සෞදි අරාබියේ නායකත්වයෙන් යුතුව මැද පෙරදිග රටවල් කීපයක් කටාර් රාජ්‍යය රාජ්‍යතාන්ත්‍රිකව කොටු කිරීම සඳහා මෙයට සති දෙකකට පමණ පෙර ක්‍රියාත්මක කළ මෙහෙයුම තවම ක්‍රියාත්මක වෙමින් පවතී. තුර්කිය, කුවේටය යන රටවල් අර්බුදය සඳහා ඉදිරිපත් වුවද තවම සැලකිය යුතු ප්‍රගතියක් ලබා නොමැති බව පෙනේ.

සෞදි අරාබිය ඇතුළු කණ්ඩායම චෝදනා කරන්නේ අල් නුස්රා වැනි අල්ඛයිඩා ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ කණ්ඩායම්වලට සේම පලස්තීනයේ හමාස් සංවිධානයට කටාරය ඉහළින් අනුග්‍රහය දක්වන බවය. මෙයට අමතරව ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික හා ආරක්ෂක පදනමින් කටාරය, ඉරානය සමග පවත්වන සබඳතාද එරට ට එරෙහිව මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට බලපෑ ප්‍රධාන හේතුවකි. කටාරය අනෙක් මුස්ලිම් රටවලට වෙනස්ව අලුත් මගක් ගැනීම කලක් තිස්සේ අවධානයට ලක්වූ කරුණකි.

අන්තර්ජාතික දේශපාලන ආරංචි මාර්ග අනුව කටාරය හුදකලා කිරීම පිටුපස ඇමෙරිකාව සේම ඊශ්‍රායලයද ප්‍රමුඛ කාර්යභාරයක් කර තිබේ. එකී ආරංචි මාර්ග අනුව ඊශ්‍රායලය මීට මාස කිහිපයකට පෙර සිට කටාරයට එරෙහිව අන්තර්ජාතික සැලසුමක් සකස් කර ඇත. එයට ප්‍රධාන හේතුව හමාස් සංවිධානයට කටාරය උදව් කිරීමය. කෙසේ වුවද ත්‍රස්තවාදී සංවිධානවලට උදව් නොකළ බව කටාරය දිගින් දිගටම අවධාරණය කරයි. අනෙක් අතට පලස්තීන හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක්ද යන ගැටලුව විචාරකයන් මතු කරන තර්කයකි.

කටාරය ප්‍රධාන පෙළේ බොරතෙල් සහ ස්වභාවික ගෑස් අපනයනකරුවෙකි. එහෙයින් එය මෑත කාලයේ සිට ධනවත් රාජ්‍යයක් සේ හිස එසැවීය. එනිසා කටාරය තවම අර්බුදය හමුවේ ශක්තිමත්ව සිටී. කටාරය ආර්ථික වශයෙන් මෙසේ ශක්තිමත් පිම්මක් පැනීම නිසා එරට සමග ලෝකයේ රටවල් රැසක් ආර්ථික වශයෙන් සබඳතා ඇතිකරගෙන සිටී. එනිසා ජර්මනිය ඇතුළු රටවල්ද අර්බුදය විසඳීම සඳහා යම් යම් මැදිහත්වීම් කරමින් සිටියි. ජර්මානු විදේශ ඇමැතිවරයා නම් ප්‍රකාශ කළේ කටාර අර්බුදය දුරදිග ගියහොත් එය ගල්ෆ් යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බවය.
රුසියාව, ඉරානය, තුර්කිය ඇතුළු රටවල්ද කටාරයට සෘජුවම සහයෝගය පළ කිරීමට ඉදිරිපත් වීම එරටට ප්‍රබල ශක්තියක් වී තිබේ.

සෞදියට ඉතාම සමීප රටක් වන කටාරය තම ආහාරපාන අවශ්‍යතා බෙහෙවින් සපුරා ගත්තේ සෞදියෙන් අපනයන කරන ආහාරපාන ද්‍රව්‍යවලිනි. දිනකට කටාර් ට්‍රක් රථ හත් අටසීයක් ගොඩබිම මගින් සෞදි අරාබියට ගමන් කළේ ආහාරපාන ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අපනයනය කිරීමටය. දැන් ඒ සියල්ල නතර වී ඇත. එහෙත් තුර්කිය මේ වනවිට සැලකිය යුතු ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් කටාරයට අපනයනය කර ඇත. ඉරානයද ආහාරපාන සැපයීමට ඉදිරිපත් වී සිටී. ඕමානය, කටාරයට අතහිත දීමට පියවර ගෙන තිබිමද විශේෂ කරුණකි.

එසේම කටාර විදේශ අමාත්‍යාංශ බලධාරීන් අර්බුදය ආරම්භ වූ අවස්ථාවේදීම එරට වෙසෙන විදෙස් තානාපතිවරුන් කැඳවා ප්‍රකාශ කළේ මාස කීපයකට සරිලන ආහාර සංචිතයක් තම රට සතුව ඇතැයි කියාය. කටාර් වැසියන්ට වඩා වාසය කරන්නේ ඉන්දියාව, ලංකාව වැනි රටවලින් පැමිණි ශ්‍රමිකයන්ය. එහෙයින් යම් ආහාර අර්බුදයක් මතුවුවහොත් එහි සෘජු බලපෑමට ශ්‍රමිකයන් ලක්වනු ඇත. සමහර ආරංචි මාර්ග අනුව නම් කටාරයෙහි සේවයට පැමිණ සිටින වෘත්තීයවේදීන්ට ආහාරපානවලින් ගැටලුවක් ඇති නොවූවද කම්කරු රැකියාවල නිරත විදෙස් ශ්‍රමිකයන් ආහාරපාන අර්බුදයට ලක්වීමේ අවදානමක් තිබේ. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1,20,000ක් කටාරයේ සේවය කරති. එසේ වුවද මෙරට ආණ්ඩුවේ ප්‍රකාශකයන් මේ පිළිබඳ එක් අදහසක් ප්‍රකාශ නොකරන අවස්ථා තිබේ. ආණ්ඩුවේ සමහර ප්‍රකාශකයන් සඳහන් කරන්නේ 1,40,000ක් තරම් ප්‍රමාණයක් කටාර්හි සේවය කරන බවය. කටාරයේ ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ නම් අන්තර්ජාතික මාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණේ කටාර් අර්බුදයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අර්බුදයකට ලක්වීමේ ඉඩකඩක් තවම නැතැයි කියාය. ඒ සඳහා ඔහු පදනම් කරගන්නේ කටාර් විදේශ අමාත්‍යාංශය විදේශ තානාපතිවරුන් කැඳවා එරට ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ලබාදුන් සහතිකය විය හැකිය. එසේ වුවද මෙරට ආණ්ඩුව කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ජීවිත හා ආහාරපාන සුරක්ෂිතතාව පිළිබඳව සැලසුම් සහගත අවධානයක් දැක්විය යුතු බව පෙනේ. එයට හේතුව මැදපෙරදිග අර්බුද යුද ගැටුම්වලින් අවසන් වීමට බෙහෙවින් ඉඩකඩ තිබිමය. අනෙක ඊශ්‍රායලය බඳු කටාරයට එරෙහිව සැලකිය යුතු විරෝධයක් දක්වන රණකාමී රටක් කටාර් අර්බුදය පිටුපස සිටින බව අප අමතක නොකළ යුතුය.

තවම කටුනායක හා දෝහා අතර ගුවන් ගමන් සිදුවේ. මෙහි ඉදිරි තත්ත්වය කෙබඳු විය හැකිදැයි තවම අනාවැකි පළ කළ නොහැකිය. විදෙස් රැකියා විෂය භාර ඇමැතිනී තලතා අතුකෝරාල නම් ප්‍රකාශ කළේ කටාර්හි වාසය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ජීවිත අවදානමකට වැටුණොත් ඔවුන් ගෙන්වා ගැනීම සඳහා පියවර ගන්නා බවය.

ඇය එසේ ප්‍රකාශ කළද ලක්ෂයකට අධික ශ්‍රමිකයන් පිරිසක් යම් හදිසි අවස්ථාවකදී මෙරටට ගෙන්වා ගැනීමට රජයට ඉතා පුළුල් වැඩපිළිවෙළක් තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයද ප්‍රකාශ කරන්නේ කටාර් අර්බුදයෙන් තවම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට බලපෑමක් නැති බවය. එසේ නමුදු කටාර් අර්බුදය වර්ධනය වීම යනු එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලු දෙනාම අර්බුදයට හේතු වන බව අප අමතක කළ යුතු නැත.

මේ අර්බුදය හේතුවෙන් කටාර් මුදල් ඒකකයේද අගය පහත වැටෙමින් තිබේ. යුරෝපීය රටවලින් මුදල් ලැබේ යැයි මෙරට බලධාරීන් බලා‍පොරොත්තු තබාගත්තද තවම අප විදේශ සංචිත ප්‍රමාණය පිරිමසා ගන්නේ මැදපෙරදිග රටවලින් ලැබෙන මුදල්වලිනි. එනිසා කටාර් අර්බුදය දුරදිග ගියහොත් මෙරට විදේශ විනිමයටද එය බලපෑම නොවැළැක්විය නොහැකිය. එය කිසිසේත් මෙරට ආර්ථිකයට ගුණදායක නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. ජී.එස්.පී. ප්ලස් සහනය මෙරටට ලැබුණද එහි ප්‍රතිලාභ ලැබිමට තව කලක් ගතවනු ඇත. මේවාට අමතරව කටාරයේ වැඩකරන ශ්‍රමිකයන් එවන මුදලින් යැපෙන සැලකිය යුතු පවුල් ප්‍රමාණයක් සිටී. ඉදිරියේදී කටාරයෙන් එවන මුදල් පමාවීම හෝ අඩාළ වීම එම පවුල්වලට දැඩිව බලපානු ඇත.

ශ්‍රමිකයන්ට වැටුප් ලැබිමද යම් අවදානමකට ලක්විය හැකි කරුණකි. මේවා විසඳා ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට පුළුල් වැඩපිළිවෙළක් තිබිය යුතුය. අනෙක යම් හෙයකින් යුද ගැටුමක් උද්ගත වුවහොත් ශ්‍රමිකයන් වහා ගෙන්වා ගැනීමට තිබෙන වැඩපිළිවෙළ කුමක්ද යන්න විමසිය යුතු කරුණකි.

කටාර් අර්බුදය කෙබඳු තැනකට යොමුවේදැයි අපට තවම අනාවැකි පළ කළ නොහැකිය. එයට හේතුව මේ අර්බුදයේ ගමන් මග ඇමෙරිකාව, ඊශ්‍රායලය, සෞදිය ඇතුළු රටවල් දක්වන ප්‍රතිචාර මත තීරණය වන හෙයිනි. මෙහිලා ඇත්තේ ඉතාම සංකීර්ණ තත්ත්වයකි. නිදර්ශනයක් වශයෙන් අර්බුදය අස්සේ ඇමෙරිකාව කටාරයට ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක් පමණ වටිනා ප්‍රහාරක ජෙට් යානා අලෙවි කිරීමේ මූලික එකඟතාවලටද පැමිණ ඇත. එයට පෙර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබිය සමග ඇමෙරිකානු ඩොලර් බිලියන 100ක් පමණ වටිනා අවි ගනුදෙනු පිළිබඳ එකඟතාවකට එළැඹි බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙමගින් පෙනෙන්නේ ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් කටාරය සහ සෞදි අරාබිය අතර ගැටුමක් නිර්මාණය කර එමගින් තම අවි ආයුධ විකිණීම සඳහා වෙළෙඳ‍පොළක් නිර්මාණය කරගැනීමට සූදානම් වන බවය. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ලෝකයේ ප්‍රමුඛ පෙළේ අවි ආයුධ ජාවාරම්කාර රටවල්ය. මේ වනවිට ඇමෙරිකානු ආර්ථිකය තිබෙන්නේද එතරම් හොඳ මට්ටමක නොවේ. එවැනි පසුබිමක මැදපෙරදිග යුදබිමක් නිර්මාණය වීම ඇමෙරිකාව ඇතුළු රටවලට ඉතා වාසි සහගත විය හැකිය.

ශ්‍රී ලංකා ආණ්ඩුව මෙවැනි පුළුල් ප්‍රවේශයකින් කටාර් අර්බුදයේ දිග පළල කෙරෙහි අවධානය යොමුකළ යුතුය. එසේ නොවුණහොත් එමගින් අපට වන බලපෑම සුවිසල් එකක් වනු ඇත. එනිසා අර්බුදය අධි තක්සේරු කිරීමෙන් හෝ අවතක්සේරු කිරීමෙන් මිදී යථාර්ථවාදීව කරුණු සලකා බැලීම මගින් අපට යම් සහනයක් ලබාගත හැකි වනු ඇත.

වරුණ අබේසේකර