එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් (Peace Keeping) සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට මග පෑදීමත් සමග එය මැද පෙරදිග රැකියාවල නිරතවන්නන්ගෙන් රටට ලැබෙන විදේශ විනිමයටත් වඩා මුදල් ගලා එන උල්පතක් බවට පත්විය.

යුද බිමේ විශාල කැපකිරීමක් කළ හමුදා නිලධාරීන්ට හා සෙබළුන්ට ද සාම සාධක මෙහෙයුම් සඳහා ඉඩකඩ ලැබෙන්නෙත් මේ අනුවය. පාබළ බළඇණි සමග අනෙක් රෙජිමේන්තුවල භටපිරිස්වලට ද මේ සඳහා යාමට අවකාශ ලැබුණේය. තමන්ටම කියා ගෙයක් දොරක්  හදාගන්නට, වාහනයක්, ඉඩමක් ගන්නට පවා බොහෝ දෙනකුට හැකි වූයේ සාමසාධක මෙහෙයුම්වලට ගොස් ඉතිරි කරගත් මුදලිනි. මෙම මෙහෙයුම්වලට එක්වූ අයට පමණක් නොව සෙබළුන්ට ලැබෙන වැටුපෙන් කොටසක් රජයට ගැනීමෙන් රජයට ද විශාල මුදල් කන්දරාවක් ඉතිරි වූයේය.

හයිටියේ සාම සාධක මෙහෙයුම්වලට දායක වූ ශ්‍රී ලංකා හමුදා පිරිස් තම දක්ෂතා හා අත්දැකීම් උපයෝගී කරගෙන කළ මෙහෙවර නිසා ශ්‍රී ලංකා හමුදාවන්ට සාම සාධක මෙහෙයුම් සඳහා වැඩි ඉල්ලුමක් ලැබුණේය.

මෙවන් වටපිටාවක දකුණු අප්‍රිකාවේ මාලි දේශයේ සාම සාධක මෙහෙයුම්වලට (ඥචජඥ ම්ඥඥනඪදඨ) වඩා බැරෑරුම් කාර්යයක් වන සාමය ස්ථාපිත කරවීමේ (ඥචජඥ ජ්දටධපජථඥදබ) මෙහෙයුම් සඳහා වන අභියෝගය ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත පැවරෙන්නේය.

සාම සාධක මෙහෙයුම්වලට වඩා වැඩි බලතල එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන්ම ලබාදී ඇති මෙම මෙහෙයුම්වල දී සතුරාට පහරදී හෝ සාමය ස්ථාපිත කිරීමේ වගකීම ඒ සඳහා යන හමුදාවන්ට පැවරෙන්නේය. ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා වූ වැඩි බලතල එයින් ලබාදී ඇත්තේය.

සංග්‍රාමික ප්‍රවාහන බළඇණිය (ඛිධථඡචබ ඛිධදමධර ඕචබබචතඪධද) නමින් බළඇණියක් මාලිවලට යැවීම සඳහා ශ්‍රී ලංකා රජයට පසුගිය වසර වන විට අවස්ථාව උදා වී තිබුණේය. කෙසේ වුවද ඒ සඳහා වෙඩි නොවදින වාහන, යුද ටැංකි, සෙබළුන් එහා මෙහා ගෙන යා හැකි ඩබ්ලිව්.එම්.ඉසෙඩ්, බි.ටී.ආර්. රථ මෙන්ම ජංගම මුළුතැන්ගෙය ඇති රථය පවා වෙඩි නොවදින ලෙස සකස්කර තිබිය යුතු විය.

එක්සත් ජාතීන් නියම කළ ප්‍රමිතියට අනුව බළඇණියක් සතු බඩු බාහිරාදිය (ඛිජ්) පවා තිබිය යුතු අතර පතරොමේ සිට රැගෙන යන සෑම උපකරණයකටම එක්සත් ජාතීන්ගේ සංවිධානය මුදල් ගෙවන්නේය.

ශ්‍රී ලංකා හමුදාවට පැවරුණේ උතුරු මාලිවල පිහිටි එක්සත් ජාතීන්ගේ හමුදාවට කඳවුරුවලට බටහිර සහරා කාන්තාරය හරහා මසකට තුන්වතාවක් ආහාරපාන ඇතුළු සියලු ආම්පන්න රැගෙන යාමේ අති දුෂ්කර මෙහෙයුමකි.

මෙය අති දුෂ්කර වනුයේ සහරා කාන්තාරයේ වැලි කුණාටු, අධික උෂ්ණත්වය මෙන්ම වැසි කාලවලට නයිල් ගඟ උතුරා මඩ ගොහුරක් බවට ද පත්වන නිසාය. මෙය බැරෑරුම් කාර්යයක් වන්නේ එරට හමුදාවලින් පැනගිය මෙන්ම බොකෝහරාම්, අල්කයිඩා වැනි සංවිධානවලින් කැඩීගිය ත්‍රස්තවාදීන් නවීන අවි ආයුධවලින් සන්නද්ධව මෙම රථ පෙළට පහරදී මංකොල්ලකෑමය. මෙම ත්‍රස්තයින්ගේ ප්‍රහාරවලින් 2014 සිට මේ දක්වා සාම සාධක මෙහෙයුම්වලට ගිය විදේශ හමුදාවල අසූ දෙදෙනකු මියගොස් ඇත.

මේ සියලු අභියෝග භාරගෙන පසුගිය වසරේ මාලි බලා යාමට සියල්ල සූදානම් කළ ද එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුම් දුන් කාලසීමාව තුළ ශ්‍රී ලංකා රජයට රුසියාව ඇතුළු රටවලින් සන්නද්ධ රථ හා ආයුධ ආම්පන්න ලබාගැනීමට අපහසු වීමෙන් එම මෙහෙයුමේ කොටසක් ඊජිප්තු හා බංගලිදේශ රටවල හමුදාවන්ට පැවරෙන්නේය.

කෙසේ වුවද මේ වන විට එම රටවල්වල සෙබළුන්ට මාලි සාම සාධක මෙහෙයුම කරගත නොහැකි තත්ත්වයට පත්ව ඇති නිසා ශ්‍රී ලංකා රජයට යළිත් අවස්ථාව උදාවෙමින් තිබෙන්නේය. ඒ ලොව දරුණුම ත්‍රස්ත සංවිධානයක් වූ එල්ටීටීඊ සංවිධානය සමග ගරිල්ලා සටන්වලට මුහුණ දී ශ්‍රී ලංකා හමුදාව ලබාගෙන ඇති අත්දැකීම් සම්භාරයත් සමගය.

ශ්‍රී ලංකා හමුදාවට යළි උදා වූ මාලි මෙහෙයුම් සඳහා එක්වීමට ආරක්ෂක අමාත්‍යාංශය මගින් රුපියල් බිලියන 11.5ක් වෙන්කරනු ලබන්නේ මෙහෙයුම සඳහා අවශ්‍ය යුද ආම්පන්න ගැනීමටය. මේ අනුව බි.ටී.ආර්. සන්නද්ධ රථ මෙන්ම නියමුවන් රහිත ඔත්තුබලන යානා ඇතුළු ආම්පන්න ද මිලදී ගන්නේය. මේ සඳහා වියදම් කළ මුදල යළි රජයට ලබා ගත හැක්කේ වසර දාහතරක් අපේ හමුදා භටපිරිස් එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා යෙදවීමෙන් පමණි.

එසේ තිබිය දී මාලි මෙහෙයුම සඳහා එක්සත් ජාතීන් කොන්දේසි පනවන්නේ ශ්‍රී ලංකා රජය දැඩි අපහසුතාවට පත් කරවමිනි.

මෙම මෙහෙයුමට එක්වීම සඳහා හමුදාවේ ලැයිස්තු සකස් කළේ  ද මීට පෙර කිසිදු චෝදනාවකට හෝ හමුදා පනත යටතේ වරදකරුවන් නොවූ අය තෝරා ගනිමිනි. එසේ තෝරාගත් ලැයිස්තුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමු කළ නම් දෙසීයක් හදිසියේ කප්පාදුවට ලක්වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතිනි. එම ලැයිස්තුවේ හතළිස් දෙනකු හැර සියලු දෙනාම කැපී යන්නේ නොසිතූ අන්දමිනි. උතුරු නැගෙනහිර රාජකාරි කළ පිරිස් මෙසේ කපා හැරෙන්නේ උතුරු නැගෙනහිර සේවය කළ වරද පිට පටවමිනි.

කොටි ත්‍රස්තවාදීන්ගේ ත්‍රස්ත පාලනයෙන් උතුරු නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමට එක්වූ පාබල මෙන්ම අනෙක් රෙජිමේන්තුවල අය ද මෙම කප්පාදුවට ලක්වෙති.

ඉන් පසු යවන ලද තවත් හාරසියයක ලැයිස්තුවට ද අත්වූයේ එම ඉරණමම ය. එම ලැයිස්තුවේ නම් කැපී යන්නේත් උතුරු නැගෙනහිර සේවය කළ වරදටමය. එක්සත් ජාතීන්ගේ කොන්දේසිය වූයේ යුද්ධය පැවැති කලාපවල රාජකාරි කළ කිසිවකුවත් ඇතුළත් නොකළ යුතුය යන්නය.

මෙම තත්ත්වය තුළ යුද හමුදාවේ සැරයන්වරයකුවත් මෙහෙයුම්වලට යැවිය නොහැකිය. ඒ ඔවුන්ගෙන් බහුතරයක් අවුරුදු අටක කාලසීමාවක් යුද කලාපවල රාජකාරි කළ නිසාය.

මෙම තත්ත්වය නිසා මෙම මෙහෙයුමේ අණදෙන්නා ලෙස යාමට සිටි කර්නල් සාමන්ත වික්‍රමසේනගේ නම ද කැපී යන්නේ යුද මෙහෙයුම් පැවැති කලාපවල රාජකාරි කිරීම වරදක් ලෙස සලකාය.

මේ අයුරින් මාලි මෙහෙයුමට යැවීමට නිලධාරීන් හා සෙබළුන් 212ක් තෝරා ගැනීමට වූ ප්‍රශ්නය නිසා අවසානයේ ලබන සතියේ 20දාට යොදාගෙන තිබූ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ගේ පරීක්ෂණ චාරිකාව ද අවලංගු කර තිබිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය නියම කළ ප්‍රමිතියට බළඇණියක් සතු බඩු බාහිරාදිය නිරීක්ෂණය කිරීමේ නිල චාරිකාව අවලංගු කර ඇත්තේ මාලි දේශයට යවන සෙබළුන්ගේ ලැයිස්තුව සකස් කරදෙන තුරුය.

සාම සාධක මෙහෙයුමට යන ලැයිස්තුවේ අර්බුදය හමුවේ දැන් ඉතිරිව ඇත්තේ කිසිදා යුද මෙහෙයුම්වලට නොගිය කොළඹ රාජකාරි කළ කණ්ඩායම් පමණක් පිටත්කර යැවීම පමණි. යුද ගැටුම් ඇතිවන ප්‍රදේශවල මෙහෙයුම් සඳහා ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධ අත්දැකීම් නොමැති සෙබළ කණ්ඩායම් පිටත් කර යැවීම අවදානමක් මෙන්ම යම්කිසි ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වුවහොත් එහි අපකීර්තිය ද ශ්‍රී ලංකා හමුදාවන්ට එල්ල වන්නේය.

යුද, ගුවන්, නාවික බලයක් සහිත ත්‍රස්තවාදී ගරිල්ලා හමුදාවක් පරාජය කර ලොව නමක් දිනාගත් ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා නගන ජාත්‍යන්තර බලවේග දැන් සූදානම් වන්නේ ශ්‍රී ලංකා හමුදාව දිනාගත් නම ද අපකීර්තියට ලක් කිරීමටය.

මාලි සාම සාධක මෙහෙයුම්වල දී මීට පෙර විදේශ රටවල හමුදා සෙබළුන් අසූවක් මියගොස් එක්සත් ජාතීන්ගේ අවි ආයුධ හා භාණ්ඩ ත්‍රස්තයන් අතට පත්වන්නට මූලික හේතුව සොයාගනු ලබන්නේ ද මාලි මෙහෙයුමට යාමට පෙර භූමිය නිරීක්ෂණය සඳහා ගිය ශ්‍රී ලංකා හමුදාවේ නිලධාරීන් විසිනි. එක්සත් ජාතීන්ගේ කඳවුරුවලට සැපයුම් රැගෙන කාන්තාර ඔස්සේ යන රථ පෙළ සඳහා රියැදුරන් ලෙස යොදාගත් සිවිල් රියැදුරන් එරට ත්‍රස්තයන් සමග සබඳතා පවත්වමින් තොරතුරු දෙන බවත්, ත්‍රස්තයින් ප්‍රහාරයක් එල්ල කළ සැණින් මෙකී රියැදුරන් හමුදාවන් කොටුවන ලෙස වාහන දමා පලායන බවත් හෙළි කරගන්නේ මෙරටින් ගිය හමුදා කණ්ඩායම්ය. ඒ නිසාම මෙම මෙහෙයුම සඳහා හමුදා රියැදුරන්ම යෙදවීමට යෝජනා කරන්නේ ද ශ්‍රී ලංකා හමුදාවන්ය.

මේ සියලු කාරණා මැද එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කරන්නේ යුද අත්දැකීම් නොමැති හමුදා සාමාජිකයන් එරටට ගෙන්වා ගැනීමටය. ජීවිත අවදානමක් මැද කරන හමුදා මෙහෙයුම් සඳහා පිටත්කර යවන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීමේ බලය බලධාරීන් අතට නොගතහොත් ඉදිරියේ දී අපට තවත් අභියෝගවලට මුහුණදීමට  සිදුවිය හැකිය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com