ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් යුද හමුදා කඳවුරක මාස කිහිපයක් විශේෂ පුහුණුවකට එක්කළ යුතු බව පසුගියදා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. ක්‍රීඩා ඇමැති ක්‍රීඩාවේ බලධරයා ලෙසට මෙලෙස පැවසුවේ පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ දියාරු පන්දු රැකීම හමුවේ චැම්පියන්ස් කුසලානයේ දී පාකිස්තානයට එරෙහිව පරාජය වී පෙරළා පැමිණීමට සිදු වූ හෙයිනි.

ක්‍රීඩා අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ මීට පෙර පිතිකරුවකුට පාදයේ ආබාධයක් නිසා දිවීමට නොහැකි නම් සහායකයකු කඩුලු අතර දිවීමට යොදා ගැනීමේ අවකාශ තිබුණා. ඒත් දැන් එම ක්‍රමයට අවසර නැහැ. දැන් දුවන්න බැරි පිතිකරුවකුට ගෙදර යන්න වෙනවා. සහායකයකුගේ ආධාර ලබන්න බැහැ. බැලුවාම මේ ක්‍රමය හොඳයි.

අද බැලූවිට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ බඩ ඉදිරියට ඇවිත්. ටී ෂර්ට් එක උඩට ඇවිත්. ශ්‍රී ලංකාවේ තරම් කැත ක්‍රීඩකයන් මම දැකලා නැහැ. බොහෝම කීප දෙනයි බඩ නැතිව ක්‍රීඩාකරන අය ඉන්නේ. බොහෝම ටික දෙනයි අතපය තියෙන ශක්තිය ඇතිව ක්‍රීඩා පිටියේ ඉන්නේ. මේකට මට සමහරු බණින්න පුළුවන්. විශේෂයෙන් සමහරු කියලා තියෙනවා උඩපන්දු අතෑරිය විට තරග පරදින්නේ නැහැ කියලා. ඒත් උඩපන්දු අතහැරලා, තමයි තරග පැරදී තිබෙන්නේ” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

උඩපන්දුව රැක ගැනීමට ළඟට එන විට බඩ වැඩි නම් ක්‍රීඩකයාගේ අත පහළට යන්නේ නැහැ. ඉතින් උඩපන්දුව අත හරිනවා. ඊට පස්සේ ඔලුවේ අත ගහගෙන ඉන්නවා යැයි පැවසූ ක්‍රීඩා ඇමැතිතුමා වර්තමානයේ බංග්ලාදේශ ක්‍රිකට් පිල දෙස බලන්න. එක් ක්‍රීඩකයකුගේවත් උදරය ඉදිරියට නෙරා ඇවිත් නැහැ. ඔවුන් ඉතාම නිවැරදි ලෙස පුහුණු කිරීම් කරනවා. අපේ කණ්ඩායමේ සියලු දෙනාම බබාලා විදියට තමයි හදන්නේ. මේක නිසා තමයි ක්‍රීඩකයන් මාස හයකට විතර යුද හමුදා කඳවුරකට යවා පුහුණු කරගත යුත්තේ. නැත්නම් මේක හරියන වැඩක් නොවේ” යැයි ක්‍රීඩා ඇමැතිවරයා පැවසීය.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කරනු  ලැබූ මෙම ප්‍රකාශයන් තුළ යම් සත්‍යතාවක් ඇති බව පැහැදිලිය. විශේෂයෙන් පන්දු රැකීමේදී සමහර ක්‍රීඩකයන්ට යම් අපහසුතා ඇති බවක් පෙනේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එංගලන්ත සංචාරයට එක් කිරීමට පෙර තේරීම් කමිටුව ශාරීරික යෝග්‍යතාව හා පන්දු රැකීමට ප්‍රමුඛතාව දෙන බවට ප්‍රකාශ නිකුත් කළ ද එය ක්‍රියාත්මක වී දැයි ප්‍රශ්නයකි. අතීතයේ දී රෝයි ඩයස්, රොෂාන් මහානාම, උපුල් චන්දන, හෂාන් තිලකරත්න, අරවින්ද ද සිල්වා වැනි ක්‍රීඩකයන්ගේ සුපිරි පන්දු රැකීම කලකට අමතක නොවන්නේ ඔවුන්ගේ දක්ෂතා තුළ කණ්ඩායමට ජයග්‍රහණයක් ලැබුණ හෙයිනි.

බංග්ලාදේශ ක්‍රිකට් පිල ක්‍රීඩා අමාත්‍යවරයා නිදසුනක් ලෙස දැක්වීමද වැදගත්ය. එම ක්‍රීඩකයන්ගේ පුහුණු ක්‍රමවේද ගැන ඇමැතිවරයා ප්‍රශංසා කර ඇත. මෙහිදී මතක් කළ යුත්තේ බංග්ලාදේශ ක්‍රිකට් පි‍ලේ ශාරීරික අභ්‍යාසක මරියෝ වෙල්ලවරායන් සේවය කරන බවයි. මාරියෝ වෙල්ලවරායන් යනු හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකි. පසුව කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ ශාරීරික අභ්‍යාසක ලෙස හොඳ සේවයක් කරමින් සිටියදී පල නොකියා පලා බෙදීම නිසා අපේ රටෙන් ගොස් බංග්ලාදේශ පිලට එක් වූවෙකි.

චන්දික හතුරුසිංහ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක හා ශ්‍රී ලංකා සහාය පුහුණුකරු මෙන්ම වැඩිකලක් ශ්‍රී ලංකා “ඒ” පි‍ලේ ප්‍රධාන පුහුණුකරුය. තිලාන් සමරවීර බංග්ලාදේශයේ පිතිකරණ විශේෂඥ පුහුණුකරුය. මොවුන්ගේ දායකත්වයෙන් බංග්ලාදේශ පිල ප්‍රථම වරට අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන අවසන් පූර්ව වටයට මෙවර පැමිණි නිසා ශ්‍රී ලංකාවටද යම් ගෞරවයක් හිමිවේ. එහෙත් හතුරුසිංහ, මාරියෝ හා තිලාන්ගේ සේවය ශ්‍රී ලංකා පිලට නැති වීමද පාඩුවකි. මේ නිසා ලක්ෂ ගණන් වැටුප් ගෙවා විදෙස් සේවය මත යැපීමටත් සිදුව ඇත.

ශ්‍රී ලංකා පිලට දකුණු අප්‍රිකාවේ ග්‍රැහැම් ෆෝඩ්, නික් ‍පෝතාස්, ඇලන් ඩොනල්ඩ්, පුහුණු කරමින්, එංගලන්තය, ඔස්ට්‍රේලියාවෙන් ශාරීරික අභ්‍යාසකයන් ගෙනවිත් සේවය ලබා දුන්නද, ලැබෙන ප්‍රතිඵලය මෙය නම් ක්‍රීඩා බලධාරින් දෙවරක් සිතිය යුතුය. ඒ නිසා ක්‍රීඩා ඇමැතිතුමාගේ ප්‍රකාශය මේ අවස්ථාවේ අතිශය වැදගත්ය.

ධම්මික රත්නවීර