මේ වසර අවසන් වනවිට මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂ දෙක තුනක් විය හැකි බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා රිවිර ඉරිදා සංග‍්‍රහයට පවසා තිබුණි. මෙය ඇඟ කිළිපොළන තරමේ ප‍්‍රකාශයකි.

වෛද්‍යවරයාගේ මේ ප‍්‍රකාශය මගින් ගම්‍ය වන කරණු කිහිපයකි. ඉන් පළමුවැන්න නම් මේ වසර අවසාන වනවිට පැහැදිලිවම රටේ ඩෙංගු වසංගත තත්වය තව තවත් උත්සන්න වන බවයි. එමෙන්ම ඩෙංගු රෝග වසංගතය පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත මෙම වෛද්‍යවරයාගේ ප‍්‍රකාශයෙන් ගම්‍ය වන තවත් පැතිකඩක් නම් මේ වනවිට ඩෙංගු මර්දනය කිරීම සඳහා කි‍්‍රයාත්මක වන ක‍්‍රමවේදය ප‍්‍රමාණවත් නොවන බවය.

ඩෙංගු රෝගී තත්ත්වය අධි වසංගත තත්වයකට පත්වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර ද මෙවැනි අවස්ථා උදාවූවා අපට මතක ය. නමුත් එ් කිසිම අවස්ථාවක අප රටක් හැටියට මෙම වසංගත තත්වයෙන් මිදීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කළේ නැත. ඊට රට පාලනය කරන්නන්ට පමණක් ඇඟිල්ල දිගුකළ නොහැකිය.  මේ රටේ ජීවත් වන හය හතර දන්නා පුරවැසියන් සියලූ දෙනාම පාහේ මීට වගකිව යුතු ය.

රට පාලනය කරන පාර්ශ්වයට වැඩි බරක් පැටවෙන බව සැබැවි. මන්ද ඩෙංගු වසංගත තත්වයක් වර්ධනය වීම වැළකීම සඳහා අවශ්‍ය විධිමත් යාන්ත‍්‍රණයක් සැකසිය හැක්කේ ඔවුන්ට ය. එවැනි යාන්ත‍්‍රණයක් සකස් කොට පක්ෂ පාට භේදයකින් තොරව එය කි‍්‍රයාවේ යෙදවූවා නම් මේ වනවිට මේ ගැටලූව මෙතරම් උඩුදුවන්නේ නැත.

ඩෙංගු වසංගතය ව්‍යාප්ත වීමට බලපාන හේතු සාධක බොහොමයකි. කසළ ප‍්‍රතිචක‍්‍රීකරණය නිසියාකාරව සිදුනොවීම ඉන් ප‍්‍රධාන වේ. එසේම කසළ බැහැර කිරීමේදී අපේ රටේ ජනතාව කි‍්‍රයාත්මක වන ආකාරය ද කිසිම අයුරකින් අනුමත කළ නොහැක. තමන්ගේ ගෙවත්තෙන් මෙපිටට කුණු මල්ල පිට කිරීම ගැන පමණකි බොහෝ දෙනා සිතනුයේ. නමුත් ඩෙංගු රෝගය බෝ කරන වාහක මදුරුවා මීටර් 500ක වපසරියක් ඇතුළේ පියාසර කරන මාරයකු බව ඔවුන් කිසිවිට හිතන්නේ නැත.

එනිසා ආත්මාර්ථකාමී වූ පටු චින්තනයෙන් ඔබ්බට යාමට දැන් කාලය පැමිණ තිබේ. තමන්ගේ ගෙවත්ත පමණක් පිරිසිදු වූ පමණින් ඩෙංගු මාරයා අප හැරයන්නේ නැති බව අපි තේරුම් ගතයුතු වෙමු. එසේ නම් කළ හැක්කේ කුමක්ද? අප ගැනම පමණක් නොසිතා අප අවට පරිසරය පිළිබඳව ද අපි අවධානය යොමු කළ යුතු වෙමු. තනි පුද්ගලයකු වශයෙන් මේ කි‍්‍රයාවට පළමුව ඔබට දායක විය හැක. ඩෙංගු වසංගතය බෝ කිරීමට තුඩුදිය හැකි කුමන හෝ ස්ථානයක් දුටුවොත් ඊට සක‍්‍රීයව මැදිහත්වී එය යථාතත්වයට පත්ළ හැකිය. එසේම ඩෙංගු වසංගතය මර්දනය කරගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ අප දන්නා ආකාරයට සමාජය දැනුවත් කළ හැකිය. එ් මගින් තමන් ජීවත්වන ප‍්‍රදේශය තුළ ඩෙංගු මර්දන කතිකාවක් ගොඩනැගිය හැකිය.

රටේ පුරවැසියන් එසේ කි‍්‍රයාත්මක වනවිට රට කරවන ඇත්තන් ද එ් සඳහා විධිමත් යාන්ත‍්‍රණයක් ගොඩනඟා එය සමාජගත කිරීමට සකි‍්‍රය වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළ යුතුය. මේ වනවිට ජනාධිපතිවරයා හා අගමැතිවරයා සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු ඊට සම්බන්ධ නිලධාරීන් සක‍්‍රියව මීට මැදිහත්වීම පැසසිය යුතු කරුණකි. විශේෂයෙන්  ඕස්ටේ‍්‍රලියාවෙන් බැක්ටීරියාවක් හඳුන්වා දීමට කටයුතු කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා ඉදිරිපත් වීම පැසසිය යුතුය. එසේම ඩෙංගු රෝගී තත්වය පරීක්ෂා කිරීමේදී පෞද්ගලික රෝහල් අය කළ ගාස්තු විශාල වශයෙන් පහත දැමීම කෙරෙහි ද සෞඛ්‍ය ඇමැතිවරයාගේ අවධානය යොමුවීම ද මෙහිදී අමතක කළ නොහැකිය.

මේ කරුණු කරණා කෙසේවුවද මේවා ඉක්මනින් යථාර්ථයක් බවට පත්වේ යැයි අපි සිතමු. මීට පෙර මෙවැනි උත්සහයන් ගනු ලැබුවද එ්වා හමස් පෙට්ටියට ගියා මිස මහ පොළොවේ පැලවුණු යථාර්ථයක් බවට පත්වූයේ නැත. කියුබාවෙන් ඩෙංගු මදුරුවාට එරෙහි බැක්ටීරියාවක් ගෙන්වීමට සැලසුම් සකස් වූයේ මීට බොහෝ කලකට පෙර ය. එවැනි කතා එ් දිනවල අසන්නට ලැබුණත් එ් සැලසුම් මෙරට කි‍්‍රයාත්මක වූයේ නැත. එ්වා එදා කි‍්‍රයාත්මක වූවා නම් අද ඩෙංගු වසංගත තත්වයක් පිළිබඳ අසන්නට ඉඩ නොලැබෙන්නට ඉඩ තිබුණි. එසේ හෙයින් අප මතක් කර සිටින්නේ මේ වතාවේ ඩෙංගු මදුරුවාට තිත තැබිය යුතුය යන්නයි. තවත් වරක් මෙවැනි තත්වයකට රට තල්ලූවීමට අවකාශ සලසා දිය යුතු නැත. එය එසේ වුවහොත් මෙම ඩෙංගු වසංගත තත්වය නැවත මතුවන්නේ මීට වඩා පිමි හතර පහක් ඉදිරියට පනිමින් ය.

මැලේරියා හා බරවා වසංගතය අපේ රට ගිලගන්නා වසංගතයක් වූ කාලයක් තිබුණි. ඉන් මැලේරියා වසංගතයෙන් අපි මිදුණෙමු. බරවා වසංගතය ද පාලනය කරගත්තෙමු. එ්වා එසේ වූයේ රටේ සියලූ දෙනාම අප‍්‍රතිහත ධෛර්යයෙන් එ් වෙනුවෙන් කැපවීම නිසාය. සිත ඇත්නම් පත කුඩා ද කියන්නා සේ සිතුවොත් කරන්න බැරි දෙයක් නැත. එසේ හෙයින් මේ ඩෙංගු මර්දනයට කාලයයි. එය තවදුරටත් අනාගත පරපුර වෙනුවෙන් බාරදිය යුතු නැත යනු අපේ හැඟීමයි.