ඩෙංගු මදුරු මර්දනය සඳහා ඔස්ට්‍රේලියාව සොයාගත් බැක්ටීරියාව මෙරට දී යොදාගත හැකිද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය ‍පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

අදාළ බැක්ටීරියාව මගින් ඩෙංගු මදුරුවාගේ විෂ අඩු කිරීමේ හැකියාවක් ඇති බවත්, එය මේ වන විට වියට්නාමය, ඉන්දුනීසියාව අත්හදා බලා ඇති බවත් ඒ මහතා පැවසීය. මෙය ලංකාවේ භාවිතය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ඔස්ට්‍රේලියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලය බලා‍පොරොත්තු වන බවත් පැවසීය.

ඒ පිළිබඳව අපි ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක හසිත තිසේරා මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ අදාළ පර්යේෂණය සාර්ථක වුවහොත් ලංකාවේ සෑම ප්‍රදේශයකටම බැක්ටීරියාව ඇතුළු කර ඩෙංගු මදුරු මර්දන කටයුතු ක්‍රියාවට නැංවිය හැකි බවයි.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන මස ලංකාවට පැමිණීමට නියමිත බවද ඔහු පැවසීය.

දීපා වසන්ති එදිරිසිංහ