කලින් කලට ඡන්ද ‍පොරොන්දු දෙමින් බලයට පත්වන දේශපාලනඥයන් තමන්ගේ ඥාති වර්ගයාගේ සිට ගෝලබාලයන් දක්වා වූ හෙන්චයියන්ට මහජන දේපළ ගසාගෙන කන්නට ඉඩ සලසති. හැම මැතිවරණයකින්ම පසුව සිදුවන්නේ මෙම සන්තෑසියයි. මේ අවනඩුව කියන්නේ කාටදැයි මහජනතාවට ගැටලු මතුවන්නේ වැටත් නියරත් දෙකම ගොයම් කන නිසාය.

කුඹුරු ඉඩම් ගොඩ කිරීම වහාම නතර කරන ලෙස පසුගිය සමයේ ජනාධිපතිවරයාට නියෝග පනවන්නට පවා සිදු වූයේ මෙම මහා පරිමාණ ජාවාරම රටට සිදු කරන විනාශය වළක්වා ගන්නටය. ඊට වඩාත් බලපෑ කරුණ වූයේ ගම්පහ දිස්ත්‍රික්කයේ කුඹුරු ඉඩම් ඇතුළු තෙත්බිම් වනසමින් දේශපාලන හෙංචයියන් විසින් සිදු කරන විනාශය පිළිබඳව දැනගන්නට ලැබුණු විටය. එහෙත් ආණ්ඩුවේම සිටින ඇතැම් දේශපාලන බහිරවයින්ගේ ආනුභාවයෙන් තවදුරටත් කුඹුරු සහ වගුරු බිම් අක්කර සිය ගණනක් ගොඩකරමින් සිටිති. ඔවුන් සිය නීති විරෝධී ව්‍යාපාර නීත්‍යනුකූල කිරීමේ සැලසුම් ද සූක්ෂ්මව සකස් කරන්නේ රාජ්‍ය ආයතනවල සිටින ඉහළ නිලධාරීන්ට මුදල් යහමින් වියදම් කරමින් දොළපිදේනි දීමෙන් බව ද දැනගන්නට තිබේ. ඒ අන්දමට දූෂිත නිලධාරීන්ගෙන් ලබාගන්නා රාජ්‍ය ලිපි‍ලේඛන පෙන්වමින් දේශපාලන හෙංචයියෙක් අනාගත ව්‍යසනයකට පාර කපමින් සිටිති. මුතුරාජවෙල පාරිසරික රක්ෂිතයේ වත්තල, මාබෝල, කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයට යාබද කොටසේ වූ දෙල්ගහ, දවටගහ කුඹුරු අක්කර 13ක පමණ කොටසක් පසුගිය රජය සමයේ සූක්ෂ්ම ලෙස ගොඩකිරීම සිදු කළේ වත්තල නගර සභාවේ හිටපු සභාපති එච්.එම්. නවුෂාඩ්ය. කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමට සමගාමීව ඔහු බලධාරීන්ගේ ඇස්වසා කුඹුරු යායක් ගොඩකර දැමීය. ඒ සඳහා ඔහුට හිමිකම් ලැබි ඇති ආකාරය ද ප්‍රශ්නකාරීය. එම සියලු ගැටලුකාරී  ස්ථාන වසාගෙන ඇත්තේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් එම්.ඒ.එස්. වීරසිංහගේ ප්‍රශ්නකාරී ලිපි මගිනි. ඊට ගම්පහ ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරිය ද අඩුවැඩිය  සපයා ඇති බවට සාක්ෂි තිබේ.

මෙම වත්තල, මාබෝල. විජය පාර දෙසින් සහ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයෙන් බෙදී ඇති කුඹුරු යාය මේ වන විට දක්නට නැත. හිටපු නගරාධිපතිවරයාගේ මෙකී වංචා සහගත ක්‍රියාව පිළිබඳව හිටපු ආරක්ෂක ‍ලේකම්වරයාට දැන ගැනීමට ලැබිමෙන් පසුව එහි කොටසක් හැර ඉතිරි කොටසේ පස් ඉවත් කිරීමට කටයුතු කළේ වත්තල ‍පොලිසියේ ද මැදිහත්වීම මතය.

මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව මහජන පීඩාකාරී ක්‍රියාවකට එරෙහිව වත්තල ‍පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. එහි ප්‍රතිඵලය ලෙස වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවරූ නඩුවකට අනුව 2014 ජුනි මස 18 වැනි දින තීන්දුව ලැබුණේ මහජන පීඩාවක් සිදුවන බවට තීරණය කර ගොඩකිරීම් ඉවත් කිරීමටත්, නැවත ගොඩකිරීම් නොකරන ලෙසටත්ය.

එහෙත් හිටපු ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් වීරසිංහ නිරන්තරව පෙනී සිටියේ මෙම දේශපාලන තැරැව්කරු වෙනුවෙනි. හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තත්ත්වය 2017 පෙබරවාරි 16 දින මෙම හිටපු නගරාධිපති නවුෂාඩ් වෙනුවෙන් නිකුත් කරන එකිනෙකට පරස්පර විරෝධී ලිපි දෙකින් අනාවරණය වේ. කොමසාරිස් ජනරාල් ඒ සඳහා කූට ලෙස යොදා ගන්නේ 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ 28 වැනි වගන්තියයි.

ඒ අනුව 2017.02.16 කොමසාරිස් ජනරාල් වීරසිංහ ‘දෙල්දූව දවටගහ කුඹුර’ නමැති පර්. 101.22 (පර්චස් එකසිය එකයි දශම දෙකයි දෙකක්) කොටසින් ජලය පිරී පවතින පර්. 23.80ක කොටස හැර ඉතිරි ඉඩම් කොටස කුඹුරු ඉඩමක් නොවන බවට ලිපියක් නිකුත් කරයි. එම ලිපියේ කෘෂිකර්ම නොවන කටයුත්තක් සම්බන්ධයෙන් යොදාගන්නේ නම් කොන්දේසි 05ක් ඇතුළත් කරයි. පුදුමය නම් එදිනම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා කඩිමුඩියේ දෙවැනි ලිපියකින් බලපත්‍රයේ කොන්දේසි දෙකක් ඉවත් කර තවත් ලිපියක් නිකුත් කිරීමය. පළමු ලිපියේ (1), (2), (3).. යනුවෙන් අංක කර ඇතත් දෙවැනි ලිපියේ රෝම ඉලක්කම් (I) සහ (IV) යටතේ ඉහත කී කොන්දේසි ඉවත් කිරීමට පියවර ගනී.

කොමසාරිස් ජනරාල් වීරසිංහ සහ නවුෂාඩ් අතර ඇති සමීප සබඳතාව කතෛක් ද යන්නට මෙය වුව ද ප්‍රමාණවත්ය. මේ සඳහා ගත වූ කාලය පුරා වීරසිංහ කොමසාරිස් ජනරාල්වරයා සහ ගම්පහ ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්වරිය අදාළ ප්‍රාදේශීය දේශපාලනඥයා වෙනුවෙන් පෙනී සිටි ආකාරය පෙන්වීමට තවත් ලිපි ‍ලේඛන රාශියක් උපුටා දැක්විය හැකිය.

විජය ගොවි සංවිධානයේ උප ‍ලේකම් ප්‍රසන්න සෙඩ්‍රික් මහතා ඒ පිළිබඳව අපට කී කතාවයි මේ.

“මම කුඩා කාලෙ ඉඳලා මේ පහළ තිබුණේ වෙල් යායක්. ඒකෙ එක අඳ ගොවියෙක් මගේ නෝනගේ තාත්තා. මේ වෙල්යාය වගා කළේ කළු ඇළේ ජලයෙන්. 1994 දී විතර කළු ඇළේ කරදිය ඇවිත් මේක පුරන් වුණා. අඳ ගොවියන් හැටියට අක්කර බදු ගෙවූ කුවිතාන්සි, අයිතිය තහවුරු කරන උද්ධෘත පවා තියෙනවා. මගේ මාමණ්ඩි අක්කර දෙක හමාරක් විතර කුඹුරු වැඩ කළා. අපි පමුණුගමින් අයිතිය තහවුරු කරන උද්ධෘත පවා ගත්තා. ඔහොම තියෙද්දී අධිවේගී මාර්ගයට ගොඩ කරද්දී කුඹුරු යාය දෙකට බෙදුණා. එහෙම තිබිලා දෙවැනි පාර මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙලා ඉන්න කා‍ලේ අධිවේගී මාර්ගය හදන්න ගත්තම 2008 විතර මේ කුඹුරට පස් දාන්න ගත්තා. ඒ කා‍ලේ අපේ විජය පාර සුබසාධක සංගමයෙන් කුඹුරු ගොඩ කරනවා කියලා දැනුම් දුන්නා ලිපි මගින්. මේ ලියුම් දැම්මේ පහත් බිම් මණ්ඩලයටයි, ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටයි.”

ඒ ලිපි අනුව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නීතියට පටහැනිව කුඹුරු බිම ගොඩකිරීම සොයා බලන ලෙස දැනුම් දී තිබිණි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ගම්පහ සහකාර කොමසාරිස්ට ලිපියක් යොමු කරනවා. වත්තල-මාබෝල විජය සුබසාධක සංගමයේ දැනුම්දීම පරීක්ෂා කරන ලෙස දැනුම් දෙන්නේ ඒ අනුවයි. පසුව පිරිසක් එක්ව වත්තල ‍පොලිසියට කළ පැමිණිල්ලකට අනුව වත්තල මහෙස්ත්‍රාත් ලබාදුන් තීන්දුව ප්‍රතිශෝධන පැමිණිල්ලක් සහ අභියාචනයක් අදාළ සිද්ධියේ පාර්ශ්වකරු වන නවුෂාඩ් ගොනු කරන්නේ ඉතාම සැලසුම් සහගතවය. එහි දී ප්‍රතිශෝධන පැමිණිල්ල ලබා දෙමින් මීගමුව මහාධිකරණය කුඹුරු යායට අයත් කොටස හැරීමට දුන් නියෝගය තහවුරු කළේය.  අනෙක් අභියාචනය වන මහජන පීඩාවක් මෙම ගොඩකිරීම මගින් සිදුවන බවට වන චෝදනාව මීගමුව මහාධිකරණයේ දී ප්‍රතික්‍ෂේප විය. නව්ෂාඩ් සිය වාසියට හරවාගෙන ඇත්තේ මෙම තීන්දුවයි. එහෙත් සැබෑ තත්ත්වය නම් කුඹුරු ඉඩමක් ගොඩකර ඇති බවට වන චෝදනාවක් මීගමුව මහාධිකරණය හමුවේ පවරා තිබූ අභියාචනයට ඇතුළත්ව නොතිබිමය.

මෙම කුඹුරු ඉඩම් ගොඩකිරීමේ ක්‍රියාවලියේ දී මුල සිටම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ඒ.එස්. වීරසිංහගේ ක්‍රියාමාර්ග ප්‍රශ්නගතය.

2017.02.16 මෙය කුඹුරු ඉඩමක් නොවන බවට ලිපි දෙකක් අදාළ ඉඩමේ හිමිකරු ලෙස පෙනී සිටින නව්ෂාඩ්ගේ නමට එකම දින කඩිමුඩියේ නිකුත් කරන වීරසිංහ 2016.07.25 176/ඒ මාබෝල, විජය පාරේ දවටගහකුඹුර අනවසරයෙන් ගොඩකිරීම සම්බන්ධව ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, පමුණුගම ගොවිජන සංවර්ධන නිලධාරී, විජය පාර සුබසාධක සංගමයට ලිපියක් නිකුත් කරන්නේය. එම ලිපියෙන් ගම්පහ ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්ට දන්වා යවන්නේ පරීක්ෂණ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිගමන අනුව ප්‍රශ්නගත ස්ථානයේ අනවසර පිරවීමක් සිදුව ඇතැයි පිළිගෙන ඇති බවය. එම ස්ථානයට අදාළව කුඹුරක් ඇති බව තහවුරු කර ගැනීමට අවශ්‍ය ‍ලේඛන සොයා බැලීමෙන් අනතුරුව 2011 අංක 46 දරන පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ 32, 33 වගන්ති ප්‍රකාරව ෙනෙතික ක්‍රියාමාර්ග ගත යුතු බවට නිගමනය කර ඇති බවය.

කබරගොයින් තලගොයි කරන න්‍යාය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන එන්නේ මින් පසුවය. මෙම ගොඩකිරීම සම්බන්ධයෙන් කලක පටන් දේශපාලන හස්තයන් සැරිසරන බවට සැක නැත. ඊට හොඳම නිදසුන වන දැනට ජීවතුන් අතර සිටින, මෙම ගොඩ කළ කුඹුරු යායේ අඳ ගොවියා වන ඩේවිඩ් පෙරේරා මහතා මුණගැසුණෙමු.
“ලක්ෂ්මන් බාලසූරිය (ලොකු බාලසූරිය) කියලා කුරුණෑගල පදිංචි එක්කෙනකුගෙන් මේ කුඹුර මම අඳේට ගත්තේ. මේ හැම කුඹුරටම අපි ගමේ අය අඳ ගොවියො හැටියට වැඩ කළා. කරදිය ආවට පස්සේ අපි වගා නිලධාරීන්ට, වගකිවයුතු අයට කිව්වා මේ ඇළවල් හදල දෙන්න කියලා. නමුත් හදල දුන්නේ නෑ. කාලයක් යනකන් මේවා පුරන් වෙලා යන තැනට කටයුතු කළා. ඊට පස්සේ නියඟයකුත් ඇවිත් අවුරුද්දක් වගේ වගා කටයුතු මගඇරුණා. ඊළඟ අවුරුද්දේ ඉඳලා මේක පටන් ගන්න යනකොට ප්‍රදේශයේ ඇමැති කෙනෙක් ගාමන්ට් අයිතිකාරයකුට විකුණලා කියලා ආරංචි වුණා. වගා නිලධාරියත් කිව්වා මේක දැන් විකුණලයි තියෙන්නේ ඔයගොල්ල අඳේ කරන්න එපා අයින් වෙන්න කියලා. අපි මේක 1968 විතර ඉඳලා වැඩ කරලා තිබුණේ. සීයලගේ කා‍ලේ ඉඳලා තමයි කරන් ආවේ. මගේ දරුවොත් මේක කළා. අපි හරක් දාලා හාන්න ගත්තම ඒ කා‍ලේ ‍පොලිසියේ හිටපු ස්ථානාධිපතිව එවලා සීසාන්න නොදී නැවැත්තුවා. මේ 1988-89 විතර කා‍ලේ. කොහොම හරි ඒක ගත්ත කිව්ව නීලා ගාමන්ට් අයිති ෆවුස් කියන පුද්ගලයා වංචාවල් ගාණක් කරලා එයා රටින් පැනලා ගියා. පස්සේ එහේ ඉඳලා මිනිස්සු දාලා අපිට වගා කරන්න නොදී කුඹුරට කළුතෙල් හැලුවා.”

මෙම කතාබහ අතර ඩේවිඩ් පෙරේරා මහතාගේ පුතු වසන්ත පෙරේරා මෙම කතාබහට එක් වූයේ ඔහු මෙම අඳ කුඹුරු වගාවේ තුන්වැනි පරපුරේ සාමාජිකයා ලෙසයි. මේ ඔහු අපට කී කතාවය.

“පස්සෙ කා‍ලේ ඔය නීලා ගාමන්ට් එකේ කැපෙන රෙදි කෑලි එහෙම මෙතනට දාන්න ඔය ඉඩමේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න හිටපු නගරාධිපති නවුෂාඩ් එක්ක එකතු වෙලා කටයුතු කළා. අපි ඒත් වගා කළා. අපි කවදාවත් ඉඩමේ අයිතිය ඉල්ලුවේ නෑ. මේවා මුතුරාජවෙලට අයිති ඉඩම්. හිටපු නගරාධිපති මේක අරගත්තා කියලා පෙන්නන්ඩ ලියකියවිලි හදාගෙන තියෙනවා. නමුත් හැට ගණන්වල ඉඳලා මේ අඳ කුඹුරුවල ලිපි ‍ලේඛන විතරක් අස්ථානගත වෙලා. මේක කුඹුරක් ‍නෙවෙයි කියලා ඔප්පු කරන්න තමයි එයාලට ඕන වෙලා තියෙන්නේ.”

මේ කතාවේ එක් පාර්ශ්වයකි. මුතුරාජවෙල රක්ෂිතය මායිමේ පිහිටි කුඹුරු යාය විනාශ කිරීමේ ක්‍රියාව ඉතාම සැලසුම් සහගතව සිදු වූවක් බව පැහැදිලිය. මීට පෙර මෙම කුඹුරු ඉඩම්වලට අයත් කොටසක් ගොඩකර අමුරෙදි පිරිපහදු කරන (Washing plant) කම්හලක් ඇරඹීමට අවසර දී ඇත්තේ කුමන පරිසර ඇගැයීම් මත දැයි ප්‍රශ්නකාරීය. ඊට හේතුව කළු ඇළ නමින් හඳුන්වන මීට පෙර කුඹුරු වගාවට ජලය ලබාගත් ඇළට අදාළ කම්හලින් පිටකරන රසායනික ද්‍රව්‍ය හේතුවෙන් එහි ජලය සම්පූර්ණයෙන්ම විනාශයට ලක්වී තිබිමයි. මේ සියල්ල පිටුපස මුදලට කෑදර දේශපාලන හස්තයන් තිබෙන බව ප්‍රදේශයේ බොහෝ දෙනා දන්නා රහසකි. මෙම කුඹුරු මායිමේ ජීවත් වන ස්ටැන්ලි පෙරේරා මහතා ඔහුගේ අත්දැකීම අපට කීවේ මේ ආකාරයෙනි.

“මේ ටික ඔක්කොම කුඹුරු තිබුණේ. අපි කුඩා ක‍ලේ ඉඳන් මේ කුඹුරුවල සෙල්ලම් කළේ. අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු එක්ක කුඹුරු වගාව නැති වුණා. ඊට පස්සේ මේ නවුෂාඩ් කියන පුද්ගලයා අනවසරයෙන් පිරෙව්වා. මේකෙ මුල් අයිතිකාරයින්ට බදු ගෙව්වා. මේවා නතර කරන්න ගමේ අය උත්සාහ කළා. නමුත් දේශපාලන මැදිහත්වීම් එක්ක හරිගියේ නෑ. මේකෙ කොටසක් තිබුණේ පන්ස‍ලේ කුඹුරු. මෙතන එහා පැත්තේ කමතකුත් තිබුණා.”

ප්‍රදේශවාසියකු වන නිමල් දිසානායක මහතා මෙම කුඹුරු ඉඩම් ගැන කී කතාව මෙබඳුය.

“මගේ තාත්තා මේ කොටසේ කුඹුරුවල අඳ ගොවියෙක් හැටියට වැඩ කළා. මමත් අවුරුදු 18-20 විතර කාලෙ වෙනකන් මේ කුඹුරුවල ගොයම් කපන, පාගන වැඩවලට සහභාගි වුණා. දැන් මේක පළාතේ ප්‍රාදේශීය දේශපාලනඥයෙක් කූට විදියට අත්පත් කරගෙන කැබලි ඉඩම්වලට එයාගේ හිතවතුන්ට විකුණන්න සැලසුම් කරමින් ඉන්නේ. එහෙම කළොත් මහා විනාශයක් වෙන්නේ.”

2014 දී පමණ මෙම කුඹුරු ඉඩමේ පස් ඉවත් කිරීමෙන් පසුව ජලය පිරී, ප්‍රදේශයේ පිරිස් නෑමට පවා යොදාගත් ජලයට අපද්‍රව්‍ය යොදමින් එහි මත්ස්‍යයින් මියයාමට සැලැස්වීම ද මෙම ප්‍රාදේශීය දේශපාලනඥයාගේ තවත් සිත්පිත් නැති ක්‍රියාවකි. මෙම කොටස ගොඩ ඉඩමක් බවට තහවුරු කිරීමට යහමින් මුදල් වියදම් කර විවිධ රාජ්‍ය නිලධාරීන් මෙන්ම ඇතැම් මුදලට, බලයට ගිජු පුද්ගලයින් යොදා ගත්ත ද අදාළ කොටසට ප්‍රවේශ මාර්ගයක් පවා නැත. ඒ සඳහා කළ සැලසුමක් ද ප්‍රදේශවාසීන්ගේ නිරන්තර අවධානය නිසා වැළකී ගියේය.

විජය ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික ජගත් රෝහණ මහතා පැවසුවේ මෙවැන්නකි.
“අපි ඉල්ලන්නේ ඉඩම් අයිතිය ‍නෙවෙයි. මේ ප්‍රදේශයේ ජලය බැසයාමට තිබෙන කොටසක් හැටියට මේ පැරණි කුඹුරු කොටස ඉතිරිකර දෙන්න කියලා. හේතුව මේ කොටස ගොඩ කිරීම නිසා දැනටමත් පරිසර ප්‍රශ්න රාශියක් මතුවෙලා තියෙනවා. මේ දේශපාලනඥයින් මොන ආණ්ඩුවක් බලයට පත් වුණත් ඒ පැත්තට සල්ලි වියදම් කරලා තමන්ට අවශ්‍ය දේ කරනවා.”

‍පොලිසිය පවා මෙහි දී සත්‍යය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට නීතිය නිහඬ කර කටයුතු කරනුයේ ඇතැම් විට තමන්ගේ රැකියාව රැකගැනීම වඩා වැදගත් නිසා වන්නට ඇත. නව රජය බලයට පත්වීමෙන් පසුව 2016.03.02 ගම්පහ ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරිය මෙම අනවසර ගොඩකිරීම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වුව ද එම වාර්තා ද හමස් පෙට්ටියට ගොස් ඇත්තේය. මේ සියලු ක්‍රියා පිටුපස මුදල් බලයට යට වූ සියුම් රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයක් ඇති බව ඉතා පැහැදිලිය.

 

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අදාළ ප්‍රාදේශීය දේශපාලනඥයාගේ නීති විරෝධී ක්‍රියාකලාපයට එරෙහිව ගෙනගිය සටනේ ප්‍රතිඵලයක් ලෙස පමුණුගම ගොවිජන මධ්‍යස්ථානයෙන් තහනම් අතුරු ආඥාවක් ඉඩමේ අලවා ගොස් තිබුණ ද එය ද මේ වනවිට දක්නට නැත. වත්තල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස සිදු කරන මෙවැනි ගොඩකිරීම් රාශියකට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා අනුමැතිය දී තිබේ. අක්කර ගණනක් එසේ පවරා දී ඇත්තේ ගොවිජන සංවර්ධන පනතේ 28 වගන්තියෙන් ඔහුට හිමි වී ඇති බලතල අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමිනි. එම වංචාවන්ට සහාය දුන් නිලධාරීන් ද තවමත් එම තනතුරුවල වැජඹෙමින් මේ ව්‍යාපාර සිදුකරගෙන යමින් සිටින බව ද පැහැදිලිය.

පිළිලයක් නැසිය යුත්තේ මුලින්මය. අතුපතර පාහින ක්‍රමයෙන් පිළිලය තවදුරටත් වැඩේ. මෙරට වංචා දූෂණ මැඩීම ද එලෙසය. පුංචිම වංචා සිදු කරන තැනැත්තකු අල්ලා මහා ප්‍රසිද්ධියක් ද ලබාදෙන බොහෝ නීතිය රකින ආයතන දේශපාලන බලපුළුවන්කාරකම හමුවේ මුනිවත රකිති. දැන් හෝ මේ පිළිබඳව ඉහළ දේශපාලන අධිකාරියේ අවධානය යොමුවීම වැදගත්ය. වත්තල කුඹුරු ඉඩම් ගොඩකිරීමට ගොවිජන සංවර්ධන පනතේ 28 වගන්තිය පසුගිය කාලයේ අවභාවිත කරමින් ගොඩකිරීම් සඳහා අවසර ලබා දී ඇති ආකාරය ඉදිරියේ දී අනාවරණයට අප සූදානම්ය. මීළඟ ගංවතුරක දී වත්තල ප්‍රදේශයේ ජන ජීවිතය ව්‍යසනයකට තල්ලු වීමට පෙර නීතිය ක්‍රියාත්මක වන තුරු අපි ඇස ගසාගෙන සිටිමු.

අශෝක වීරසිංහ
asoka.veediyabandara@gmail.com

Untitled-5 Untitled-4