කළුතර එතනමඩලදී බන්ධනාගාර බස් රථ දෙකකට වෙඩි තබා පාතාල නායක සමයං ඇතුළු පස්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට ඉන්දියාවේ දී කොටු වූ අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලඩියාව ජාත්‍යන්තර ‍පොලිසිය හරහා මෙරටට ලබා ගැනීමට කටයුතු සූදානම් කරද්දී පාතාල නායක මධුෂ් විසින් ඉන්දියානු සිරභාරයෙන් එම පාතාලයන් දෙදෙනා මුදාගෙන ගොස් ඇතැයි පාතාල මර්දන කණ්ඩායම් වෙත තොරතුරු ලැබි ඇත.

පාතාල නායක මාකඳුරේ මධුෂ් විසින් ලංකාවේ සිටින තම සගයන්ට ඩුබායි සිට අමතා තමන් ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටි අංගොඩ ලොක්කා හා ලඩියාව හිරගෙදරින් පන්නාගෙන ඩුබායිවලට ගෙන්වාගත් බවට දැනුම් දුන් බවට පාතාල මර්දන කණ්ඩායම් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මධුෂ්ගේ දුරකථන ඇමතුමට අනුව මෙකී පාතාලයන් දෙදෙනා මුදාගත්තේ ඉකුත් සිකුරාදා (16) බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පාස්‍පෝට් මගින් ඉන්දියාවේ සිට ඩුබායි බලා යන්නට සූදානම් වන මොහොතේ ඉන්දියාවට ඇතුළු වූ ආකාරය තහවුරු කරගත නොහැකි වීම නිසා ලොක්කා හා ලඩියා කොටුවන්නේ මීට මාස එකහමාරකට පමණ පෙරය.

ඉන්පසුව ඉන්දියානු සිරභාරයේ සිටින ලොක්කා ලඩියා මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ‍පොලිසිය රහස් ‍පොලිසියේ ජාත්‍යන්තර ‍පොලිස් ශාඛාව (දබඥපනධත ඕපචදජඩ) මාර්ගයෙන් ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත යැවීමට අංගොඩ ලොක්කාගේ තොරතුරු ඇතුළත් ලිපි ගොනුවක් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමුකර තිබිණි.

මෙම ක්‍රියාවලියේ ප්‍රමාදය අතරේ මාකඳුරේ මධුෂ් විසින් තම සගයන් මුදා ගැනීමට ඉන්දියානු බන්ධනාගාර හා ‍පොලිසියේ දූෂිත නිලධාරින්ට මුදල් ලබා දීමට ඉන්දියානුවන් හරහා උත්සාහ කරමින් සිටි බවද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබි තිබිණි.

ලොක්කා හා ලඩියා සිරභාරයෙන් මුදා ගැනීමට පෙර ඇප ලබා දීමට ඉන්දියානු රුපියල් කෝටියක පගාවක් ඉල්ලා තිබුණු බවද පාතාල කණ්ඩායම් හරහා පාතාල මර්දන කණ්ඩායම් වෙත තොරතුරු ලැබි තිබිණි.

මේ සම්බන්ධව ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගෙන් විමසූවිට එවැනි තොරතුරක් නිල වශයෙන් ලැබි නොමැති බවත්, අංගොඩ ලොක්කා ජාත්‍යන්තර ‍පොලිසිය හරහා මෙරටට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බවත් ප්‍රකාශ කළේ ය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා/ සඳරුවන් පලිහේන