සරත් නිමල්සිරිගේ ගම වූයේ දිවලකඩ බෝත‍ලේය. මේ බෝත‍ලේම සරත් නිමල්සිරි ඇතුළු ගම්වැසියෝ මීට දස වසරකට පෙර මුළු ලෝකයම මවිත කරන්නට හැකි නිර්මාණයක් කළහ. සරත් නිමල්සිරි කියන පරිදි එය රසවත් ඉතිහාස කතාවකි.

සරත් සේවය කළේ වේයන්ගොඩ පෙහෙකම්හ‍ලේය. බෝත‍ලේ සිට දුර බැහැර නිසා සරත් බෝඩිං වුණේ වළං හදන ගෙයකයි. නිවාඩුවකට ගෙදර ආ වෙලාවක සරත් ගමේ සුසාන භූමිය අසලට ගියේ ඊට ටික දිනකට පෙර භූමදානය කර තිබු ඥාතියකුගේ මිනී වළ දැක ගැනීමටය. ඥාතියා ඉතා දුප්පත් නිසා භූමදානය කළ වළ වටේ එල්ලා තිබුණේ විනාස වැල්ය. අඩු වියදමකින් ගමේ කාටත් ආදාහනයක් කර ගැනීමට ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු යැයි සරත් තිර අදිටනක් කර ගත්තේ ඒ සුසාන භූමියේදීය.

යළි වේයන්ගොඩ සේවයට ගිය විට සරත්ට බෝඩිමේ වළං පුච්චන මැටි මැවී පෙනෙන්නට විය. තම තිර අදිටනයට යායුතු මාර්ගය අද තම බෝඩිමේ දි සාක්ෂාත් කර ගන්නා බව සරත් ඉටා ගත්තේ ය. වළං පුච්චන වෙලාවේ වෙනදාට වඩා සුපරීක්ෂාකාරීව ඒ දෙස එදා සරත් බලා හිටියේ ය. ඔහුගේ සිතේ අමුතුම අදහසක් හට ගත්තේ ය. අඩු වියදමකින් කර්කශ මැටි පිඩක් දවා පිච්චිය හැකි නම් මළ සිරුරක් ඉතා සුළු මුදලකින් දවාහළු කරගත නොහැක්කේ මන්දැයි ඔහු තනිවම තර්ක කරන්නට විය.

බෝඩිමෙන් නැවත බෝත‍ලේ ගෙදරට ගියවිට සරත් තම මිතුරන් සමග වැඩට බැස්සේ කාටත් කරන්නට යන්නේ කුමක්දැයි නොකියාය. ඔහුට ජේ.පී. රණවක මන්ත්‍රීතුමා මෙන්ම ජයන්ත, ජයසිරි, ඩෙරික් සහ සිරිල් ද සහාය වූයේ ය. ඇයි එතකොට එච්. ප්‍රේමදාස මතක් නොකළොත් හෙම තරහ වෙයි නේද?

මොවුන් මාස 6 ක් පුරා කළ නිර්මාණය උසින් අඩි 12 කි. පළල අඩි 6 කි. දිග අඩි 8 කි. වැඩේට ගිය මුළු වියදම රුපියල් 25,000 කි. සුසාන භූමියේ තිබුණේ ගරාවැටුණ රණසිංහ රාලහාමිගේ සොහොන්ගෙයි ගඩොල් ඉවත් කර වැඩේට යොදා ගැනීම නිසා වියදම තවත් අවම කරගත හැකි විය. රුපියල් 25,000 මුදල ප්‍රාදේශීය සභාවෙන් ගන්නට මුල් වුයේ ජේ. පී. රණවක මන්ත්‍රීතුමාය. වැඩේ ආරංචි වී ප්‍රාදේශීය සභා කිහිපයකම සභාපතිවරු පැමිණ ගනුදෙනු කතා කරන්නට වූහ. සරත් දැමු කොන්දේසිවලට බෝත‍ලේ වැසියන් කැමැති වුණේ එක් කොන්දේසියක් මතය.

කොන්දේසිය වුණේ ආදාහනාගාරය විවෘත කරන උත්සවයේ දී තමන්ට කතාවක් පැවැත්වීමට අවස්ථාවක් දිය යුතු බවය.

“අපි ලක්ෂ දෙකක් වියදම ඉල්ලුවම ලක්ෂ හතරකට බිලක් ඉල්ලුවා. අපි කතාව ඉල්ලුවේ මිනියෙනුත් ගසාකන මේ අමනයන් ගැන කියන්න. වැඩේ කොටඋඩ ගියා.”
දැනට බස්නාහිර පළාත පුරා ගොඩනගා ඇති ආදාහනාගාරයකට යන වියදම මිලියන දහයකට හෙවත් කෝටියකට ආසන්නය. ආදාහනාගාර ගණන කෝටියෙන් වැඩි කළ විට ඒ සඳහා ගිය වියදම බලාගත හැකිය. මේවා බොහෝමයක් භාවිත කරන්නේ ගෑස්ය. ගෑස් වියදමත්, මේ මුළුමනින් ආනයනික යන්ත්‍ර සූත්‍රත් බැලූ විට මිනියක් දැවීමට කාබාසිනියා කරන ධනස්කන්ධය සොයා ගැනීමට ඔබට අසීරු කටයුත්තක් නොවේ.

2002 දී නිමා වූ මෙම ආදාහනාගාරය අද දක්වා නඩත්තුවට සතයකද මුදලක් වැය කොට නැත. ආදාහනාගාරය නිමැවුමට යොදාගත් අමුද්‍රව්‍ය වූයේ හුඹස් මැටි, දහයියා, අමුගොම, ගොඩ‍පොර ඉස්ම, දවුල්, ඉඟුරු ඉස්ම වැනි ගමෙන් සොයාගත හැකි දේවල් 20 කි. එක් ආනයනික අමුද්‍රව්‍යයක් හෝ භාවිත කොට නැත. එය හැදීමේදී ගමේ උදවිය පාවිච්චි කළේ ද ගමේ හොඳ “ලෝකල් බඩු” බව නොකිවහොත් එයද අඩුපාඩුවකි.

ආදාහනාගාරයේ ගැඹුර අඩි 6කි. ආදාහනයට භාවිත කරන අමුද්‍රව්‍ය, ‍පොල්කටු, ‍පොල්ලෙලි සහ භූමිතෙල් ලීටර් 4කි. ආදාහනාගාරය සුදානම් වුවද එහි ආදාහනය කරන්නට කවුරුත් ඉදිරිපත් නොවූහ.

මේ අවස්ථාවේ පෙරට ආවේ බ්‍රිගේඩියර් ජයතිලකය. ඔහුගේ බිරිඳ වූයේ ගුරු මාතාවක් වූ ශ්‍යාමලී රණවකය. මේ ඇමැති චම්පික රණවකගේ බාප්පාගේ දුවය. මුලින්ම දවන ලද්දේ ඇගේ සිරුරයි. මේ ආදාහනය කාටත් අදහාගත නොහැකි කටයුත්තක් නිසා බොහෝ දෙනා ආදාහනය දෙස විස්මයෙන් බලා සිටින්නට වූහ. දේහය ආදාහනාගාරය තුළට ගන්නා විට ඇතුළේ සිටි දෙදෙනකුද සහාය වූ බැවින් බොහෝ දෙනා විමතියට පත් වූහ. ගිනිදැල් වීමෙන් පසු කමෛන් ගිනිදලු උඩට නැගී ආදාහනාගරය මත සීල් තැබූ ආවරණය ස්වයංක්‍රීයව ඉවත් වන්නේ ගිනිදැල් ඉහළට නැගීමටය. දවා හළුවීමට ආදාහනාගාරයට ගත වන්නේ විනාඩි ගණනකි. ගාස්තු අය කරන්නේ නැත.

පළමු දේහය ආදාහනයත් සමගම දසදෙසින් දේහයන් ආදාහනයට ගලා එන්නට විය. පනස්වැනි දේහය ආදාහනයට ඇති වූයේ එකම ගාලගෝට්ටියකි. දිනපතා දේහයන් ගෙන ඒම අන්තිමේ ගම්වැසියන්ට මහත් හිසරදයක් විය. ඔවුන් එක් වී 50 වැනි දේහය ආදාහනයට තිබූ අමුද්‍රව්‍ය ගිනිබත් කරන ලදී. ගෝරිය බුලත්සිංහල නගර සභාවේ සභාපති දොස්තර සිරිල් මැදිහත් වී ආදාහනාගාරය සීල් තබන ලදී. නමුත් පසුව තුසිත කුලරත්න සභාපති වූ පසු එම තහනම ඉවත්කරන ලදී. දැන් බෝත‍ලේ ගම ග්‍රාමසේවා වසමෙන් පිට දේහයන් භාර නොගන්නේ එය කාර්යබහුල කටයුත්තක් නිසාය.

මේ නිර්මාණයට දැන් පේටන්ට් බලපත්‍රයක් ගන්නට සියලු කටයුතු සූදානම්ය. ලාබෙට ආදාහන කටයුතු කරගත හැකි නිසා ඔබද හනිකට මැරෙන්නට නොසිතිය යුතුය. නගර සභාවල කොමිස් කාක්කන් මෙවැනි දේශීය නිර්මාණ (ඊටත් වඩා පරිසර හිතකාමී ක්‍රමවේදයක්) අතැර කොමිස් කුට්ටි මතම යැපුණත් 125 වැනි වරට පසුගිය සඳුදා හිමිනමකගේ ආදාහන පූජෝත්සවය සිදු කරන ලදී. එහිදී ආදාහනය වෙනුවෙන් කතාවක් පැවැත් වූ සරත් කියා සිටියේ එය තමන්ට මහත් ගෞරවයක් බවය.

බි. වී. ලියනගේ