රටේ දේශපාලන වාතාවරණය හා පක්ෂයේ ඉදිරි ගමන පිළිබඳ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සමග කළ සාකච්ඡාවකි.

ප්‍ර: දූෂණ මර්දන ‍ලේකම් කමිටු කාර්යාලය වසා දැමීමට රජය පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජවිපෙ මතය කුමක්ද?
පි: ජනාධිපතිවරයා ජනාධිපතිවරණ වේදිකාවේ පැවසුවේ හොරුන්ට පැන යාමට ඉඩනොදී ගුවන්තොටු‍පොළ වසා දමන බවයි. අගමැතිවරයා කිව්වේ ‍පෝට්සිටිය වහනවා කියලයි. ඒත් දැන් එහෙම කියපු දෙදෙනාම වහනවා කියපු දේවල් නොවසා දූෂණ මර්දන කාර්යාලය නම් වසා දැමුවා. ආණ්ඩුවේ අමාත්‍යාංශ ගණනාවක සිදුවූ අක්‍රමිකතා ඇමැතිවරුන්ගේ වංචාවන් රාශියකට සම්බන්ධ පැමිණිලි, දූෂණ කමිටු කාර්යාලයට ලැබි තිබුණා. ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මේවා ගැන විමර්ශන පවත්වා තිබුණා. මෙය වසා දැමීමට ප්‍රධාන හේතුව වූයේ එයයි. ආණ්ඩුව පළමු ගල් පහර එල්ල කළේ කමිටු කාර්යාලයට. නමුත් අරමුණ එෆ්සීඅයිඩීය වසා දැමීමයි. ඒ අන් කවරක් නිසා ‍නෙවෙයි. දූෂණ, වංචා පිළිබඳ පැමිණිලි කෙළින්ම එෆ්.සී.අයි.ඩී එකට භාරදීමට බැහැ. එය කළ යුත්තේ දූෂණ කමිටු කාර්යාලය හරහායි. මෙහි අවසන් විග්‍රහය නම් ඉදිරියේ දී එෆ්සීඅයිඩීයට කිසිදු පැමිණිල්ලක් විමර්ශනය කිරීමේ අවස්ථාව ගිලිහී යාමයි. මේ මගින් මහා පරිමාණ වංචා පිළිබඳ විමර්ශන සිදු නොකළ බව ආණ්ඩුව පවසන නමුත්, පළමුව එවැනි පැමිණිලි ඉදිරිපත් විය යුතුයි. වර්තමාන ආණ්ඩුවේ ඇමැතිවරු බහුතරය ඉකුත් ආණ්ඩුවේද ඇමැති තනතුරු හෙබවූ අයයි. මේ නිසා ඒ කාලයේ දී අමාත්‍යාංශවල සිදු වූ වංචා ගැන මේ අය සොයා බලා පැමිණිලි කරන්නේ නැහැ, ඇත්ත තත්ත්වය මෙයයි.

ප්‍ර: දූෂණ මර්දන කමිටුව මුදල් කාබාසිනියා කරන ස්ථානයක් වූ බවට ආණ්ඩුවේ චෝදනාවක්?
පි: ඒ බව කියමින් කෑකෝ ගසන රාජිත ඇමැතිවරයාට එරෙහිවත් වංචා පැමිණිල්ලක් තියෙනවා. මීට පෙර කමිටුවට විරුද්ධ වූ රාජපක්ෂ ගෝලයන් එෆ්සීඅයිඩී ප්‍රධානියා ගල් ගසා මරා දමන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. අද එය අනෙක් පැත්තට පෙරළී ආණ්ඩුව ප්‍රහාර එල්ලකරමින් සිටිනවා.

ප්‍ර: බෞද්ධ විහාරස්ථානවල කටයුතු වෙනුවෙන් රජය මැදිහත්වීම ගැන ජවිපෙ මතය කුමක්ද?
පි: විහාරස්ථාන පවත්වාගෙන යාම, සංරක්ෂණය කර අනාගතයට සුරක්ෂිතකර දීම සාධනීය කාර්යභාරයක්. නමුත් අපේ රටේ ආගම හා සිද්ධස්ථාන අද වන විට දේශපාලන වුවමනාවන් වෙනුවෙන් කෘත්‍රිම කරගෙන තිබෙනවා. මෙම තත්ත්වය අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ. ඒවාට ලැබෙන මුදල් ඒවායේ අරමුදල් එම විහාරස්ථානවල අභිවෘද්ධිය සංරක්ෂණය වෙනුවෙන් යොදාගත යුතුය යන මතයේ අපි සිටිනවා. මෙහි යම් අක්‍රමිකතා තිබෙනවා නම් ඒවා පරීක්ෂා කිරීම සඳහා වූ සුජාත අයිතියක් මේ ආණ්ඩුවට නැහැ. එවැන්නක් කළ හැකිවන්නේ වංචනික ක්‍රියාවල නොයෙදන ආණ්ඩුවකට පමණයි. මේ නිසා මහා බැංකුවේ මුදල් පිල්ලි ගැසූ ආණ්ඩුව පන්ස‍ලේ පිංකැටයේ මුදල් ටිකටත් පිල්ලි අරින සූදානමක්ද යන සාධාරණ සැකය ජනතාවට ඇතිවෙනවා.

ප්‍ර: රජය මුහුණ දී සිටින දැවැන්ත මුදල් අර්බුදය නිසා මෙවැනි දේ ක්‍රියාත්මක කරන බව ඇතැම් පාර්ශ්ව කියනවා?
පි: ආණ්ඩුව ගිලී සිටින මූල්‍ය අර්බුදයෙන් ගොඩඒමට මේ සොච්චම් වැඩ ප්‍රමාණවත් නැහැ. රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය මීට වඩා දරුණුයි. මහා භාණ්ඩාගාරයට ලැබෙන මුදල් අක්‍රමවත් ලෙස විනාශකාරී ලෙස පාලනය කරන පාලකයන් පන්ස‍ලේ පිංකැටය ආරක්ෂා කිරීමට දරන ප්‍රයත්නයේ දෙබඩි පිළිවෙත අපි රටට හෙළිදරව් කළ යුතු වෙනවා.

ප්‍ර: මෙම සිද්ධිදාමයේ දී ජවිපෙ සිටින්නේ කොතැනද?
පි: මේක විවිධ ආගම් අදහන ජනතාවක් ජීවත්වන රටක්. බුද්ධාගම හා ඒ මත පදනම්ව ගොඩනැංවූ සංස්කෘතියක් තුළ ජනතාව බහුතරයක් ජීවත් වෙනවා. මෙයට අදාළ මේ හා සම්බන්ධ ආයතන සංවර්ධනය කිරීම, රැක ගැනීම, ශාසනික කාර්යභාරයක්. නමුත් හැමදාමත් අපේ රටේ සිදුවන්නේ මෙය ‍නෙවෙයි. පන්ස‍ලේ තොරණ විවෘත කරන්නේ දේශපාලනඥයන්. වෙහෙර විහාරවලට මුල්ගල තියන්නේ ද දේශපාලනඥයන්. කොත් නිරාවරණය කරන්නේද ඔවුන්මය. මේ නිසා ජනතාවගේ ආගමික භක්තිය දේශපාලනය විසින් උදුරාගෙන තිබෙනවා. ජවිපෙ කිසි දිනෙක මේ පිළිවෙත අනුගමනය කරන්නේ නැහැ.

ප්‍ර: නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහා නායක හිමිවරුනුත් සම්බන්ධ වෙලා. ඒ අතරතුරදී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා මහානායක හිමිවරුන් සමග සාකච්ඡා කිරීමට යන බවද සඳහන්. මේ පිළිබඳ ඔබේ අදහස?
පි: ගොඩනැගෙන ව්‍යවස්ථාව ධනේෂ්වර එකක්. ව්‍යවස්ථාව යනු ඕනෑම රටක් අනුගමනය කරමින් සිටින, ආගමික සමාජ ආර්ථික සංස්කෘතියේ මූලික නීතිමය රැකවරණයයි. ලෝකයේ බොහෝ රටවල ඒ ඒ යුගවලදී අලුත් ව්‍යවස්ථා එළිදැක්වුණා. රුසියානු විප්ලවයෙන් පසුව එරටේ නව ව්‍යවස්ථාවක් හැදුවා. කියුබාවේ ද එසේමයි.

මේ වන විට අපේ රටේ ගොඩනැංවීමට සූදානම් වන ව්‍යවස්ථාව මූලික වශයෙන්ම ධනේෂ්වර පන්තිය ආරක්ෂා කර ගැනීමේ ලියැවිල්ලක් බවට පත්වෙනවා නොඅනුමානයි. නමුත් ඒ තුළ යම් ප්‍රජාතාන්ත්‍රික කරුණු අඩංගු වෙනවා නම්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත වන කරුණු ඇතුළත් කිරීමට හැකි නම් ජවිපෙ ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. 1978 දී මේ රටේ හැදූ ව්‍යවස්ථාව මේ වන විට 19 වතාවක් සංශෝධනය වී තිබෙනවා. ඉන් අවස්ථා 2 ක් හැරුණු විට ඉතිරි 17 වතාවේදීම සංශෝධනය වී තිබෙන්නේ ඒ මොහොතේ බලයේ සිටින පාලකයන්ගේ බල වුවමනාව තරකර ගැනීම වෙනුවෙනුයි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය රාජපක්ෂගේ බලය තහවුරු කර ගැනීම සඳහා ගෙන එන ලද්දක්. එදා ජේ.ආර්. ජයවර්ධනත් මෙවැනි දේ කළා. මේ වන විට ජනතාවගේ මූලික අයිතිවාසිකම් මේ ව්‍යවස්ථාවෙන් ගිලිහී ගොස් තිබෙනවා, 1978 දී. ජේ. ආර්. ව්‍යවස්ථාව හරහා නිර්මාණය කරන ලද ඒකාධිපතිත්වයේ ලක්ෂණ ඉවත් කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒම වෙනුවෙන් අපි පෙනී සිටිනවා.

ප්‍ර: මහානායක හිමිවරුන්ගේ මතයට අනුව අලුත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැහැ, ජවිපෙට එය අවශ්‍යයි. මේ පරස්පරය මොකක්ද?
පි: මහා සංඝයා වහන්සේලා පැවති හා පවතින පාලනයන්ට උපදෙස් ලබා දෙමින් සිටිනවා. මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී සරත් ෆොන්සේකා මහතා සිරගත කළ අවස්ථාවේ දී මහා නාහිමිවරුන් ඒ වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කළා. නමුත් පාලකයන් ඒවාට ඇහුම්කන් දුන්නේ නැහැ. දළදා මාළිගාව ඉදිරිපිට රේස් පදිනවිටත්, අනුශාසනා ලබා දුන්නා. ඒවාටත් සිදු වූයේ මම පෙර සඳහන් කළ දේමයි. අපේ රටේ පාලකයන් විටින් විට මහානායක හිමිවරුන්ගේ ප්‍රකාශ තම තමන්ගේ දේශපාලන කෝණයෙන් විග්‍රහයට ලක් කරනවා, අනුමත කිරීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම සිදුවන්නේ තම තමන්ගේ දේශපාලනය සමග මේවා ගැටගැසී තිබෙන සාධකය අනුවයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ කෙසේද යන්න ඇතුළත් කර තියෙනවා. ඒ වගේම 1947, 72, 78 ව්‍යවස්ථා ගෙන ඒමේදී ඒවාට ඇතුළත් නොවූ ක්‍රියාවලියක් අද ඉස්මතු වී තිබෙනවා. ඒ රටේ ජනතාවගේ බහුතර කැමැත්තකින් තොරව නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට පාලකයන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම සම්මත වීමත් ‍පොදුවේ සමස්ත රටම එකම ඡන්ද කොට්ඨාසයක් ලෙසට නොව සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සියලු ජනතාවගෙත් බහුතරයක් නව ව්‍යවස්ථාව අනුමත කළ යුතුයි. එසේ වූ විට දැනට මහානායක හිමිවරුන් ඉදිරිපත් කර තිබෙන කරුණු සැලකිල්ලට ලක්කර වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් රට හමුවේ තැබූ පසුව උන්වහන්සේලාට තම තමන්ගේ අදහස්, යෝජනා ජනතාවට කිව හැකියි. සමස්ත ව්‍යවස්ථාව පිළිබඳ අධ්‍යනයකින් පසුව අපටත් අපේ අදහස් ඉදිරිපත් කළ හැකි වෙනවා. මේ නිසා අපි කවුරුත් කලබල විය යුතු නැහැ.

ප්‍ර: මෙහිදී මහානායක හිමිවරුන් සිංහල ජනතාව  වෙනුවෙන් පෙනී සිටීම ජවිපෙ ප්‍රතික්‍ෂේප කරනවාද?
පි: උන්වහන්සේලා විවිධ අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒවා ගැන විතරක් නොවෙයි, රටේ විවිධ ජන කොට්ඨාසයන්ගේ මතයන්ද සැලකිල්ලට ගත යුතුයි. ව්‍යවස්ථාවට පමණක් නොව කවර හෝ ක්‍රියාමාර්ගයකදී වුවත් මෙය ඉතා වැදගත්.

ප්‍ර: ඉකුත් දිනවල දී සමාජ වබේ අඩවි හරහා පක්ෂයට හා ඔබට අවලාද එල්ල කෙරුණා, ඇයි මෙහෙම වෙන්නේ?
පි: මේවායින් පෙන්නුම් කළේ අපේ සතුරා ඇදවැටී සිටින බංකොලොත්භාවයයි. අපේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්න කිරීමට මේ කිසිදු සතුරකුට නොහැකි වී තිබෙනවා. මේ නිසා ඔවුන් ඉතාමත් පටු විදියට පෞද්ගලික ජීවිතයේ කොටස් සොයමින් ප්‍රහාර එල්ල කළා. සතුරා කුලප්පු වී සිටිනවා. ඒ ඔවුන්ගේ වරප්‍රසාද අහිමි වූ නිසයි. තනතුරු අහිමි වීම නිසයි. දණ්ඩෙන් පහර කෑ සර්පයන් සේ මොවුන් හැසිරෙනවා මෙම බංකොලොත් බව දුටු විට අපට සතුටුයි.

ප්‍ර: ඔබ සතුරා යැයි හඳුන්වන්නේ කවුරුන්ද ?
පි: රාජපක්ෂත්, ඔහුගේ ඔඩොක්කු කුක්කා වන විමල් වීරවංශත් මේ පිටුපස සිටිනවා.

ප්‍ර: විමල් ඔබලාගේ හිතවතෙක් නේද?
පි: ඔව්. හැබැයි බොහෝ ඈත අතීතයේදීයි ඔහු ඉතා පැහැදිලිව රාජපක්ෂ සිරුරේ එල්ලුණු කිනිතුල්ලකු හා සමානයි. ඔහුගේම වූ දේශපාලනයක්, අනාගතයක් ඔහුට නෑ ඒ නිසා ඔහු පිළිබඳ කතා කිරීමත් කාලය කා දැමීමක්.

ප්‍ර: ඔබට හෝ පක්ෂයට පමණක් ‍නෙවෙයි, දේශපාලන නායකයන්ට එරෙහිව කෙරෙන ප්‍රහාර ගැන ඔබේ අදහස කුමක්ද?
පි:දේශපාලන ව්‍යාපාරයක් හැටියට හැමදාමත් ඔවුන්ගේ දේශපාලනය පිළිබඳ ප්‍රශ්න කරනවා. අපි රාජපක්ෂ පවුල විවේචනයට ලක් කළා. නමුත් ඔවුන්ගේ පුද්ගලික දේවල් කතා කළේ නැහැ. ඔවුන් මහජන දේපළ කොල්ල කෑ අයුරු, රටේ නීතිය කැඩූහැටි, බලය උපයෝගී කරගෙන නීති විභාගයට පෙනීසිටි හැටි, ටෙන්ඩර් මගඩි ගැන අපි ප්‍රශ්න කළා. ජවිපෙ කිසිසේත්ම මේ රටේ කිසිදු අයකුගේ පුද්ගලික චරිතවත් ප්‍රශ්න කරන දේශපාලන ව්‍යාපාරයක් ‍නෙවෙයි.

ප්‍ර: ඔබ ඔබේ දේශපාලන ජීවිතයේ දැන් පැමිණ සිටින්නේ කොතැනටද?
පි: මා දේශපාලනයට එක් වූයේ පක්ෂයේ නායකයා වීමේ බලා‍පොරොත්තුවෙන් ‍නෙවෙයි. අපේ පන්තියේ ජනතාව අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ට පත්ව සිටින විට ඔවුන්ට මීට වඩා හොඳ ජීවිත ගොඩනැගීමේ දේශපාලන වුවමනාව තිබුණා. අදත් මගේ දේශපාලනය ඒ අපේක්ෂාව වෙනුවෙනුයි.

ප්‍ර: ඔබ ඇතුළු ජවිපෙ නායකයන් සිය ජීවිත පක්ෂය වෙනුවෙන් කැපකර සිටින බවක් කියනවා. දේශපාලන හා පුද්ගලික ජීවිත පටලවාගෙන මේ ගමන යන්නේ කෙලෙසද?
පි: ඔබ කියන දේශපාලන හා පුද්ගලික ජීවිත දෙකෙන්ම කැපකිරීම් කළ යුතුයි. එසේ නොමැතිව මේ දේශපාලනය කරන්නට බැහැ. අපේ දේශපාලනය වන්නේ වත්මන් සමාජය වෙනුවට අලුත් සමාජයක් නිර්මාණය කිරීමයි. එය හුදු ආණ්ඩු මාරුවක් පමණක් ‍නෙවෙයි, පවතින වැරදි සමාජ ආර්ථික ක්‍රමය වෙනුවට නව ක්‍රමවේදයක් බිහි කිරීමක්. එය කළ හැක්කේ කැපකිරීම් කළ හැකි මිනිසුන්ට පමණයි. අප අපේ දේශපාලනය තුළ එවැනි මිනිසුන් බිහිකරමින් සිටිනවා.

ප්‍ර: ජවිපෙ වත්මන් තත්ත්වය පිළිබඳ කතා කළොත්?
පි: අපි අසුබවාදී අය ‍නෙවෙයි. සිහින ලෝකවල ජීවත් වන්නේ ද නැහැ. යථාර්ථවාදීව සුබවාදී ලෙස ලෝකය දකිනවා. ලංකාවේ ධනපති පක්ෂ මුහුණ දී සිටින දැවැන්ත අර්බුදයට මේ වනකොට රට මුහුණ දී තිබෙනවා. ශ්‍රීලනිපය හා එජාපය එකතු වී ආණ්ඩු කරමින් එහි අසාර්ථකත්වය පෙන්නුම් කරමින් සිටින මොහොතක් තමයි මේ පරාජිත රාජපක්ෂ කල්ලියට ජාතිවාදය හැරුණු විට වෙනත් කිසිදු අන්දමක දේශපාලන සාකච්ඡාවක් සමාජයට ගෙන ඒමට මොවුන් අසමත්ව සිටිනවා. රට පාලනය කරන පිරිස හිස් අය බව ඔප්පු කරමින් සිටිනවා. මේ නිසා අලුත් දේශපාලනයකට ඉතා සුබදායක තත්ත්වයක් රට තුළ නිර්මාණය වී තිබෙනවා. මෙය හුදු ආණ්ඩු පෙරළියකින් හෝ පුද්ගල මාරුවකින් කළ හැකි දෙයක් ‍නෙවෙයි.

ප්‍ර: ජවිපෙ අභ්‍යන්තරයේ ගැටුම් හටගෙන ඇති බවට ඉකුත් කාලයේ දී ප්‍රචාරය වූවා. නායකයා ලෙසට පක්ෂයේ ගමන්මග දෙස බලන්නේ කුමනාකාරයෙන්ද?
පි: ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට ඕනෑම කෙනකුට හැකියාව තිබෙනවා. ඒවායින් අපි සැලෙන්නේ නැහැ. අපි බයත් නැහැ. අන් කවරදාටත් වැඩියෙන් ඉතා හොඳ මතවාදී එකඟතාවක හා සංවිධාන මධ්‍යගතභාවයකින් මේ මොහොතේ දී පක්ෂය ඉදිරියට යමින් සිටිනවා. සහෝදරත්වයෙන් මිත්‍රත්වයෙන් බැඳී එකිනෙකා එකට ‍පොරබදන ව්‍යාපාරයක් අපි ගොඩනගා ගෙන තිබෙනවා. සතුරා කුමන අන්දමේ අවලාද නැගුවත් අපට ඒවා ප්‍රශ්න ‍නෙවෙයි. වසර ගණනාවක් තිස්සේ අපේ ලාල් සහෝදරයා පිළිබඳ මොනවද නොකියන්නේ? අනෙක් ඉදිරිපෙළ නායකයන් ගැනත් එහෙමයි. සතුරාට ඉතිරි වී ඇත්තේ බොරු අවලාද හා මඩ ප්‍රචාර පමණයි.

ප්‍ර: ඔබ ලාල් කාන්ත මහතාව. සිහිපත් කළා පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් කීප දෙනකු පමණක් එකතු කරගෙන ඔබ පක්ෂය මෙහෙයවන බවට චෝදනාවකුත් තියෙනවා නේද?
පි: පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ මධ්‍යම කාරක සභාව විසිනුයි. පක්ෂයට නායකත්වය ලබා දෙන්නේද එයයි. අපේ දේශපාලනය එහෙමයි.

ප්‍ර: එසේ නම් ලාල්කාන්ත මහතා නිශ්ශබ්ද ඇයි?
පි: අපේ උද්ඝෝෂණ තලයේ හා සටන් බිමේ ප්‍රමුඛයා බවට පත්ව සිටින්නේ ඔහුයි. ගොවිජනතාවගේ, කම්කරු ජනතාවගේ, ශිෂ්‍ය ව්‍යාපාර අරගලවල හා භූමියේ සටන්කරුගේ කාර්යභාරය ලාල් සහෝදරයා විසින් ඉටුකරමින් සිටිනවා. ජවිපෙ කාර්යභාරය පිළිබඳ ඉතා හොඳින් නිරීක්ෂණය කරන ඕනෑම කෙනකුට ලාල් සහෝදරයා අපේ පක්ෂය වෙනුවෙන් ඉතා සක්‍රිය කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව දක්නට ලැබේවි.

ප්‍ර: පක්ෂය තුළ කුමන අන්දමේ මති මතාන්තර තිබුණත් ඔබ ඒවා එළියට දමන්නේ නැහැ නේද?
පි: හැංගිලා වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළියේ. පක්ෂයේ බෙදීමක් හා වෙන්වීමක් පිළිබඳ අපේ සතුරා නම් ප්‍රාර්ථනා කරනවා. ඒවා හීනවලට පමණක් සීමාවන බව ඔවුන්ට කියනවා.

ප්‍ර: මෑත කාලයේ දී එවැන්නක් සිදු වුණා නේද, පෙරටුගාමී සමාජවාදී පක්ෂය එහි ප්‍රතිඵලයක්.
පි: එය බෙදීමක් ‍නෙවෙයි, කණ්ඩායමක් වෙන්ව ගියා. අපි ඒ පිරිස පරාජයට පත් කළා.

ප්‍ර: ඔබ පරාජය කළා” යනුවෙන් පවසන්නේ කුමන අර්ථයෙන්ද?
පි:අද ඔවුන්ගේ දේශපාලන භූමිකාව හා කාර්යභාරය දෙස බලන විට ඔවුන්ගේ ඉරණම කුමක්දැයි පැහැදිලියි.

ප්‍ර: නමුත් අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ බලය ඔවුන් සතුයි.
පි: කිසිවකු කලබල විය යුතු නැහැ. අප කලබල වන්නේ ද නැහැ. ශිෂ්‍ය ව්‍යාපාර කවදාකවත් දේශපාලන පක්ෂවල අතකොලු බවට පත් වී නැහැ. එදත් අදත් එසේමයි.

ප්‍ර: ජවිපෙ හා අනුබද්ධ ශිෂ්‍ය සංගමයකුත් තියෙනවා නේද?
පි: සමාජවාදී ශිෂ්‍ය සංගමය අප සමග සම්බන්ධයි. එසේම ශ්‍රීලනිපයට හා එජාපයටද ලැදි ශිෂ්‍ය ව්‍යාපාර මේ අතර තිබෙනවා. හැබැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තුළ සෑම දේශපාලන පක්ෂයක්ම නියෝජනය කරන ශිෂ්‍ය කණ්ඩායම් සිටිනවා. මේ තුළ සමාජවාදී ශිෂ්‍ය සංගමය පෙරමුණේම කටයුතු කරමින් සිටිනවා.

ප්‍ර: ඉදිරි මැතිවරණයකදී ජවිපෙ ඉදිරිපත් වීමට බලා‍පොරොත්තු වන්නේ තනිවමද, නොඑසේ නම් යම් දේශපාලන පක්ෂයක් සමග හවු‍ලේද?
පි: එළඹෙන ඕනෑම මැතිවරණයකට අපි සූදානම්. ආණ්ඩුව පලවා හරින ඡන්දයකදී අප සමග එක්වන පුළුල් ජනතා ව්‍යාපාරයකින් තරග වදිනවා.

ප්‍ර: මැතිවරණයකින් තොරව මේ ආණ්ඩුව ගෙදර යවන බවට ඔබ නිතර නිතර ප්‍රකාශ කරනවා. එසේ කියන්නේ කවර පදනමකින්ද?
පි: රට රටවල ආණ්ඩු මාරු වූ ක්‍රම කීපයක්ම ලෝක ඉතිහාසයේ සඳහන්. පාර්ලිමේන්තුව හරහා මැතිවරණ වලින්, පමණක් නොව මහපාරේ උද්ඝෝෂණවලින් ආණ්ඩු පරාජයට පත් වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුවකින් තොරව ජනතාව සම්බන්ධවන ඕනෑම ආකාරයකින් ආණ්ඩුව ගෙදර යැවීමට ජවිපෙ සූදානම්.

තිලක් පුෂ්පකුමාර
thilakpushpakumara7@gmail.com 

ප්‍ර: මෙහිදී ඔබ අනුගමනය කිරීමට බලා‍පොරාත්තු වන ක්‍රියාමාර්ග එහෙම මොනවද?
පි:සියල්ල ප්‍රසිද්ධියට පත්කළහොත් කරන්නට කිසිවක් ඉතිරි වන්නේ නැහැ.
ප්‍ර: ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයකින් ආරාධනාවක් ලැබුණොත් එය පිළිගන්නවාද?
පි: ඔබ මෙලෙසින් හඳුන්වන්නේ ශ්‍රීලනිපය හෝ එජාපය නම් අප අපේක්ෂා කළ යුත්තේ කුමක්ද, ඇමැති තනතුරු, සුපිරි නිවාස, වාහන කීපයක් ලබාගෙන අපගේ සුඛ විහරණය පමණක් විය යුතුයි. ජවිපෙ දේශපාලනය ඒ වෙනුවෙන් නොව ‍පොදු ජනතාවගේ සුඛ විහරණය වෙනුවෙනුයි. ඒ නිසා මහලු වූ ඉදිරි දැක්මක් හෝ සාර්ථකත්වයක් නොමැති යූඑන්පීයට හෝ ශ්‍රීලනිපයට මෙරටේ අනාගතයක් නැහැ එවැනි දේශපාලන පක්ෂ සමග අපට ගමනක් නැහැ.
ප්‍ර: මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයෙන් ඇරයුමක් ලැබුණොත්?
පි: අපේ රටේ මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් තිබෙන ඉතාමත් කුරිරු අන්ත ජාතිවාදී කල්ලියක් බලය, සැපසම්පත් අහිමි වීම නිසා වෛරයෙන්, ක්‍රෝධයෙන් පෙළෙන මජර කණ්ඩායමක්. ඔවුන් රටේ හා ජනතාවගේ අගය පසෙකලා තමන් වෙනුවෙන් ඕනෑම පහත් ක්‍රියාවක් කරනවා. මේ අයගේ අපේක්ෂාව ජාතිවාදී මඩ ගොහොරුවේ ගිලෙමින් රට තවත් යුදමය වාතාවරණයකට ඇද දැමීමයි.
ප්‍ර: ජවිපෙ සයිටම් විරෝධය යම් දේශපාලන වාසියක් අරමුණු කරගෙන සිදුවන ක්‍රියාදාමයක්ද?
පි: කිසිසේත්ම නැහැ. එම ආයතනයේ ආරම්භය හා නීත්‍යනුකූලභාවය ලබා දීම, වෛද්‍ය සභාවේ නිර්දේශ සහ සයිටම් පාලක මණ්ඩලයේ හැසිරීම විටින් විට, කලින් කලට ඔවුන් කරන ප්‍රකාශ මේ සියල්ල පිළිබඳ විමර්ශනය කරන විට සයිටම් යනු තක්කඩි ආයතනයක්. වෛද්‍ය උපාධියක් තිබූ පමණකින් ඔහු හෝ ඇය වෛද්‍යවරයකු ලෙසට පිළිගත යුතුද? ආණ්ඩුවේම නිර්දේශයන් වෛද්‍ය සභාව ප්‍රතික්‍ෂේප කරනවා නම් රාජිත ඇමැතිවරයා කෙඳිරිගාමින් සිටිය යුතු නැහැ.
ප්‍ර: ඔබට අනුබද්ධ දූෂණ විරෝධී හඬ පෙන්වා දෙන ආකාරයට තවත් නීති විරෝධී පෞද්ගලික උපාධි ආයතන මෙරට ස්ථාපිත වී සිටිනවා. සයිටම් යනු මින් එකක් පමණයි?
පි: නමුත් මේ වෙනකොට හේතු සාධක සහිතව සයිටම් හොර තක්කඩි ආයතනයක් බවට පත්ව තිබෙනවා. මේ රටේ කොතැනක හෝ කිසිදු අධ්‍යාපනයක් ලබා නොදී තම දරුවන්ට ඉහළට ඉගැන්විය යුතුය යන මවුපියන්ගේ සොඳුරු ආශාව මුදලට යට කරගන්නා ආයතනවලට ජවිපෙ එරෙහි වෙනවා.
ප්‍ර: මේ වෙනකොට රටේ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් විදේශවලට ඇදී යනවා. ඉතින් පුද්ගලික අධ්‍යාපන ආයතන හා විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීම වරදක්ද?
පි: එසේ නම් මත්පැන් සඳහා කොපමණ මුදලක් විදේශ රටවලට ඇදී යනවද? එහෙම වුණා කියා රටේ අරක්කු කර්මාන්තශාලා වැඩි කළ යුතුද? කිරිපිටි වෙනුවෙන් පිටරටට දෙන මුදල අවම කිරීමට හරක් පට්ටි වැඩිකිරීමට ආණ්ඩුව මැදිහත් වෙනවද? පාලකයන් තමන්ගේ නොහැකියාව වසා ගැනීමට මෙවැනි ප්‍රකාශ කරනවා.
ප්‍ර: ඩෙංගු වසංගතය මේ වන විට ජාතික ව්‍යසනයක් බවට පත්ව තිබෙනවා. මේ වෙනුවෙන් ජවිපෙ මැදිහත්වීම කෙසේද?
පි: මෙය 25 කටත් වැඩියෙන් පාසල් දරුවන් අතර පැතිරී ගොස් තිබෙනවා. දේශපාලන ව්‍යාපාරයක් ලෙසට අපි පාසල් ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන මාලාවක් රටපුරා ක්‍රියාත්මක කළා. මේ තුළින් ඩෙංගු වසංගතය දුරලීමට හැකි යැයි අප කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. මෙය නවතාලිය හැක්කේ ඩෙංගු කීටයා විනාශ කිරීමෙන් පමණක්ම ‍නෙවෙයි. මේ සඳහා රටම එකතු වී සමස්ත ක්‍රියාවලියකට යා යුතුයි. මධ්‍යගත සංයුක්ත සැලැස්මකින් තොරව මෙය විසඳීමට නොහැකියි. රාජිත ඇමැතිවරයා පවසන ලෙසට වෙනත් මදුරු කීටයකු ගෙනැවිත් දමා ව්‍යසනය නතර කිරීමට බැහැ. සැලසුම් කෙසේ වෙතත් රෝහල්ගත වී සිටින ඩෙංගු රෝගීන්ට මදුරු දැළක්වත් දීමට ආණ්ඩුව අ‍පොහොසත්ව සිටිනවා. මේ හරහා පෙන්නුම් කරන්නේ මේ ක්‍රමයේ අසාර්ථකභාවයයි.
ප්‍ර: මැතිවරණවලින් තොරව රට සාමාන්‍ය තත්ත්වයේ පවතින විට ජවිපෙ වටා ජන රැල්ලක් පවතින බව දක්නට ලැබෙන නමුත් මැතිවරණයකදී ලැබෙන ඡන්ද ප්‍රමාණය පහත බහිනවා. මොකක්ද මේ වෙන්නේ?
පි: සාධක කීපයක්ම බලපානවා. විශේෂයෙන් ඒ මොහොතේදී ආණ්ඩුවක් පිහිටුවිය හැකිද යන්න වැදගත් වෙනවා. ප්‍රධාන බලයක් ලබාදීමේදී දේශපාලන පක්ෂයක අරමුණු, මතවාද ජනතාව සැලකිල්ලට ගන්නවා. අපි දැන් සැලසුම් කරමින් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ඇති ජනතාවගේ කැමැත්ත ඡන්දයක් බවට පත් කර ගැනීමටයි. මෙය මහා ජනතා පෙරමුණක් ගොඩනැගීම දක්වා ව්‍යාප්ත කළ හැකි බවට විශ්වාස කරනවා.
ප්‍ර: එළඹෙන 2020 වසරේ දී බලයට එන බවට ඔබ පවසනවා. එසේ නම් ඒ සඳහා වන නිශ්චිත වැඩපිළිවෙළක් තිබිය යුතුයි නේද?
පි: අපට බලය ලබා දීම නොදීම ජනතාවගේ කාර්යභාරයක්. අපි එසේ බලය ලබාගත හැකි ජනතා ව්‍යාපාරයක් ගොඩනගනවා. ඒ වෙනුවෙන් ප්‍රධාන කාර්යයන් ගණනාවක් මේ වන විට ඉටුකරමින් සිටිනවා. පළමුව රටේ ජනතාව සහ අප මේ වෙනුවෙන් ‍පොදු එකඟතාවකට පැමිණිය යුතුයි. ශ්‍රීලනිප හෝ එජාපය හෝ දෙපාර්ශ්වයම හවු‍ලේ ආණ්ඩු කෙරුවාවෙන් හෙම්බත්ව සිටින ජනතාව දැන්වත් ‍පොදු එකඟතාවකට පැමිණිය යුතුයි. රාජපක්ෂ පවුල වෙනුවට වික්‍රමසිංහ පවුලෙන් එසේත් නොමැති නම් ප්‍රේමදාස පවුලෙන් ප්‍රශ්න විසඳීමට හැකි බව කිසිවකු හෝ සිතනවා නම් ඒක හීනයක්. මේ අය කිසිවකු ළඟ ජනතා ප්‍රශ්නවලට පිළිතුරු නැහැ. බණ්ඩාරනායක මහතාගෙන් පසුව ඔහුගේ බිරිඳ, දුව රට පාලනය කළා. ජේ.ආර්. ජයවර්ධනගෙන් පසුව ඔහුගේ බෑණනුවන් ජනතාව විසින් දේශපාලනයට ගෙන ආවා. ඩී.එස්. සේනානායක මහතාගෙන් පසුව ඔහුගේ පුත්‍රයා පැමිණියා වලව් පැලැන්තිවලින් එක් අයකු දෙදෙනකු ගෙනැවිත් රටේ, ජනතාවගේ ප්‍රශ්න විසඳීමට බැහැ. මේ පාලකයන්ට හා පාලනයට තවදුරටත් මේ රට ගොඩනැගීමට නොහැකි බවට වසර 70 ක අතීත අත්දැකීම් තුළින් ජනතාවට පැහැදිලි වී හෝ පවුලකින් ගෙන ආවත්, අත්පත් වන්නේ එකම ව්‍යසනයමයි. මේ නිසා මොවුන්ට ගොඩනැගීමට නොහැකි බවට ‍පොදු එකඟතාවකට පැමිණෙන ලෙසට පළමුකොට මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එසේ නම් විකල්පය කුමක්ද? එම සංවාදයට ජවිපෙ සූදානම්. දැනටමත් රටේ සියලු බලවේග එකතු කරගෙන පුළුල් සංවාදයක නිරත වෙමින් සිටිනවා. ගෙඩනගාගත හැකි පාලනයක් පිළිබඳ සංවාදයක් අපි කරමින් සිටිනවා. එළඹෙන මැතිවරණයට ජවිපෙ තරගවදින්නේ එම පෙරමුණෙන්. සෑම ගම්මානයකම සමිතියක් නායකයෙක් මේ වසර දෙක තුළ අපි ගොඩනගනවා. 2020 දී අපි මැතිවරණයට අවතීර්ණ වන්නේ බලය ලබාගත හැකි දේශපාලන ව්‍යාපාරයක් හැටියටයි. අපි බලය ලබා ගැනීමට සූදානම් බව පැරණි වසර අසාර්ථක වූ පක්ෂයකට ඡන්දය ලබා දෙනවාද, නොඑසේ නම් රට ගොඩනගන දේශපාලන පෙරමුණක් පත් කරගන්නවාද යන්න මම රටේ ජනතාවගෙන් විමසනවා.