මයිලෝ කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පළමු  අවසන් පූර්ව තරගයේදී මහනුවර ධර්මරාජ විදුහල ලකුණු 34-12ක් ලෙස   පරාජය කරමින් ඉතිහාසයේ පළමු වරට එම තරගාවලියේ අවසන් තරගයට සහභාගි වීමේ අවස්ථාව හිමිකර ගන්නට මරදාන ශාන්ත ජෝශප් විදුහල සමත් විය.

මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තගයේදී වෙස්ලි විදුහල පරාජය කරමින අවසන් පූර්ව තරගයට සහභාගි වීමේ අවසථාව හිමිකර ගන්නට ශාන්ත ජෝශප් විදුහල සමත් වුවද මහනුවර ධර්මරාජ විදුහල අවසන් පූර්ව තරගයට පිවිස තිබුණේ ලීග් ශූරතාව දිනූ රාජකීය විදුහල තරගාවලියෙන් ඉවත්වීම නිසා හිමිවූ  නිතරග ජයග්‍රහණය හේතුවෙනි.

මේ අනුව  එම අවසන් පූර්ව  තරගයේදී ශාන්ත ජෝශප් විදුහල  රග්බි ක්‍රීඩා ලෝලීන්  අපේක්ෂා කළ ආකාරයෙන්ම  ජයග්‍රහණය කළේය.

මෙම තරගයේ පළමු භාගය අවසන් වනවිට  ලකුණු 16-05ක් ලෙස ඉදිරියෙන් සිටි ශාන්ත ජෝශප් විදුහල උත්සාහක දිනුම් 3ක් ප්‍රවර්තන 2ක් හා දඬුවම් පහර 5ක් ආශ්‍රයෙන් ලකුණු රැස් කළ අතර මහනුවර ධර්මරාජ විදුහ‍ලේ ලකුණු 12 වාර්තා වී තිබුණේ උත්සාහක දිනුම් දෙකකින් හා එක් ප්‍රවර්තනයකිනි.

මේ අතර මෙම තරගාවලියට සමගාමීව  එදින  පස්වරු 2.00ට සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති මයිලෝ අගමැති කුසලාන පළමු අවසන් පූර්ව තරගයෙන් කොළඹ ආනන්ද විදුහල ලකුණු 30-27 ක් ලෙස තර්ස්ටන් විදුහල පරාජය  කර තිබිණි.

මේ තරගයේ දී ආරම්භයේ සිට අවසානය දක්වාම කරට කර තරගයක් දැකගත හැකිවූ අතර පළමු භාගය අවසන් වනවිට ද  ආනක්ද විදුහල ඉදිරියෙන් පසුවූයේ ලකුණු 13-10ක් වශයෙනි.

ජයග්‍රාහීි ආනන්ද විදුහල උත්සාහක දිනුම් 5ක්  එක් ප්‍රවර්තනයක් හා දඬුවම් පහරක් ඔස්සේ ලකුණු රැස් කර තිබූ අතර තර්ස්ටන් විදුහ‍ලේ ලකුණු වාර්තා වී තිබුණේ උත්සාහක දිනුම් 4 ක් ප්‍රවර්තන දෙකක් හා එක් දඬුවම් පහරක උපකාරයෙනි.

සීවලී එදිරිවීර

ශාන්ත ජෝශප් - ධර්මරාජ තරගයේ අවස්ථාවක් ඡායාරූප: ඒෂාන් දසනායක
ශාන්ත ජෝශප් – ධර්මරාජ තරගයේ අවස්ථාවක්
ඡායාරූප: ඒෂාන් දසනායක