක්ක එකතුවෙලා රටට වැඩ කොටසක් කරනවා. අපිටත් තිබුණා ඔය වගේ පැත්තකට වෙලා  ඉන්න. ඒත් අපි ඊට එහා ගිහින් රටේ ඒකීය භාවය රටේ ස්ථාවරත්වය, සමාජ සාධාරණත්වය, පරිසර හිතකාමීත්වය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. අපි අපේ අමාත්‍යාංශවල වැඩ කරලා ආදර්ශ ලබාදීලා තියෙනවා. ඉදිරියටත් එහෙමයි. අපි රටට ජනතාවට වැඩක් කරනවා.

සාකච්ඡා කළේ-සුජිත් කෝනාර
sujithkona@gmail.com