රටේ දේශපාලන හා ආර්ථික කරුණු පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සමග කළ කතාබහකි.

ප්‍ර – මොකද ඒකාබද්ධ විපක්ෂය නිහඬ?
පි – නිහඬ නෑ. ඒත් ඉතින් ගංවතුර එහෙම ගලලා ඒවාට ආධාර උපකාර කරලා ඒ මැදිහත්වීම් කරපු නිසා පුංචි නිහඬ බවක් තියෙනවා. ඒත් ඒක නිහඬතාවයක්ම ‍නෙවෙයි. තාම හොඳ මාතෘකාවක් එළියට ආවේ නෑ. හෙට අනිද්දට මාතෘකාවක් එළියට ඒවි.

ප්‍ර – ආණ්ඩුව එහෙම මාතෘකාවක් දුන්නම ඒකාබද්ධ විපක්ෂය ඒක අල්ලගෙන කෑගහනවා. ඇයි වෙනත් වැඩපිළිවෙළක් නැද්ද?
පි – අපිට වැඩපිළිවෙළක් නෑ කියලා කියන්න බෑ. අපි මේ රටේ බහුතර මහජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා. අපි තමයි ජනතා ප්‍රශ්න වෙනුවෙන් ඉදිරියට ඇවිත් කතා කරන එකම කණ්ඩායම. අපි තමයි මුදල් ඇමැතිට එරෙහිව විශාල හඬක් නැගුවේ. ඒ වගේ අපි ලොකු කාර්යභාරයක් මේ රට වෙනුවෙන් අපි කටයුතු කරනවා. දැන් ඔය විපක්ෂය කියලා කියාගන්න කණ්ඩායම ආණ්ඩුවේම කොටසක් වගේනේ. අපි එහෙම නෑ. අපි හැම මොහොතකදීම ජනතාව වෙනුවෙන්, මේ රට වෙනුවෙන් අපේ කාර්යභාරය ඉටු කරනවා.

ප්‍ර – ඒකාබද්ධ විපක්ෂය නැන්දම්මගේ චරිතය කියලා ආණ්ඩු පක්ෂය චෝදනා කරනවා. කතාව ඇත්ත නේද?
පි – නෑ, අපි හොඳ දේට හොඳයි කියලා කියනවා. අපිට හොඳ දේට හොඳයි කියන්නත්, වැරදි දේට වැරදියි කියන්නත් හොඳට දිව නැවෙනවා. ඔය චෝදනා මේ රටේ මිනිස්සු ගණන් ගන්නේ නෑ. අද රටේ ජනතාව දන්නවා ඒ අය වෙනුවෙන් සැබෑවටම පෙනී ඉන්නේ කවුද කියලා.

ප්‍ර – පළාත් පාලන මැතිවරණයත් දිගටම කල් යනවා. ඇයි ඔබ කණ්ඩායම මුනිවත රකින්නේ?
පි – අපි දැනට කොච්චර නම් කතා කරනවාද? අපි මොන තරම් බලපෑම් කරනවාද? මේ ආණ්ඩුවට, මැතිවරණ කොමසාරිස්ට, හැම කෙනාටම කීවා. උද්ඝෝෂණ කළා, සම්මන්ත්‍රණ තිබ්බා. වැඩියෙන්ම කෑගැහුවේ මැදිහත් වුණේ ඒකාබද්ධ විපක්ෂය තමා.

ප්‍ර – මේ වර්ෂයේදී පළාත් පාලන මැතිවරණය තියන්න ආණ්ඩුව සූදානම්ලු. ඔබ කණ්ඩායම මැතිවරණයට සූදානම්ද?
පි – ඒක අහන්නත් සන්තෝසයි. අපි ඕනම මැතිවරණයකට සූදානම්. අපිට අවශ්‍ය කරන්නේ ඉක්මනින් පළාත් පාලන මැතිවරණයට යන්න. මොකද පළාත් පාලන ආයතන නැතිකම ලොකු පාඩුවක්. දැන් බලන්න ගංවතුර උවදුර වෙලාවෙදි පළාත් පාලන ආයතන තිබුණා නම් ලොකු දෙයක් සිද්ධ වෙනවා. සාමූහික වගකීම සභාපතිගේ ඉඳලා මන්ත්‍රීවරු හැමෝම ඒ වගකීම ගන්නවා.

ප්‍ර – ඒකාබද්ධ කණ්ඩායම ශ්‍රීලනිපය සමග එකතු වෙලා මැතිවරණයට යන්න සූදානම් කියලත් මතයක් තිබෙනවා?
පි – නෑ, ඒක අසත්‍යයක්. අපිට එහෙම ආරාධනයක් ලැබිලත් නෑ. අනිත් එක අපේ ඒකාබද්ධ විපක්ෂය ඒ තැනට තාම ඇවිත් නෑ. එක පාරක් බැට කාපු නිසා මහ මැතිවරණයෙන් දැන් බොහොම කල්පනාවෙන් තමයි තීන්දු තීරණ ගත යුත්තේ.

ප්‍ර – හැබැයි වෙනම තරග කිරීමෙන් වාසි සැලසෙන්නේ එක්සත් ජාතික පක්ෂයට නේද?
පි – අලුතින් දෙකඩ වෙන්න දෙයක් නෑ. දැනටමත් දෙකඩ වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වය වෙනම ඉන්නවා. ඒ පක්ෂයේම ඒකාබද්ධ විපක්ෂය වෙනම ඉන්නවා. දැන් ගොඩක් කල් මේ පක්ෂය මේ විදිහට දෙකඩ වෙලා. අපිට එක ප්‍රතිපත්තියකට එන්න බෑ. මොකද අපිට යූඇන්පී එකත් එක්ක පාර්ලිමේන්තුවේ එකට වාඩිවෙන්න බෑ. අපිට ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු වාමාංශික ආණ්ඩුවක්.

ප්‍ර – ඔබ එහෙම කීවට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු ආණ්ඩුවට එකතු වීමට සූදානමින් ඉන්නවා කියලත් ආරංචියි?
පි – අමූලික බොරු. අපේ කිසිම කෙනෙක් ආණ්ඩුවට යන්නේ නෑ. එහෙම කිසිම කතාබහකට ආණ්ඩුව එක්ක යන්නෙත් නෑ. මහින්ද මහත්තයාව දාලා ගියොත් මේ රටේ මහජනතාව ඒ අයව ප්‍රතික්ෂේප කරාවි.

ප්‍ර – වැඩ වර්ජන රටපුරා එකක් ඉවර වෙද්දී එකක්. මේ වැඩ වර්ජන පිටුපස ඒකාබද්ධ විපක්ෂයත් ඉන්නවා නේද?
පි – මේ වැඩ වර්ජන පිටුපස  අපි ඉන්නවාය කියන්නේ ආණ්ඩුව. ඒකෙන්ම ආණ්ඩුවේ නොහැකියාව පේනවා. ඒ වැඩ වර්ජනය කරන වෘත්තීය සමිති, ආයතන ඒ අයට නොලැබුණු දේවල් ලබාගන්න සටන් කරනවා. ඒ පිටුපස ඉඳගෙන අපි මොනවා කරන්නද? අපි ආණ්ඩුවේ කකුලෙන් අදින්නේ නෑ ඒ විදිහට.

ප්‍ර – තැපැල් වර්ජනය කළේ සේවකයන්ගේ ඔබ ඔය කියන අයිතිවාසිකම් ප්‍රශ්නයක් මුල් කරගෙන ‍නෙවෙයිනේ?
පි – තැපැල් දෙපාර්තමේන්තුවේ ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන ඉන්දියාවට විකුණනවා කියලයි ඒක කළේ. ඇත්තටම ඉන්දියාවේ තෝසේ කඩයක් දාන්නලු හදන්නේ. ඒවා අපේ පෞරාණික දේවල්. අපි නුවරඑළියේ ගියාම අපිට ලොකු අභිමානයක් දැනෙනවා නුවරඑළියේ තැපැල් කන්තෝරුව දැක්කාම. ඒ වගේ ඒවා ඉන්දියාවට දෙන එකට මිනිස්සු විරුද්ධයි. අපිට ඒක ඇඟට දැනෙනවා. ඒකත් වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලීමක් තමයි. ඉතින් මේ වැඩ වර්ජන වෘත්තීය අයිතිවාසිකම් ලබාගන්න කරනවා මිස ඒවාට අපි උඩගෙඩි දෙන්නේ නෑ.

ප්‍ර – ගංවතුරෙන් කළුතරට විශාල හානියක් වුණා. වසරින් වසර මේ ගංවතුර එනවා. ඇයි මේවාට විසඳුමක් නැත්තේ?
පි – ඔය ගංවතුර වසරකට වරක් එනවා. ඒක අපි දන්නවා. මේ ගමන විශාල විනාශයක් වුණා. මේකෙදි නිසි කළමනාකරණයක් නෑ. මේ ආණ්ඩුව බලයට පත්වුණාම ඉඩම් ගොඩ කළා ඉතා ශීඝ්‍රයෙන්. අපි පසුගිය ආණ්ඩුව කා‍ලේ ඉඩම් ගොඩ කරන්න දුන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුව යටතේ ගොඩ කළා ඉතා අවිධිමත් ලෙස. ඒක මේ ගංවතුරට විශාල ලෙස හේතු වුණා.

ඒ වගේම තමයි ඒ කා‍ලේ මෝටර් බෝට්ටු, අඟුල් ඇතුළු හැමදේම සූදානම් කරලා ප්‍රාදේශීය සභාවලට එහෙම දීලා තිබුණා ප්‍රශ්නයක් ආපු ගමන් ක්‍රියාත්මක වෙන්න. නමුත් මේ ගමන ඒවා ක්‍රියාත්මක වුණේ නෑ. එහෙම කලින් සූදානම තිබුණා නම් ජීවිත විශාල ප්‍රමාණයක් අපට බේරාගන්න තිබුණා. අපි ඉක්මනට සහන සැලසුවා. නමුත් මෙදා පාර නිලධාරීන් වුණත් ක්ෂණික තීන්දු, තීරණ ගන්න බයවුණා. අඩුම තරමේ ආපු බෝට්ටුවලට පෙට්‍රල් ගහන්නවත් නිසි ක්‍රමවේදයක් තිබුණේ නෑ. අපි අතින් මුදල් දීලා තමයි ඒ දේවල් කළේ.

ප්‍ර – ඔබ කණ්ඩායම කාලෙකට ඉස්සර දේවාල ගානේ ගිහින් ගහපු ‍පොල්වල ප්‍රතිඵලද දන්නේ නෑ මේ ස්වභාවික විපත්?
පි – නෑ, අපි රටේ මහජනතාවට ‍පොල් ගැහුවේ නෑනේ. අපි ‍පොල් ගැහුවේ මේ ආණ්ඩුවට. අනික අපි ‍පොල් ගැහුවේ රටේ යහපත වෙනුවෙන්. නමුත් දැන් මේ දෙවියෝ කෝපවෙලා. මේ වගේ විනාශ වුණේ නෑ කවදාවත්. සුනාමියෙන් පසු තාම මිනිස්සු අනාථ වෙලා.

ප්‍ර – අවතැන් වූවන්ට රජය දෙන සහන ගැන මොකක්ද ඔබේ අදහස?
පි – මොන සහනද? සාමසර කන්දේ නායයෑම නිසා අසරණ වුණ මිනිස්සු තාම කූඩාරම් ඇතුළේ. මීරියබැද්දේ අසරණ වුණ මිනිස්සු, සාලාව කඳවුර පිපිරිලා අවතැන්  වුණ අයට ආණ්ඩුව සහන දුන්නද? මේ අසරණ වුණ මිනිස්සුන්ටත් මේ ආණ්ඩුව ‍පොරොන්දු වෙන කිසි දෙයක් දෙයි කියලා මම හිතන්නේ නෑ, ‍පොරොන්දු විතරයි.

ප්‍ර – අනික් පැත්තෙන් ඩෙංගුවලිනුත් රට මහ විපතකට පත්වෙලා?
පි – ඔව්, අද වෙනකොට ලෙඩ්ඩු භාර නොගන්න තීරණය කරලා ඇතැම් රෝහල්. ඒ තරම් ලෙඩ්ඩු. ඒත් ආණ්ඩුව නිදි. සෞඛ්‍ය ඇමැතිට වෙන වැඩ. මිනිස්සු මැරෙනවා. රෝහල්වල ලෙඩ්ඩු ඇඳන් යට, පුටු උඩ. හරිම ශෝචනීය තත්ත්වයක්. මේ ආණ්ඩුවට කිසිම කළමනාකරණයක් නෑ.

ප්‍ර – ආණ්ඩුව රටට දිනාදුන් කිසිවක් නැද්ද?
පි – ජී.එස්.පී. ප්ලස් ඇතුළු ඒ දිනපු දේවල් ගැන අපි සතුටු වෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් එකක් කරද්දී නොකරපු දේවල් කොතරම්ද? මේ ආණ්ඩුව කළ යුතු දේවල් නෙවේ කරන්නේ. ඒක තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ.

සාකච්ඡා කළේ-සුජිත් කෝනාර
sujithkona@gmail.com