කැරම් කියන්නේ වැඩි දෙනාගේ අවධානයට යොමු වන ක්‍රීඩාවක් හැටියට සැලකෙන්නෙ නැහැ. ඒ වුණාට මේ සෙල්ලමෙන් අපි ලෝක ශූරතා පවා දිනලා තියෙනවා. වැඩි දෙනකුගේ අවධානය  යොමු නොවීමම සමහරෙකුට දැන් මේ සෙල්ලම හොඳ ඉල්ලමක් වෙලා. කාලයක් තිස්සේ මේ සෙල්ලම එක්තරා පවුලක් තනි අයිතියට ලියාගෙන තිබුන මතක ඇතිනෙ.

ඒ පවුල සබ්දයක් බද්දයක් නැතිව සෙල්ලම් බඩු වෙළෙඳාම් කරගෙන යස අගේට වැඩේ කරගෙන ගියා. නමුත් එකම සෙල්ලම හැමදාම බැහැ කියලා කතාවකුත් තියෙනවනෙ. ඒ හින්දද කොහෙද ඒ පවුල කරගෙන ගිය සෙල්ලම් බඩු වෙළෙඳාම මාට්ටු වෙලා සෙල්ලම් ගෙදරිනුත් යන්න වුණා.

ඊට පස්සේ කවුරුත් හිතුවේ දැන්වත් ඉතිං මේ ක්‍රීඩාව හරි ට්‍රැක් එකට වැටෙයි කියලයි. මොන පිස්සුද පුදන කොටම කාපි යකා කියලා බාගෙන කාපු එකා එලවගත්තට පස්සේ එතැනට රිංග ගත්තැයි කියමුකො ඉහගෙන කන එකෙක්.

මෙයාට හැමෝම කියන්න් ඕ. නටුන්න කියලලු. කලින් සිටිය ජෝඩුව වෙළඳාම කරගෙන ගිහින් තුබුණෙ සීරුවට මාරුවට උණාට මේ නැට්ටුවට නම් එහෙම ඉවසිල්ලක් නැති පාටයි. තව කීප දෙනකුගේ උපකාර ඇතිව කැරම් බෝඩ්, ඉත්තො, ඩික්ස් ඇතුළු ක්‍රීඩා උපරකණ වෙළෙඳාම දැන් මිනිහා හිටු කියල කරගෙන යනවලු. මේ වැඩේ හිරිකිතයක් නැතිවම කරනවයි කියන්නේ සංගම් මූලස්ථානය බලාගන්න බාර දීල තියෙන ‍ලේඩි වත් මේ බිස්නස්වලට සම්බන්ධ කරගෙනලු. කාට හරි ඉත්තො සෙට් එකක් එහෙම නැත්නම් හොඳ ඩික්ස් එකක් ගන්න ඕන නම් මූලස්ථානයට ගිහින් අර ‍ලේඩිට මුදල් ගෙවල භාණ්ඩ ලබාගන්න පුළුවන් කියන්නෙ.

ඒ  විතරක්ද සම්මේලනයට අනුබද්ධ දිස්ත්‍රික් සංගම්, ක්‍රීඩා සමාජ තරගාවලියක් සංවිධානය කළාම වෙනදට ඒකට අවශ්‍ය කැරම් බෝඩ්, උපකරණ කුලී පදනම මත ලබාදීල සම්මේලනය ලබාගත්ත ආදායමටත් මේ නැට්ටුව වැඩේ දීලලු. දැන් ඉතින් ඒ වගේ තරගාවලියකට භාණ්ඩ අවශ්‍ය නම් ගන්න වෙලා තියෙන්නෙ මේ නැට්ටුවගෙන් තමයි.

වැඩේට මිනිහ කොච්චර රහ වැටිලද කියනවා නම් මීළඟ වාරයෙත් මේකෙ ලියන මහත්තයා වෙන්න බලාගෙන නිලවරණයත් වංචනිකව පැවැත්වීමට සැලසුම් සකස් කරන බවත් ආරංචියි.

පසුගිය මැයි 26 වැනිදා මහ සභා රැස්වීමක් පවත්වන බවත් ඊට අනුබද්ධ සංගම් නියෝජිතයන් දෙදෙනකු බැගින් සහභාගි කරවන ලෙසත් ඉල්ලමින් තමන්ට හිතවත් සංගම්වලට මෙයා අප්‍රේල් 5 වැනිදා දාතමින් ලිපි භාරදීල තියෙනවලු. ඒ ලිපිවල සහභාගි කරවන නියෝජිතයන්ගේ නම් සටහන් කළ යුතු තැන් හිස්ව තබන ලෙසටත් උපදෙස් දීල තිබුණ කියලා තමයි දැනගන්න ලැබුණෙ.

නමුත් මේක පත්තු වුණා. ඊට පස්සෙ එයා අප්‍රේල් 18 දාතමින් සියලුම සංගම්වලට ලිපියක් යොමු කරලා. නමුත් ඒ ලිපියේ මැයි 26 වැනිදා මහ සභ රැස්වීමක් පවත්වන බවක් සඳහන් කරලවත් නැතිලු.

කොහොමද මිනිහගෙ වැඩ. ඔන්න දැන් විධායක සභාව අනුමත නොකළ අයවැය ‍ලේඛනයක් විගණනය කරන්නත් භාරදිල කියල තමයි ආරංචි.

ක්‍රීඩා අමාත්‍යාංශයෙ දිගු කාලයක් උසස් තනතුරක් දරලා විශ්‍රාම ගිය මහත්තයෙක් මේ ළඟකදි ආයෙත් උපදේශක තනතුරකට පත් වෙලා ඇවිල්ල ඉන්නවලු. එයා මෙයාගෙ ළඟම ඥාතියෙක් කියල දැන ගන්න ලැබුණා. ඉතිං ඒ නිසාද කොහොද මේ හැම නැටුමක්ම දැනට ක්‍රීඩා ඇමැතිතුමාට දැනගන්න ඉඩ නොතබා නටන්න මෙයාට අවස්ථාව ලැබිල තියෙනවලු.

– වලිවීර-