අපේ රටට විවිධිකාරයෙන් ලැබෙන විෂම වර්ෂාපතනයෙන් ආර්ථිකයටත්, සමාජයට හා සංස්කෘතියටත් එල්ල වන්නේ සුවිශාල බලපෑමකි. මෙම බලපෑමේ තරම අපේ ජීවිත කාලය තුළ ඉතාමත් බිහිසුණු ආකාරයෙන් දක්නට ලැබුණේ පසුගිය මැයි මස අග දිනවලදීය.

සිඟිති දරුවන්ගේ සිට අපි සැම ජීවිත හා දේ‍පොළ විනාශයේ ශෝකාකූල අත්දැකීමෙන් තැති ගත්තෙමු. කම්පනයට පත්වීමු. පවුල් දස දහස් ගණනක ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අදටත් සුළි සුළං, ගංවතුර හා නායයෑම්වල දුර්විපාකයන්ගෙන් පීඩා විඳිමින් සිටිති.

මේ ව්‍යසනයට ලක්වූ ප්‍රදේශ අතරින් පස්යොදුන් කෝරළේ නැගෙනහිරබද පාලින්දනුවර හා බුලත්සිංහල ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසවලට මුල්තැනක් හිමිවෙයි. ගංවතුර උවදුර හා කුකුළේ ගඟ ජලාශය පිළිබඳ කතිකාවේදී අදින් අවුරුදු 20-25ක් ඈතට මගේ මතකය දිව යයි.

ඒ 1990 දශකයේ මුල් කාලයයි. 1991-93 වකවානුවේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත හම්බන්තොට-මාවැල්‍ලේ ගල් අඟුරු තාප බලාගාර ව්‍යාපෘතිය පරාජය කිරීමෙන් පසු දකුණේ තරුණයන් පිරිසක් කැටුව සිංහරාජ වනපෙත බලා චාරිකාවක යෑමට මට සිදුවිය. ගමන අතරමග කලවාන හන්දියේ වැද්දාගල පාරේ පිහිටි ‘ජෝන් කඩේ’ හෝටලයේදී අපි හීල සප්පායම් වූයෙමු. ගල් අඟුරු බලාගාරයකින් සිදුවිය හැකි ආපදා සඳහන් පත්‍රිකාවක් මගෙන් ලබාගත් (අපේ නඩයට අයත්) තරුණයකු විසින් කියවන විට ඒ කෙරෙහි විමසිලිමත් වූ …. හෝටලයේ ලියන මහත්තයා විශේෂයෙන් මා වෙත යොමු වුණේය.

“ඔය කියනව වගේ විපතක් මෙහෙත් වෙන්නයි යන්නේ. ඒක විසඳ ගන්න අපට උදව් වෙන්න පුළුවන්ද?” යනුවෙන් ඔහු මගෙන් අසන්නට විය.

“මොකක්ද ඒ..?” යනු අපගේ ප්‍රශ්නය විය. ඒ ගැන කෙටියෙන් තොරතුරු විමසූ අප කළයුතු දෑ ගැන උපදෙස් දුනිමු.

දුෂ්කර සිංහරාජ ගමන නිමාකර ආපසු එද්දී ලියන මහත්තයා (චන්ද්‍රදාස) සමග කලවාන නගරයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් අපට හමුවූහ. ලංකා විදුලිබල මණ්ඩලය විසින් තම ගම්බිම්, පාසල් සහ නගරය යටවන පරිදි සිංහරාජය තෙක් පැතිරෙන ජලාශයක් සාදා විදුලි බලාගාරයක් තැනීම වැළැක්වීම සඳහා කැපවන බවට ඔවුන් හා අප අතර සම්මුතියක් ඇතිකර ගැනිණි.

ඒ අනුව මෙම ගමට (ගලහිටියට) නොගොස් කොළඹ පැමිණියෙමි. පරිසර සංරක්ෂණ සංවිධානවල නායකයන් වූ කාමිණී විතාරණ, අයිරාංගනී සේරසිංහ, වෛද්‍ය රාජේන්ද්‍ර විජේතුංග, හේමන්ත විතානගේ, අශෝක අභයගුණවර්ධන, උචිත ද සොයිසා, නලින් ලද්දුවහෙට්ටි, ධර්මන් වික්‍රමරත්න ආදී මහත්ම මහත්මීන් හමුවී සාකච්ඡා කළෙමි. කලවානේ ජලාශයක් තැනීම සඳහා වූ ලංවිම යෝජනාව පරාජය කිරීමෙහිලා අපගේ වගකීම පැහැදිලි කරගතිමු.

ප්‍රදේශයේ ගිහි-පැවිදි සැමගේ සහභාගිත්වය සහිත රැස්වීම්, සාකච්ඡා, සම්මන්ත්‍රණ පවත්වා කරුණු අවබෝධ කරවීම, විදුලිබල ඇමැතිතුමා හමුවීම, ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට මහජන පෙත්සමක් යැවීම ආදී විවිධ ක්‍රියාකාරකම් අනලස්ව සිදු කිරීමට අපි සමත් වූයෙමු.

අඛණ්ඩව, නොපසුබටව අප කළ මෙහෙයුමේ ප්‍රතිඵලය වූයේ ලංවිම සැලැස්ම අත්හිටුවීමය. කඳුකරය මත මහා පරිමාණ ජලාශ හා විදුලි බලාගාර තැනීමත්, රට වටා මුහුදුබඩ ප්‍රදේශ තුළ දූෂක ගල් අඟුරු බලාගාර තැනීමත් තිරසර නොවන බවට අප දැක්වූ තර්කය ජනාධිපතිතුමන් හා මැති ඇමැතිවරුන් ඇතුළුව ජනතාව පිළිගත්හ. ලංවිම නිලධාරීන් පසුබැස්සේ නැත. ඔවුන්ගේ ඊළඟ පියවර කුකුළු ගඟ පහළ මීපාගම සහ මාකෙළිය ආශ්‍රිතව සාර්ථකව ක්‍රියාවට නැගුණේය. එම අත්තනෝමතික, දරදඬු ක්‍රියාමාර්ගයේ විපාක ජනතාවට දුක සේ විඳදරා ගැනීමට සිදුව ඇත්තේ අදය.

මාකෙළිය, කොස්ගුලන, මෝල්කාව, ගලහිටිය, පරගොඩ, අත්වැල්තොට, මගුර, බදුරලිය, අගලවත්ත, මහගම, කලවැල්ලාව, මිරිස්හේන, වරකාගොඩ, කුඩලිගම, නෑබොඩ, අඟුරුවාතොට, උඩුවර, පැලපිටියාගොඩ, තෙබුවන ආදී සුවිශාල ප්‍රදේශයක් විනාශ වූ අතර ගම්වැසියන්ගේ ගේදොර, දේ‍පොළ ඔවුන්ට අහිමිව ඇත. එපමණක් නොව විදුලි බලාගාර නිලධාරීන්ගේ හපන්කම්වලට ප්‍රදේශයේ වැසියන් 45ක් ජීවිතයෙන් වන්දි ගෙවා ඇත.

ලංකාවේ පමණක් නොව ලෝකයේම ඉතිහාසය නිර්මාණය වී ඇත්තේ සංවර්ධන අවධි ගණනාවක් පසු කරමිනි. මිනිසුන් විස්මයට පත් කළ ‘කාර්මික යුගය’ 2015දී අවසන් වූයේ ‘පැරිස් ගිවිසුම’ මගිනි. එක්සත් ජාතීන් ‘තිරසර සංවර්ධන ඉලක්ක’ මගින් 2030දී ලෝක ප්‍රජාව නව සංවර්ධන යුගයක් නිර්මාණය කිරීමට සපථ කර සිටිති. දැන් අප ප්‍රවේශ වී සිටින්නේ ඒ සඳහා වූ සංක්‍රමණීය අවධියටයි.

ජනාධිපති ‍ලේකම් කාර්යාලයට නුදුරේ පිහිටි ලංවිම තවමත් ඒ පිළිබඳ හසරක් නොදන්නා සැටියකි.

තිරසර සංවර්ධනයේ ගාමක මාධ්‍යය වන්නේ පුනර්ජනනීය බලශක්තියයි. අවුරුද්දේ සෑම දිනකම අඩු-වැඩි වශයෙන් හිරු එළිය ලැබෙන අපේ රටට තිරසර සංවර්ධනයේ ආලෝකය ලබාගැනීමට ඇත්තේ අපූර්ව හැකියාවකි. වැඩිවන බලශක්ති ඉල්ලුම සපිරීමට පාරිභෝගිකයා නිෂාපදකයකු බවට පත් කෙරෙන ‘සූර්ය බල සංග්‍රාමය’ ජනාධිපතිතුමන් විසින් ආරම්භ කර ඇතත් ලංවිමට ඒ පිළිබඳ ‘සම්මා දිට්ඨිය’ ලැබි නැත.

මෙරට ජාතික සංවර්ධනයේ ප්‍රධාන පියවරක් වූ බලශක්ති සම්පාදනය සඳහා තිරසර ක්‍රමවේද ක්‍රියාවට නොනගා පරිසර විද්‍යාවට දොස් පැවරීමෙන් විශාල රාජ්‍ය ආයතනයක් වන ලංවිමට සිය වගකීමෙන් නිදහස් වීමට නොහැකිය.

කීරන්තිඩියේ අශෝක හරිස්චන්ද්‍ර

gyuj yu