අපේ ගමේ ආච්චිගෙ ගෙදර අවුරුදු තිස්පහකට විතර ඉස්සර හරිම අපූරු තැනක්. ගෙදර එළදෙන්නු හත් අට දෙනෙක් හිටියා. උන්ට කාලෙන් කාලෙට වසුපැටවුන් ලැබෙන නිසා අපට කවදාවත් එළකිරිවලින් අඩුවක් වුණේ නැහැ. හරක් බැඳලා තිබුණේ වත්තේ තිබුණු පොල්ගස්වල. උන්ගේ ගොම පෝර සියල්ලම එකතු වුණේ එක මඩුවකට. සීයා ඒකෙන් පෝර හදනවා. දැන් අපි ලොකුවට  ඕගැනික් පෝර කියන්නෙ මෙන්න මේ ගොම පෝර එකතු කරලා ග්ලිරිසීඩියා කොළ, දහයියා අළු ආදිය මිශ‍්‍ර කරලා හදන පෝරවලට. වත්තේ පහළ හොඳට වැඩුණ කොහිල ගාලක් තිබුණා. ඒ කොහිල ගාලට යාබදව තිබුණේ පොල් ලෙලි වළක්. ගෙදර එකතු වෙන පොල් ලෙලි සියල්ලම වාගේ එකතු වෙන්නේ එතැනට. පොල් ලෙලි වළේම වියළුණු පොල් අතුත් පල් වෙනවා. දින දෙක තුනක් පල්වෙන පොල් අතු ලස්සනට වියැවෙන්නේ අපේ අම්මගේ, පුංචි අම්මලාගේ සහ ආච්චිගේ අත්වලින්. පසුකාලීනව මමත් පොල් අතු වියන්න පුරුදු වුණා.

සමහර දවස්වලට ආච්චි පොල් ලෙලි ගොඩ දානවා. පළාතෙ ඉන්න බෑ ගඳේ, නමුත් ටික වෙලාවකින් නහයට හුරු ගතියක් දැනෙනවා. පොල් ලෙලි එක්කම මඩ පුවක් ගෙඩිත් එළියට එනවා. ඒවා දියට දාන්නෙ සීයා. වළ ළඟම ඇති කොටයක් උඩ තබාගෙන පොල් ලෙලි තළන්න අපිත් උදවු වෙනවා. මුලින් අමාරු වුණත් සැරෙන් සැරේ වතුරෙ දාලා සෙමින් සෙමින් පොල් ලෙලි තළනකොට අවසානයේ ලස්සන සුදුපාට පොල් කෙඳි සහිත පොල් ලෙල්ලක් ඉතිරි වෙනවා. පොල් කෙඳි අතර ඇති කොහු බත් වෙනම ගොඩකට එකතු වෙන්නේ කිසිම දෙයක් අපතේ යවන්නෙ නැති සංකල්පය ඔස්සේ. ඒවා පසුව අර සීයාගේ කොම්පෝස්ට් ගොඩට එකතු වෙනවා.

පොල් කෙඳි පෑදුන පොල් ලෙල්ල වියළන්නේ එක්කෝ පැදුරක දාලා, නැතිනම් ලණුවක එල්ලලා. දවස් දෙක තුනක් වේළෙන පොල් කෙඳි ආච්චිගේ අතින් අපූරු කොස්සක් බවට පත් වන්නේ අපටත් නොදැනීම. තරමක් මහත මල්කෑර කෝට්ටක අගින් තැබෙන පොල් කෙඳි එකට බැඳෙන්නේ කොහු ලණුවකින්. එයත් තැනෙන්නේ අර කෙඳි වලින්මයි. වියන්න බැරි පොල් අතුවල ඉරටු ගන්නට අපිත් සහභාගි වෙනවා. ඒ ඉරටු මිටි බැඳිලා මඩුවකට එකතු වෙනවා. ඒ ඉරටු මිටි ඉදල් බවට පත් වන්නේ කොසු නිපදවීමේ යන්ත‍්‍රණය මගින්ම තමයි. ඉරටු හදලා ඉතිරිවන පොල් කොළ සහ පොල් නාරටි වියැළිලා කුස්සියේ පැත්තක එකතු වෙන්නෙ ඉවුම්පිහුම්වලට සහභාගි වෙන්න. ඒ අයට ගස්වලින් වැටෙන කොලපු ආදියත් එකතු වෙනවා. සමහර කොලපු නම් අපූරු නිමැවුම් බවට පත් වන්නේ ඉස්කෝලෙ අත්වැඩ පීරියඞ් එකේදී.

ගොම පෝර ගොඩ සාරවත් වෙන්න ගෙදර ඇතිකරන කිකිළියෝ කීප දෙනත් දායක වෙනවා. එයාල එක්ක බේර ගන්න බැරිම එළවළු පාත්ති ටික තමයි. කුඹුරේ එක කොනක් ගොඩ කරලා තැනුණ එළවළු පාත්තියේ අයිතිකාරයා සීයා. උදේ පාන්දර නැවුම් එළකිරි වීදුරුවක් බීලා කුඹුරට යන සීයා වැඩ අවසාන කරන්නේ එළවළු පාත්තියෙන්. එතැන නැති දෙයක් නෑ. මිරිස්, වම්බටු, බණ්ඩක්කා, කැකිරි, වට්ටක්කා, කරවිල, පතෝල, වැටකොලූ ආදිය වගේම මුකුණුුවැන්න, සාරණ සහ නිවිති ඒ පාත්තියේ නිත්‍ය සාමාජිකයො. කුඹුර වටකර තිබෙන වේල්ල දිගට තියෙන්නේ කුරුඳු පඳුරු. අතරින් පතර කෙසෙල් පඳුරුත් නැතුවාම නොවෙයි. පතෝල වැටකොළු වගේ වැල් යවන්න ආධාර කරගන්නේ පාත්තිය වටා හිටවපු කිතුල් රීප්ප ආධාර කරගෙන ඇදුන ලණු සහ කෙසෙල් පිති තීරු ගසා හදාගත්ත පටි. වැඞීගෙන එන වැටකොළු, පතෝල ආදිය පලතුරු මැස්සාගෙන් ආරක්ෂා වෙන්නේ පරණ පත්තර ආධාරයෙන් අපි හදලා දෙන කවරවලින්. ඒ කවර වැල්වල ගැටගැසෙන්නෙ වියැළුණු කෙසෙල් පිති තීරු ආධාරයෙන්. පාත්තියට පෝර දැම්මට පස්සේ ඒවා තැන තැන විසුරුවන්නේ කුකුළු හමුදාව. ඒ අතරම ඔවුන් අතරින් පතර හැදෙන කුඩා තණකොළ ගසුත් ගලවන නිසා සීයා උන්ට මොනවත් කියන්නෙ නෑ. ඒත් එළවළු පැළයක් ගලවපු දවසට නම් සෑහෙන බැණුම් අහනවා.

පාත්තියේ පැත්තකින් මඤ්ඤොක්කා ගස් කීපයක්, බතල පාත්තියක්, ඉන්නල කන්දක් වගේම නිල් මානෙල් මල් හැදෙන පොඩි පොකුණකුත් තිබෙනවා. බතල කන්ද හාරන දවස අපේ ප‍්‍රියතම දවසක්. කහ බතල දෙක තුනක් පස් එක්කම අමුවෙන්ම බඩට යන්නේ පෙරේතකම නිසාම නෙවෙයි, අනිත් අයට නොදී රස බලන්න තියෙන ආසාවට. බෝලවගේ මහත බතල ගෙඩියක් තිබුණාම ඒක පුංචි මම්මා වගේ කියන්නෙ ඇය පවුලෙම මහතට හිටිය කෙනා නිසා. දැන් ඉන්න වල් ඌරො, ඉත්තෑවො ඉස්සර කාලෙ සීයගේ වගාවට කරදර කරන්න ආවෙ නෑ. උන් කැලේට වෙලා උන්ගෙ වැඩක් බලාගෙන හිටියා. ඒ නිසාම දැන් කාලෙ වගේ උන්ගෙ මස්වල රස බලන්න ලැබුණෙත් නෑ.පාත්තිය අයිනෙ තිබුණ පොකුණෙ නිතරම කිතුල් කඳක්, ගස්වල කඳන් කීපයක් පදම් වෙන එකත් සිදු වෙනවා.  මානෙල් මල් කඩන්න පොකුණට නැඹුරු වෙලා වැටිලා වතුර පෙවුණ දවස් මතක් වෙනකොට තවමත් ජීවත් වෙලා ඉන්න එක ගැනත් පුදුමයක් තිබෙනවා. ඒ පොකුණ කොනේ පන් ගස් හැදුණ පන් විලක් තිබුණා. කාලෙන් කාලෙට ඒ පන් කොළ කපලා වේළලා, කුකුළු සායම් දාලා පාට කරපු පන්වලින් පැදුරු සහ පන් මලූ වියන එකත් ආච්චිගේ විනෝදාංශයක්.

බොහොමයක් දෙනා නිදා ගත්තෙ පන් පැදුරුවල, සීයා නම් නිදා ගත්තෙ ලණු ඇඳේ. ලණු ඇඳ උඩ දාපු පැදුර කියන්නෙ දැන් භාවිත වන හැම මෙට්ටයක්ම පරදන දෙයක්.

ඇෙඟ් හැඩයට වෙනස් වෙන ගතිය වගේම අංශක 360න්ම වාතාශ‍්‍රය ලැබෙන, නිදා ගන්න අවස්ථාවෙත් ශරීරය සම්බාහනය වන අපූරු ක‍්‍රමයක්. මේ නිසාම මිනිසුන් නිරෝගීව උදේ අවදි වුණා කියන්න පුළුවන්. පන් මලූ කියන්නේ ස්වභාවික ද්‍රව්‍යවලින් සැකසූ මලූ. මේවා කාලයක් පාවිච්චි වෙනවිට දිරන්න පටන් ගන්නවා ස්වභාවිකවම දිරන මේ මලූ අවසන් වෙන්නේ වත්ත පහළ කුණු ගොඩෙන්. ඒත් ඒවා පරිසරයට හානියක් නෑ. පරිසරයෙන්ම ඉපදිලා පරිසරයෙන්ම අවසන් වෙනවා.

කුඹුරෙ වතුර බඳින කාලෙට අපට හරි ජොලි. ඒක තමයි අපේ පිහිනුම් තටාකෙ. දැන් වගේ කෘමිනාශක ගහන්නෙ නැති නිසා වතුර ඇත්තෙන්ම පිරිසිදුයි. අස්වැන්න නෙළුවට පස්සෙ කුඹුර තමයි අපේ පිට්ටනිය. කුඹුරේ ලොකු වළවල් හාරලා සුදු වැලි ගොඩ දාන්නෙ මේ කාලෙට. අඩි දෙක තුනක මඩ අයින් කළාට පස්සෙ මතු වෙන්නෙ සුදුම සුදු සුදු-වැලි. ඒකට අපි හැමෝම උදව් වෙනවා. වැලි ගොඩ දාපු වළවල වතුර පිරුණාම ඒකත් අපිටම තමයි. හැබැයි දැන් ළමයි වගේ ඒවයෙ පැනලා ගිලිලා මැරෙන්න නම් ගියේ නෑ.

ආචාර්ය පියල් ආරියනන්ද
ආචාර්ය පියල් ආරියනන්ද

වත්තේ හැම තැනම තිබුණ පලතුරු ගස් නම් අවුරුදු තිහක් ගිහිල්ලත් තවම ඒ වගේම තිබෙනවා. මැංගුස් ගහ ඉස්සර වගේම පලදාව දුන්නත්, ඒක මහ ගහක්. ඉස්සර අත්තෙන් අත්තට නැගපු අපි දැන් මැංගුස් කඩන්නේ රිටක උදවුවෙන්. වත්තේ තිබුණ මහා ඩොංගා ගස් දෙක නම් ලී බවට පත් වුණා. අගෝස්තු මාසෙ ගෙඩි හැදෙන ඩොංගා ගහට පොලූ ගහලා කහපාට ඩොංගා කඩාගෙන කන එක මේ ලියන වෙලාවෙත් කටට කෙළ උනනවා. ඩොංගා ඇට ගිලූණාම පස්සෙන්දා ඒවා අයින් කරගන්න සෑහෙන වෙහෙස මහන්සියක් දරන්නත් වෙනවා. ඒකට උදවු වෙන්නේ වත්තේ හැදෙන පැපොල් ගහේ ගෙඩි. ඒ කාලේ කොච්චර පැපොල් කෑවද කියනවා නම් දැන් පැපොල් කන එක එපා වෙලා තියෙන්නෙ.

පොල් වගේම කිතුල් ගසුත් වත්තෙ තැනින් තැන තිබුණා. මලක් පීදීගෙන එන කාලෙට ගමේ ඉන්න කෙනෙක් ඇවිත් ගහ හැර ගහනවා. හැර ගහනවා කියන්නෙ ගහට සවිමත් පොලූ තබා බඳිමින් ඉහළට යන්නට මගක් පාදා ගන්න එක. ඒකෙ තේරුම අපට පැණි සහ හකුරු ලැබෙනවා කියන එක තමයි. මල් කපන එක කලාවක්, එයටම වෙන් වූ පිහිය අපි කාටවත් අල්ලන්න ලැබෙන්නෙ නෑ. ඇල්ලූවොත් වෙන්නේ ඇඟිල්ලක් දෙකක් කැපෙන එක විතරයි. ඒ තරම් මුවහත්. මල පීදෙන කාලෙට නැවුම් මුට්ටියක් ඇතුළත පුච්චලා සකසා ගන්නවා. සමහර විට මුට්ටි දෙකක් තිබෙනවා. එකක් පැණි සෑදීමට අවශ්‍ය තෙලිදිය ගන්න. ඒකට සුවිශේෂී ගස් ජාතියක පොතු දමා තෙලිදිය පැසවීම නවත්වා ගන්නවා. අනෙක් මුට්ටිය එල්ලන්නේ රාවලට අවශ්‍ය තෙලිදිය ලබා ගන්න. ඒවා අපට අකැපයි.

ලොකු හට්ටියකට හැමදාම එකතු වෙන තෙලිදිය ළිපේ පැසෙන්නෙ ආච්චිගෙ අධීක්ෂණයෙන්. දිනක් දෙකක් එසේ පැසෙන තෙලිදිය පිටතට එන්නේ කිතුල් පැණි ලෙසින්. ඒ කිතුල් පැණි එකතු වෙන්නේ තවත් මුට්ටියකට, සමහර වෙලාවට පැණි තව තවත් හිඳවලා හකුරුත් හැදෙනවා. හකුරු පදම වෙනස් වුණාම හැදෙන්නේ ලාකඩ වගේ ජාතියක්. ඒවා ගුණසිරි බුල්ටෝ වගේ, අයිතිය අපට. එයින් ගුළියක් කටේ දාගෙන දවස පුරාම උඩ තල්ලෙයි යට තල්ලෙයි අලවගෙන කෙළ පෙරාගෙන කන එකත් අපේ විනෝදාංශයක්. සමහර වෙලාවට පැණි මුල් හැදෙනවා. පුවක් ගසක කොළපොතක් පිරිසිදු කරලා හොඳින් පැසක් හදලා එයට පැණි දාලා ළිපට උඩින් ඇති දුම් මැස්සේ එල්ලනවා. කොළපොත තුළින් තව තවත් ජලය වාෂ්ප වෙලා පැණි මුල ඇතුළෙ හැදෙන්නෙ වැලි හකුරු. ඒ වැලි හකුරු කියන්නේ සීනි ස්ඵටික. ඒවා මාර රහයි. කර කර ගාලා හැපෙන්නෙ. පැණිමුල් එල්ලන්නෙ කුස්සියේ දුමේ. දුම කියන්නෙ ළිපට උඩින් ලී ආධාරයෙන් සැකසුණ ගබඩාව, කොස් ඇට, ගන්දෙල්, වියැළුණු බත්, කරවල, උම්බලකඩ ආදී ආහාර වගේම යම් ප‍්‍රමාණයකට දර ගොඩකුත් එතැන එකතු වෙන්නෙ වැහි කාලයට භාවිත කරන්න.  එතැන ගින්දර රස්නයට සියල්ලම හොඳින් වේළෙනවා. මේකත් ළිපෙන් හානි වන තාපය භාවිත කරන එක ක‍්‍රමයක්.

වත්තෙ පැත්තක ඉඟුරු පාත්තියක් සහ කහ පාත්තියක්, ඒකට දාන්නෙ වී පොතු, පස බුරුල් වෙලා අල හොඳට බහින්න. හීං අරත්ත, ආඩතෝඩා, ඇත්තෝර, විසකුම්භ, වගේ බෙහෙත් ජාතිත් වත්තෙම පැත්තක තිබෙනවා. සීයගෙ ආදරණීයම වගාව තමයි බුලත් වැල්ටික. කවුරු ආවත් කඩන්න දෙන්නෙ නැතුව තමන්ම කඩලා දෙන්නේ, බුලත් වැල්වලට ලෙඩ බෝ වන නිසා. ඊට අමතරව ගම්මිරිස් වැල් කීපයක්, කරාබු ගහක් ආදිය වත්තේ කොතැනක හෝ තිබුණා. මේ නිසා ඇත්තෙන්ම ජීවන රටාව හරිම ස්වයංපෝෂිතයි. සියල්ලම තමන් විසින්ම සපයා ගනු ලැබුවා.

ගෙදර හැමෝම වැඩට උදව් වෙන නිසා හැම දෙනාම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. දර අහුලන්න, පලා කඩන්න වගේම කුඹුරේ එළවළු පාත්තියේ වැඩ කරන්න හැමෝම යනවා. නාන ළිඳ දවස් තුන්සිය හැටපහ පුරාම උතුරලා යනවා. ඒ අසල කණ්ඩියෙන් ඉපදිච්ච උල්පත්වලට තේ කොළ තියලා පීලි හදන එක නාන්න ගියාම අපේ විනෝදාංශය. පනිට්ටුව ළිඳට ගහලා වතුර පණහක් නාන්නෙ සබන් ගාන්න. වතුර පනිට්ටු සීයක් කියන්නෙ සෑහෙන නෑමක්, ඒ වගේම ඇඟට හොඳ ව්‍යායාමයක්. මේ නිසා දැන් වගේ  තඩි බඩවල් කාටවත් තිබුණෙ නෑ.ජිම් නොගියත්, හොඳට කට්ස් දාපු ඇඟවල් කීපයක්ම ගමේ තිබුණා. කාන්තාවන් වුණත් බොහොම නිරෝගීව සිටියෙ.

උණක් හැදුණම සීයා තෙල් මතුරනවා. ඒ මන්තරවල වැඩිහරියක් තිබුණෙ බුදුගුණ. කහ ඩිංගක් උරච්චි කරලා සුදු හඳුන් පොඞ්ඩක් දාපු තෙල් හරිම සුවඳයි. තෙල් මතුරලා ඉවරවෙනකොට ලෙඩත් හොඳයි. ඉඟුරු කොත්තමල්ලි, වෙනිවැල් ගැට තම්බපු වතුර වේල් දෙකක් බීවාම  ඕනම ලෙඩක් නිට්ටාවට සුවයි.

හවසට අපි ඔක්කොම රේඩියෝව ළඟට කිට්ටු වෙන්නෙ ‘මුවන් පැලැස්ස’ අහන්න. සමහර දවස්වලට ‘හන්දියේ ගෙදරත්’ අහනවා. පරණ අයට මතක ඇති. ‘වේවැලක් නැති පාසලක්’ කතාව තමයි ළමා අපට වැදගත්, ඒකෙ හිටපු ජිල්ජෝනා සහ වැන්දබෝනා ගෙ චරිත මතක හිටින ඒවා.හවස් වෙනකොට සීයා පැට‍්‍රල්මැක්ස් එකට භූමිතෙල් දාලා හුළං ගහනවා. ඒ හුළංපාරත් එක්ක මැද තිබෙන රෙදි මැන්ටල් එක රිදී පාටින් බබළනවා. වැඩිය දැඟලූවොත් ඒක කැඩෙනවා. ඒ නිසාම එතැන අපට තහනම්. සාලෙ ඒක එල්ලූවාම මුළු ගෙදරම එළියයි. අනෙත් කාමරවලට චිමිනි ලාම්පු.

ඒ ජීවිතය පහසුකම් අඩු වුණත් සරලයි. මුළු ජීවිතයම බද්ධ වෙලා තිබුණෙ පරිසරයත් එක්ක. උදෑසන අවදි වූ වෙලේ පටන් මිනිස්සු ජීවත් වුණේ පරිසරයත් එක්ක. ඒ වගේම ?ට නින්දට යනකොට උදේ තිබුණ පරිසරය ඒ වගේම තිබෙනවා. පරිසරයට අලූතෙන් යමක් එකතු වුණේ නැහැ. හැම නිෂ්පාදනයක්ම, හැම කාර්යයක්ම පරිසරයට අනුබද්ධයි. කුණු කඳු ගොඩගැහුණෙ නෑ. පරිසරය විනාශ වුණේ නෑ. ගමේ වගේම නගරයෙත් ඒ සුන්දරත්වය තිබුණා.

මේ ජීවිතය සංකීර්ණ වෙලා වෙනස් වෙන්න පටන් ගත්තේ ගමට විදුලි බලය, දුරකථන පහසුකම් එකතු වීමත් එක්ක. ගමේ පාරවලට තාර දැමුණා. මෙච්චර කාලයක් පස් එක්ක හැපිපිච්ච කකුල්වලට සෙරෙප්පු වැටිලා පොළවත් එක්ක තිබුණ සම්බන්ධය නැති වුණා. ඒත් එක්කම රූපවාහිනිය ගමට ආවම, ඉස්සර ?ට ඔක්කොම එකතු වෙලා පිළ උඩ හෝ වෙනත් තැනක තිබුණ සතුටු සාමීචිය රූපවාහිනියේ නළු නිළියෝ කියන කරන දේ බලන් ඉන්න තැනට පත් වුණා. මිනිස්සු ටික ටික එකිනෙකාගෙන් ඈත් වෙන්නත් ඇති. අපටත් අලූත් වීරයෝ ඇති වුණා. නයිට් රයිඩර් වගේ බයිසිකලේ උඩින් පන්නන්න ගිහින් තරු පෙනුණ වාර අනන්තයි. පරිසරයට අනුබද්ධ නිෂ්පාදන වෙනුවට ප්ලාස්ටික් බෑග් ආවා. ඒවා නොදිරන නිසාම පරිසරයේ එකතු වුණා. අවුරුදු විස්සකට එහා තිබූ සමහර අසුරන ද්‍රව්‍ය දැන් පවා කුණුගොඩක් ඇවිස්සුවොත් හොයා ගන්න පුළුවන්.

අලූත් ජීවන රටාව පහසුයි. හැම දෙයක්ම අතට-පයට. වාහන හැම තැනම. දැන් බයිසිකලයක්වත් නැති ගෙයක් හොයා ගන්නවට වඩා ලේසියි නො මළ ගෙයකින් අබ ඇට මිටක් හොයා ගන්න එක. ගම පුරාම ඇවිදපු කකුල්වලට විරාමයක් ලැබුණා වගේම ඇඟටත් විවිධාකාර රෝග ගොඩ වුණා. ඉස්සර දියවැඩියාව, හෘද රෝග, පිළිකා නොදැකපු අපේ ශරීර, ඒවා නැතිනම් පුදුමයක් වන තත්ත්වයට පත් වෙලා. මිනිස්සු කම්මැළි වෙලා. ගෙදර වත්තේ කොච්චර ඉඩ තිබුණත්, වෙලාව කොච්චර තිබුණත් හැම එළවළුවක්ම කඩෙන් ගේන්න, එකතු වෙන හැම කුණුගොඩක්ම නගර සභාවට දෙන්න පුරුදු වෙලා. අච්චර ලස්සනට තිබුණ ජීවිතේ හිතාගන්න බැරි තරමට වෙනස් වෙලා.

දියුණුව හොඳයි. අපි ඉදිරියට යා යුතුමයි. ඒ දියුණුවත් එක්ක අපි බොහෝ දෙයින් පස්සට ගිහින්. අධ්‍යාත්මිකව, මානසිකව, ශාරීරිකව, චර්යාත්මකව අපි ඉන්නේ ඉස්සර මිනිස්සුන්ටත් වඩා පිටුපසින්. තවමත් අප ප‍්‍රමාද නෑ. පොඞ්ඩක් හිතලා වෙනස් වෙන්නයි  ඕන. වෙනස් වීම අමාරුයි. අපි අපේ රටාවෙන් බැහැරට යනවා කියන්නෙ බොහොම අමාරු දෙයක්. ඒත් ඒ වෙනස දවසෙන් දවස හුරු කර ගත්තොත් තව වසර කිහිපයකින් හෝ අප අලූත් වේවි.

දියුණු වෙවී ආපස්සට යමු. ජීවිතය ලස්සන වේවි!

ujyr fgh tgyht ujh