රටේ දේශපාලන වාතාවරණය සයිටම් ප්‍රශ්නය, ව්‍යවස්ථා සංශෝධනය හා පක්ෂයේ ඉදිරි ගමන පිළිබඳ ජවිපෙ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සමග කළ සාකච්ඡාවකි.

ප්‍ර: ඔබගේ උමාඔය විරෝධය නතර වෙලාද?
පි: නැහැ. තවදුරටත්  උත්සන්න වෙමින් සටන ඉදිරියට යනවා. මේ විනාශය නතර කිරීමට කරන ජනතා හඬට දැන් දැන් පාලකයන් ඇහුම්කන් නොදෙන බවක් දක්නට ලැබෙනවා. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුමේ උමා ඔය ව්‍යාපාතිය නිසා විනාශයට පත් ප්‍රදේශ අවදානම් කලාපයක් වශයෙන් නම්කර ජන ජීවිත සුරක්ෂිත කරන ලෙසට අපි ජනාධිපතිවරයාට ලිඛිතව දැන්වූවා.

ප්‍ර: ඔබ එසේ පවසන නමුත් මේ සම්බන්ධයෙන්, ආණ්ඩුව සද්දයක් නෑ නේද?
පි: මේ ආණ්ඩුව කරන්නේ මහින්ද රාජපක්ෂ විසින් බිහි කළ දරුවා හදාවඩා ගැනීමක්. හොරකම වළකන බවට ජනතාවට දහසකුත් එකක් ‍පොරොන්දු දී බලයට පැමිණි පසුව ඊටත් වැඩියෙන් හොරකම් කරනවා. පරිසර විනාශයත් එහෙමයි. මෛත්‍රී – රනිල් සුසංයෝගය රට ඩෝසර් කරමින් සිටිනවා. සංස්කෘතිය,  අධ්‍යාපනය, සෞඛ්‍යය මේ සෑම ක්‍ෂේත්‍රයකටම එහෙමයි. මේ පිළිබඳ වෙනදාට වඩා හොඳින් තේරුම්ගෙන මේවාට එරෙහිව නැගී සිටීමේ වගකීම ජනතාවට තියෙනවා.

ප්‍ර: ආණ්ඩුවට හා එහි ප්‍රධානීන්ට විරුද්ධව හූනියම් කළ බවටත් ආරංචි පැතිර යනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
පි: ආණ්ඩුව රටට, ජනතාවට හුනියම් කරමින් සිටිනවා. මේ අය රටට කොඩිවිනයක්. අනතුර ඇත්තේ ජනතාවටයි. ආණ්ඩුව කරන ජනතා විරෝධී ක්‍රියාදාමයන්ට එරෙහිව ජනතාව නැගී සිටින විට ඒවාට කන්නොදී ප්‍රහාර එල්ල කරමින් පාලකයන්ට පැනනගින ප්‍රශ්න ඉතා හොඳින් විසඳා ගනිමින් සිටිනවා.

ප්‍ර: ‍ජ්‍යොතිෂය, නැකත් පසුපස යාම පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී වඩාත් හොඳින් කැපී පෙනුණා. වත්මන් පාලකයනුත් මේවා හඹා යනවා වගෙයි නේද?
පි: පාලකයන් මිථ්‍යාව හා අවිද්‍යාව පසුපස යනවා නම් නවීන විද්‍යාවට අනුව ඉදිරියට යන රටක් ගොඩනැගීමට බැහැ. ජනතා ප්‍රශ්නවලට පිළිතුරු නැතිවෙනකොට පාලකයන් මිථ්‍යාව පසුපස යනවා. එවිට රට අරාජික වෙනවා. රටේ හා ජනතාවගේ ගැටලුවලට පිළියම් ඇත්තේ නොපෙනෙන බලවේග හා දෙවියන් මත බව මේ අය රටට පෙන්වනවා. තමන්ගේ මඩිය තරකර ගැනීමට මාන බලන ‘කල්ලියකින් කිසිමදාක රටට සුගතියක් අත්වන්නේ නැහැ.

ප්‍ර: ජවිපෙට හා එහි නායකයාට එරෙහි මඩ ප්‍රහාරයක් මේ දිනවල සමාජ වබේ අඩවි ඔස්සේ පැතිර යනවා. මෙම තත්ත්වය ඔබ දකින්නේ කවර ආකාරයෙන්ද?
පි: පවතින ආණ්ඩුවට විවේචන වැඩිවෙනකොට දුර්වලතා වැඩිවෙනකොට, ධනපති දේශපාලන පක්ෂ අර්බුද වෙත ඇදීයනකොට, මෙවැනි තත්ත්වයන් ඇති වෙනවා. හවුල් ආණ්ඩුව තුළ මේ වන විට අර්බුද මතුවෙලා. එජාපය – ශ්‍රීලනිප, ශ්‍රීලනිප – ශ්‍රීලනිප එකිනෙකාට එරෙහිව යම් යම් හැසිරීම් දක්නට ලැබෙනවා. මෙවැනි වාතාවරණයක් මත 2020 වන විට ජවිපෙ ප්‍රමුඛ බලවේගයකට රට භාරදිය යුතු බවට ජනතා මතයක් ගොඩනැගී තිබෙනවා. ජවිපෙට වාසි සහගත තත්ත්වයක් රට තුළ ඉස්මතු වීම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට හිතකර නැහැ. මේනිසා අපේ නායකත්වයට ප්‍රහාර එල්ල කරනවා. අමූලික බොරු පදනම් කරගෙන ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. ධනවාදී දේශපාලන පක්ෂ මේවා පසුපස සිටිනවා. විමල් වීරවංශලාගේ ගෝලබාලයනුත් සිටිනවා. ජනතාව එකතු වී මේවා පරාජය කළ යුතුයි.

ප්‍ර: පක්ෂයක් ලෙසට ජවිපෙ මේවා පරාජය කරන්නේ කෙසේද?
පි: දුෂ්ට බලවේග ගැන දැනුවත් කර ජනතා බලමුළු ගැන්වීමේන් එය කළ හැකියි. දේශපාලන පක්ෂවලට නොබෙදුණු ජන බලවේගයක් රට තුළ ගොඩනැගිය යුතුයි. නුගතුන්ගේ දේශපාලනය අවසන් කළ යුතු වෙලාව පැමිණ තිබෙනවා. සාම්ප්‍රදායික දේශපාලනය තවදුරටත් රටට ඔබින්නේ නැහැ. මෙම රටට අවශ්‍ය නව වැඩපිළිවෙළට ජවිපෙ මුලපුරා තිබෙනවා. රට වෙනස් කිරීමේ අවශ්‍යතාව ජනතාවටත් තිබෙනවා.

ප්‍ර: ඔබ මූලිකව ඌවේ වනාන්තරවල ගස් මහණ කළ බවට අසන්නට ලැබුණා. මෙහිදී සිදු වූයේ කුමක්ද?
පි: පරිසරය, ගහකොළ, සතා සීපාවුන්ගේ වටිනාකම පාලකයන්ට දැනෙන්නේ නැහැ. මේවා අලෙවිකර ගන්නේ කෙසේදැයි මේ අය නිතර නිතර කල්පනා කරණවා. වතුර ටිකත් පෞද්ගලිකකරණය කිරීමට සොයා බලනවා. රටේ සම්පත්, මහා පාරිසරික කලාප විකුණන්නේ මේ නිසයි. අම්පාර, මොනරාගල, බදුල්ල දිස්ත්‍රික්ක ප්‍රධාන කරගෙන අද සිදුවෙමින් පවතින්නේ මෙවැනි විනාශයක්. මේ ඛිෙදවාචකයට එරෙහිව එය නතර කිරීමට, මෙහි ඉඩම් විදේශීය සමාගම්වලට විකිණීමට විරුද්ධව රාජපක්ෂ පාලන කාලයේ සිටම අපි නැගී සිටියා. මෙවර පක්ෂ භේදයකින් තොරව ඌව වෙල්ලස්ස ජනතාව ඒකරාශී කරගෙන අපේ භූමිය බහුජාතික සමාගම්වලින් බේරා ගැනීමට සටන් වදිනවා. මහ වනයේ වසර සිය ගණනක් පැරණි ගස් මහණ කිරීම මෙහි එක් පියවරක්.

ප්‍ර: මැතකදී සිදු වූ ඇමැති තනතුරු සංශෝධනය ගැන ඔබේ අදහස?
පි: හිසේ රුදාවට කොට්ටය මාරු කිරීමක් පමණයි. රෝගය සුව කිරීමට බැහැ. ආණ්ඩුව සිතාගෙන සිටින්නේ රටේ ජනතාව මහා මෝඩයන් කියලයි. ඔළුගෙඩි මාරු කරමින් ඇමැති පැටව් ගහනවා, එපමණයි. රටේ ප්‍රශ්න විසඳීමට නොහැකි නිසා බොරුවට ඇමැති මණ්ඩලය වෙනස් කරනවා.

ප්‍ර: ඉතිහාසයේ පළමු වතාවට ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශයට පවරාගෙන තියෙනවා මේ ගැන කතාකළොත්?
පි: ඇමැතිකම් කියන්නේ ලොතරැයි තමයි ජනතාවට රු. 20 ට ලොතරැයිපත් වලින් ලැබෙන මුදලට වඩා ඇමැති ලොතරැයියෙන් කෝටි ප්‍රකෝටි ගණනින් ධනස්කන්ධයක් උපයාගත හැකියි. මේවා දැන් ඇදී අවසන්. රස දන්න කෙනා මේවා ගැන හොඳින්ම දන්නවා. උන්ට රහ, ජනතාවට වහ. එදා රාජපක්ෂලාට, වීරවංශලාට, මහින්දානන්ද ඇතුළු පිරිසට ලොතරැයි ඇදුණා. අද යහපාලන ආණ්ඩුවේ ඇමැති මන්ත්‍රීලාට ඇදෙනවා. ජනතාවට කනත්තට පාර කපනවා. ලංකාවේ දේශපාලනය සූදුවක් මිසක් මහජන සේවයක් ‍නෙවෙයි.

ප්‍ර: කැබිනට් සංශෝධන හැරෙන්නට ආණ්ඩුව රට ජනතාව වෙනුවෙන් කරන දෙයක් නැහැ වගේ නේද? ගංවතුර ව්‍යසනයට යෙදවූ අවධානයත් දැන් අවසන් බවක් පෙනෙන්නට තිබෙනවා.
පි: මේ ආණ්ඩුවට කළ හැකි කිසිවක් නැහැ. ඕනෑම ගැටුමකදී විපතකදී ඒ වෙලාවට විතරක් ක්‍රියාත්මක වී මාධ්‍ය සංදර්ශන පෙන්වනවා පමණයි. ගංවතුර විපතේ දි ඉතා කෙටි කාලයක් තුළ ජනතාවට පිහිට වුණේ ජවිපෙ රතුතරුව සහන බළකායයි. රටේ ජනතාවගේ පරිත්‍යාග ද සමගින්, මාධ්‍ය ආයතනද සුවිශේෂී සේවාවක් ඉටු කළා. ජනතාව මේ අවස්ථාවේදී සංවේදී නොවුණා නම් සිදුවන දේ ඉතාම භයානකයි. මෙහිදී ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ.

ප්‍ර: රතු තරුවේ සහන කටයුතු දැන් අවසන්ද?
පි: මෙවැනි ව්‍යසනයකදී අප අදියර තුනකින් ජනතාවට සහන සලසනවා. පළමුව ක්ෂණිකව කළ යුතු කාර්යයක් ලෙස ජීවිත බේරා ගැනීම, ඔවුන්ට ආහාරපාන ලබාදීම, මේවා සිදු කළා. වතුර බැසගිය පසුව ජනතාව ඔවුන්ගේ නිවාසවල යළි පදිංචි කිරීම සඳහා අවශ්‍ය කටයුතු දෙවනුව කළා. නිවෙස් ශුද්ධ පවිත්‍ර කිරීම, ළිං ඉසීම, වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම මේ ආදි දේ කළා. තුන්වැනි අදියර ලෙසට විනාශයට පත් දේපළ පිළිසකර කිරීම, මේ වන විට ආරම්භ කර තියෙනවා. සුනාමි ව්‍යසනයේදීත් අපි මෙවැනි දේ කළා. විනාශ වී ගිය මුහුදුබඩ දුම්රිය මාර්ගය දින 54 ක් වැනි ඉතා කෙටි කාල සිමාවකදී නැවත ගොඩනැගුවා. වැය වූ මුදල අවමයි. මෙවරත් අපි එසේම ක්‍රියාත්මක වෙනවා.

ප්‍ර: ආණ්ඩුව ආයෙත් ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීමට පටන්ගෙන තබෙන බව පෙනෙනවා. මේ වතාවේදීවත් වැඩේ හරියයිද?
පි: ඔය දරුවා මෙලොව එළිය දකින්නේ නැහැ. ඇබෝෂන් වෙනවා. දැන් සුදානම නව ව්‍යවස්ථාවේ වට්ටෝරුව රටට ඉදිරිපත් කිරීමටයි. එදා 1978 ජේ. ආර්. ජයවර්ධන මහතා ව්‍යවස්ථාවක් ගෙන එන විටත් මෙවැනි කතා කීවා. රටේ සකලවිධ ලෙඩ රෝග සියල්ලම සුවවෙන බවට පුරසාරම් දෙඩව්වා. රට බෙදුවා ඇමැති මණ්ඩලය ඉහළ දමා. පළාත් සභා බිහිකර හොරුන්ට පාර්ලිමේන්තුවේ දොර විවර කළා. රාජ්‍ය දේපළ පුද්ගලික අංශයට විකුණා දැමුවා පමණයි. මේ ව්‍යවස්ථා මර උගුලත්, සීනිබෝලයක් ලෙසට රටට පෙන්වනවා පමණයි. ඔය බෙහෙත් වට්ටෝරුව බොන්න වෙන්නෙත් නෑ. බොන්න දෙන්නෙත් නැහැ. ලෙඩා මළා.

ප්‍ර: මේ අතරතුරදී සයිටම් ගැටලුවත් ඇදි ඇදී යනවා?
පි: අපේ අරගලය නිමවන්නේ සයිටම් අහෝසිකර එය ජනසතු කළාට පසුවයි. පසුගිය දිනවල සටන මඳක් පසු බැස්සේ ගංවතුර ව්‍යසනය නිසයි. අප අදාළ මොහොතේ දී අදාළ කටයුත්තට උරදෙන දේශපාලන පක්ෂයක්.

තිලක් පුෂ්පකුමාර
thilakpushpakumara@gmail.com