රටේ පැවති ආපදා තත්ත්වය, ඊට මැදිහත් වූ ආකාරය සහ එයට හිමි ප්‍රතිචාර සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සමග ‘රිවිර’ ඉරිදා සංග්‍රහය සිදු කළ සාකච්ඡාවක් ඇසුරිනි.

ප්‍ර: ගංවතුර හා නායයෑම් හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල මේවන විට පවතින තත්ත්වය කොහොමද?
පි: තවම තත්ත්වය මතුවුණේවත් නැහැ. ආපදාවට ලක්වූ මිනිස්සුන්ට ලැබිච්ච බත් පැකට් එක,වතුර බෝතලය වියළි සලාක විතරයි තවම ලැබිලා තියෙන්නේ. ඒකෙනුත් වතුර බෝතල් කෑම පාර්සල් දැන්  නැවතිලා. වියළි සලාක සහ ‍පොත්පත් තවම ලබාදෙනවා. ඒවා ලබාදෙන්නේ මේ රටේ පුරවැසියෝ. ඒවා මත තමයි මේ වැඩපිළිවෙළ දැනට ක්‍රියාත්මක වෙන්නේ.

ප්‍ර: මේ ගැටලුවේදී ආණ්ඩුවේ මැදිහත්වීම ගැන සතුටුවෙන්න පුළුවන්ද?
පි: කඩාවැටුණු ගෙවල් විනාශ වූ දේපළ ජීවිත පිළිබඳව රාජ්‍ය මට්ටමෙන් තක්සේරුවක් කළයුතුයි. එහිදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ආදී ආයතන නායයෑම් ප්‍රදේශ හඳුනාගෙන එම කටයුතු සිදුකළ යුතුයි. මාර්ග සංවර්ධන අධිකාරියෙන් මාර්ග හදාගෙන යනවා. සුනාමි ආපු වෙලාවේ මැදිහත්වුණේ ආණ්ඩුව ‍නෙවෙයි. ජනතාව සහ රාජ්‍ය නොවන ආයතනයි. අර ආණ්ඩුව කළේ නෑ  මේ ආණ්ඩුව කළේ නෑ කියලා දොස් කියන්න කාටවත් බෑ. හැම ආණ්ඩුවක්ම මේ වගකීම භාරගන්න ඕන. ආණ්ඩුවකට එකපාරටම සහන දෙන්න ගෙවල් හදන්න බැහැ. ඒවා ක්‍රමානුකූලව කරගෙන යන්න ඕන. චක්‍ර‍ලේඛ තියෙනවා. නීති රීති තියෙනවා.

ඇස්තමේන්තු හදන්න වෙනවා.  ඒ නිසා ආණ්ඩුවකට එකපාරටම ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙන්න බැහැ. ආණ්ඩුව මුලින්ම මේ ප්‍රශ්නෙට මැදිහත්වෙලා මූලික පියවර ගත්තා. දැන් තමයි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යන්නේ. මේවගේ ව්‍යසනවලට මුහුණ දෙන්න පුහුණු කරපු නිලධාරීන් නැහැ. ක්ෂණිකව යොදවන්න පුළුවන් හමුදාව විතරයි. ඒකත් ආණ්ඩුවේ වගකීමක්. ආණ්ඩුව එම වගකීම ඉටුකළා.

ප්‍ර: යහපාලන ආණ්ඩුව පත්වුණාට පස්සේ දිගින් දිගටම හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධවුණා. ඒත් මේ ගැටලුවලට විධිමත් විසඳුම් නෑනේ.
පි: ඒක තමයි මම කිව්වේ හැම රජයක්ම මේකට වගකියන්න ඕන කියලා.
ප්‍ර: මේ ආණ්ඩුවටවත් බැරිද විධිමත් යාන්ත්‍රණයක් මේ ගැන සකස් කරන්න.
පි: රටේ මේ වගේ ව්‍යසන එනවා. මේ ව්‍යසනයවත් පාඩමකට ගෙන රටේ සියලුම ආයතන ඒකරාශි කරගනිමින් ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කොට මෙම ගැටලුවලට විසඳුම් සෙවිය යුතුයි. මේවට කඹ ඇද ඇද ඉඳලා කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉඳලා වැඩක් නැහැ. රටේ මිනිස්සු ගැන දරු මල්ලෝ ගැන, දේපළ ගැන ආර්ථිකය ගැන හිතලා සියලුම දෙනා කකුල් දෙක එක තැනක තියාගෙන මේකට වැඩපිළිවෙළක් හදන්න ඕන. ජනතාවට මෙහි වගකීමක් තියෙනවා.

2003ත් මේ වගේ ගංවතුරක් ආවා. මේවගේ ව්‍යසන  නිතර නිතර එනවා.  ටික දවසක් යනකොට මිනිස්සුන්ට මේවා මතක නැහැ.

දැන් ආපදා කළමනාකරණය කියලා එකක් තියෙනවා. ඒගොල්ලෝ පුහුණු සේවකයන් බඳවා ගෙන නැහැ. දැන්වත් ඒ අය සියලු ආයතන සමග සම්බන්ධීකරගනිමින් ක්ෂණික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. මේ ගංවතුර වෙලාවේ මම බේරුවලට කතා කරලා බෝට්ටු ටික ඉල්ල ගත්තා. ඒවගේ හදිසි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයට වැඩපිළිවෙළක් නැහැ. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයටත් වැඩපිළිවෙළක් නැහැ.

හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න බෝට්ටු නැහැ. බෝට්ටු තිබුණත් එක්කෝ ඒවායේ එන්ජින් නැහැ. නැත්නම් තෙල් නැහැ. තමන්ගේ ඇඟ බේරගෙන ඉන්න පිරිසක් තමයි මේ රටේ ඉන්නේ.

ප්‍ර: ආපදා අවස්ථාවේදී සමාජ ජාලා වබේඅඩවි හරහාත් මාධ්‍ය හරහාත්  ඔබ බොහොම ජනප්‍රිය වුණා. මේක ඇත්තටම රඟපෑමක් ද?
පි: ඕන කෙනෙකුට ඕන විදියකට හිතාගන්න පුළුවන්. මම මොනවා හරි කළොත් හැමදාම ඒක රඟපෑමක් කියනවා.  රඟපානවා නම් ගංවතුරට බහින්න ඕන නැහැ. ඕනතරම් කතා කරනවා රඟපාන්න නම්. මම මේ ජීවිතේ පරදුවට තියලා වතුරට බහිනවද රඟපාන්න ඕනෑ නම්. මොන මෝඩයද එහෙම කරන්නේ. මේක අපේ ඇඟේ තියෙන දෙයක්. ඇත්තටම මේක අපේ ඇඟේ තියෙන රෝගයක්.

ප්‍ර: දේශපාලනඥයන් වතුරට බැහැලා දඟලලාම හරියන්නේ නැහැනේ.  අවශ්‍ය තීන්දු තීරණ අරගෙන ඒ පැත්තත් බලන්න ඕනැ.
පි: ගංවතුර ගලලා මිනිස්සු ගහගෙන යනකොට තීන්දු තීරණ අරගන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. ඉස්සෙල්ලම ඒ මනුෂ්‍යයා බේරගත යුතුයි. අපි ඉස්සෙල්ලම ඒ තත්ත්වෙට මුහුණ දීලා තමයි පස්සෙ තීන්දු තීරණ ගන්න ඕනැ. කරන්න ඕන දේවල්  අපි ඒ වෙලාවේ කළා.  ඒවා කරගන්න බැරිවෙච්ච අය තමයි දැන් බොරුවට කෑගහන්නේ. දේශපාලන ක්ෂේත්‍රයේ එක එක පරිසරවල හැදිච්ච අය ඉන්නවානේ. සමහරු දේශපාලනඥයන්ගේ පුත්තු. තව සමහරු ව්‍යාපාරිකයන්ගේ පුත්තු.

‍පොළොවේ පය ගහපු අයත් ඉන්නවා ‍පොළොවේ පය ගහපු නැති අයත් ඉන්නවා. සමහරු වතුරට බයයි. තව සමහරු විෂබිජවලට බයයි. කළුවරට බය අයත් ඉන්නවා.
ආරේ ගති නෑරේ වගේ ඒවා අරින්න බැහැනේ. මට දීපු මීඋණ බෙහෙතුත් මම බිව්වේ නැහැ. ඒවා සිවිල් ආරක්ෂකයන්ට දුන්නා. ඕන දේකට ඔරොත්තු දීමේ ශක්තිය මගේ ජානවල තියෙනවා.

ප්‍ර: සමාජ ජාලා වබේඅඩවි හරහා ප්‍රචලිත වුණා ඔබ විශාල ගසක් කපන වීඩියෝව.
පි: මේක බුලත්සිංහල ආසනේ තිබ්බොට්ටාව  කියන ගමේ සිද්ධ වෙච්ච දෙයක්. මේ තිබ්බොට්ටාව ගමේ කන්ද නාය ගිහිල්ලා 22 මියගිහින් පස් උඩම පාංශු කූලය තිබ්බා. කන්ද එහා පැත්තත් දැන්  පුපුරලයි තියෙන්නේ. පවුල් 36ක් කන්ද පාමුල ඉන්නවා.

මිනිස්සු 93ක් අඹුදරුවන් එක්ක ජීවත් වෙනවා. ඒ කන්ද රාජ්‍ය වතුයායට අයත් කන්දක්. මේ හරියේ ඉබේ හැදිච්ච කැලයක් තියෙන්නේ. මේකේ ලොකු ඇල්බිසියා ගහක් තියෙනවා. වර්ග අඩි 10ක් 12ක් විතර පළල. ඒකේ කොට්ටෝරුවෝ විදලා බෙන හැදිලයි තියෙන්නේ. ඒ ගහේ කොළවලට හුළඟ බදලා ඒ ‍පොළොව තව තවත් බුරුල්වෙනවා. මේ අපේ මිනිස්සු පණ බයේ ඉන්නේ. මිනිස්සු මේගැන ප්‍රාදේශීය සභාවට කිව්වා. වතු අධිකාරියට කිව්වා.  කිසිකෙනෙක් මේක ගණන් අරගෙන නැහැ.

මේ මිනිස්සු තාවකාලිකව වෙනත් ස්ථානයක පදිංචිකරන කම් මම ච්ෙන්ෂෝ එකක් ගෙනල්ලා ගහ කැපුවා. මම ඒ අවදානම ගත්තා. රජයේ දේ‍පොළක් සම්බන්ධයෙන් කවුරුහරි නඩු දානවා නම් ගමේ මිනිස්සු වෙනුවෙන් ඒ වගකීම මම භාරගත්තා. මේ ගැන නොදන්නා පිරිස් ෆේස් බුක් හරහා වැරදි ප්‍රචාර යවනවා. මම ඒ පිරිස්වලට කියනවා මේ ගමට ඇවිල්ලා සැබෑ තත්ත්වය දැනගන්න කියලා. මේ වගේ අවදානම් ප්‍රදේශ කීපයක් තිබුණා. ඇතැම් ගම්වලට යන්න මාර්ග සකස් කිරීමේ වැඩපිළිවෙළක් පවා තිබුණේ නැහැ. එහි වගකීම අපිම අරගෙන ඒ පහසුකම් ලබාදුන්නා. ඒ සඳහා ගමේ ජනතාවත් ඉදිරිපත් වෙලා සහන සැලසුවා.

ප්‍ර: දේශපාලනඥයන් මේ වගේ දරදඬු තීරණ ගන්න එක හොඳ මදි නේද?
පි: බුද්ධ ධර්මයේ තියෙනවා වසල සූත්‍රය පිළිබඳ තමන් වසලයෙක්ද නැද්ද කියලා කියන්නේ ඒ කරන ක්‍රියාව අනුවයි. අපි ගාව දහජරා වැඩ කුඩු බිස්නස් නැහැ. අපි සර්ව සාධාරණයට ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරනවා.  එතනදී මට හොඳ දේ නරකින් හරි කරතැහැකි. නරක දේ කවදාවත් කරන්නේ නැහැ.

ප්‍ර: ආපදා තත්ත්වයේදී ඔබේ මැදිහත්වීම ගැන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවා ප්‍රසාදයෙන් කතා කළා. ඒත් ආණ්ඩු පක්ෂයෙන් ඔබට එවැනි ඇගයීමක් ලැබුණේ නැහැනේ?
පි: මේ පක්ෂයේ ඉන්න මහලොකු කෙරුමෝ පක්ෂය දාලා මහින්ද මහත්තයත් එක්ක එකතු වෙනකොට යූඑන්පී එකට බලුකපුටෙක්වත් හිටියේ නැහැ. කළුතර දිස්ත්‍රික්කයෙන් මම තමයි පක්ෂය ආරක්ෂා කරගත්තේ.

ජනාධිපතිතුමා ඉස්සරහා එක රාජ්‍ය අමාත්‍යවරයෙක් කියලා තියෙනවා ආණ්ඩුවේ අයගේ තියෙන්න ඕන වගකීම මිනී උස්සන එකයි බඩු බෙදන  එකයි විතරක් ‍නෙවෙයි කියලා.  හැබැයි ඒ ඇමැතිවරයම කොළඹට ගංවතුර ආපු වෙලාවේ බෝට්ටුවෙන් ගිහිල්ලා කෙසෙල් ගෙඩියක් බෙදුවා.

ප්‍ර: ජනාධිපති, අගමැති ආපු වෙලාවේ ඔබ ඒ වැඩසටහන්වල  ඉන්නවා දැක්කේ නැහැනේ?
පි: ජනාධිපතිතුමා පාහියංගලට ආවා  ආනන්ද හිමියන්ගේ හිතවත් කමකට. ජනාධිපතිතුමාගේ පිටිපස්සෙන් යන්න ඇමැතිවරු ඉන්නවා. ගොඩක් කට්ටිය ඉන්නවා. ඒනිසා අපි නොගියයි කියලා පාඩුවක් වෙන්නේ නැහැ. මම බුලත්සිංහල ආසන සංවිධායකවරයා. නියෝජ්‍ය ඇමැතිවරයෙක්. මම ඉඳිද්දී නිමල් සිරිපාල ඇමැතිතුමා බුලත්සිංහලට එවනවා. එයා ඇවිල්ලා නිලධාරීන් සනසලා යනවා. අපියි මේකේ ගැඹුර දන්නේ. ඒ නිසා ජනතාවට කරන්න ඕන දේ අපි දන්නවා.

සාකච්ඡා කළේ
නිමල කොඩිතුවක්කු