ආණ්ඩුවේ දේශපාලන ගමන් මග පිළිබඳ ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන සමග පැවැත් වූ කතාබහකි.

ප්‍ර: අගෝස්තු මාසයේ දී යහපාලන ආණ්ඩුවේ කා‍ලේ ඉවරයි. අගෝස්තුවලින් පසුවත් ඉදිරියට යනවද?
පි: ඒක තීන්දු කරන්න ඕන පක්ෂ මධ්‍යම කාරක සභාව. ඒක අපි කාටවත් තනියෙන් තීන්දු කරන්න බැහැ. යම් විදිහකින් පක්ෂය තීන්දුවක් ගත්තොත් අපි ඒකට එකඟ වෙනවා. ඒ අනුව අගෝස්තුවලින් පස්සේ තවදුරටත් සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට යනවද කියලා පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉදිරියේ දී තීන්දු කරයි.

ප්‍ර: ජනාධිපතිවරයා සහ පක්ෂ මහ ‍ලේකම්වරයා යම්කිසි දැනුම් දීමක් කර තිබෙනවද එහෙම සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට යා යුතුයි කියලා?
පි: ඒ සම්බන්ධව මට යම්කිසිවක් කියන්න බෑ. කියන දෙයක් පක්ෂයේ නිල ප්‍රකාශයක් වෙන්න ඕනෑ. නිල ප්‍රකාශයක් වෙන්න නම් ඒක කාටවත් තනියෙන්කියන්න බැහැ. මධ්‍යම කාරක සභාව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙලා ගන්න තීන්දුවක් තමයි දැනුම් දෙන්න වෙන්නේ.

ප්‍ර: අද වන විට මුළු රටම ඩෙංගුවලින් පිරිලා. ආණ්ඩුව මේ ප්‍රශ්නෙදිත් අසමත් නේද?
පි: නෑ ආණ්ඩුව අසමත් නෑ. ආණ්ඩුව නිසි වැඩපිළිවෙළක් යොදාගෙන යනවා. වැඩපිළිවෙළක් කීපයක්ම ක්‍රියාත්මක වෙනවා. මේ වගේ කාලයක ගංවතුර, වියළි කාලගුණයත් එක්ක කොළඹ ප්‍රදේශය ඇතුළු තදාසන්න ප්‍රදේශවල කැළි කසළ ප්‍රශ්න නිසා මේ ඩෙංගු උවදුර මෙවර ඉතා තදින් පැතිරුණා. දැන් ඩෙංගු මර්දන වැඩපිළිවෙළට අවතීර්ණ වෙලා තියෙනවා. මමත් විශ්වාස කරනවා ඒ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. අනෙක් අතට මේක ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට සලකලා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකට මූලිකත්වය අරගෙන කටයුතු කරන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ජනාධිපති කාර්ය සාධක බළකාය මුල්වෙලා මේ වෙනකොට විශාල වැඩකොටසක් කරගෙන යනවා. මම කියන්නේ ඉදිරියේ දී තවදුරටත් පහසුකම් අරගෙන ඒ වගේම පළාත් පාලන ආයතනවල සහායත් අරගෙන ඩෙංගු මර්දන වැඩපිළිවෙළ ශක්තිමත් කළ යුතුයි.

ප්‍ර: මම අහන්නේ ආණ්ඩුව මේ ව්‍යසනයේ දී ඇත්තටම අසමත් නේද?
පි: නැහැ… නැහැ… එහෙම අසමත් වීමක් නැහැ. මම මුලින්ම කිව්වනේ. දැන් මේ වෙලාවේ එකඑක්කෙනා කුළල්කා ගන්නේ නැතිව, එහාට මෙහාට වැරදි කියන්නේ නැතිව අපි මේ ප්‍රශ්නයට මූණ දිය යුතුයි. මේක අද ඊයේ ඇතිවුණු ප්‍රශ්නයක් ‍නෙවෙයි.

ප්‍ර: පළාත් පාලන ඡන්දය කල් දාලා කුණු ප්‍රශ්නය වගේ ප්‍රශ්න මතුවෙලා තියෙන්නෙ පළාත් පාලන ආයතන නැතිකමින් නේද?
පි: නෑ… පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙනවා. ඒ යාන්ත්‍රණය ඒ විදිහටම සිදු වෙනවා. මන්ත්‍රීවරු, යාන්ත්‍රණය නිසියාකාරයෙන් වෙනවා නම් එහෙම මන්ත්‍රීවරු, සභාපතිවරු අවශ්‍ය වෙන්නේ නැහැ. මන්ත්‍රීවරු එකතු වෙන්නේ දේශපාලන නායකත්වයක් දීමට නමුත් මම පිළිගන්නවා මේ යාන්ත්‍රණය මීට වඩා ක්‍රියාත්මක විය යුතුයි. අද රටේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි මහජන විරෝධතා මැද කුණු කොයිම ස්ථානයකටවත් දාන්න බැරිකමක් තියෙනවා. ඒක මේ ලබා දීලා තියෙන නිදහසත් එක්ක ඕන එකටයි, එපා එකටයි දෙකටම උද්ඝෝෂණය කිරීම නිසා සිදුවෙලා තියෙන දෙයක්. අද රටපුරා දියත්වෙලා තියෙන මේ උද්ඝෝෂණ රැල්ල එක අතකින් ලොකු හානියක්. හැබැයි ජනතාවටත් බරපතළ ගැටලුවක්. මෙන්න මේකත් මේ ප්‍රශ්නයට බලපාලා තියෙනවා.

ප්‍ර: මේ උද්ඝෝෂණ ජනතාවටත් හානියක් නම්, ඩෙංගු වගේ උවදුරුවලටත් ඒවා වක්‍රව බලපානවා නම්, ආණ්ඩුව ඒවට ඉඩ දීලා ඇයි බලාගෙන ඉන්නේ.
පි: මේක ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අසීමිත ලෙස භාවිත කිරීමක් අද සිද්ධවෙලා තියෙනවා. ඒක ඇත්තටම වැරදියි. මේ උද්ඝෝෂණය කරන අයම තේරුම් ගන්න ඕනෑ මේ ලැබිලා තියෙන නිදහස අයුතු ලෙස පාවිච්චි නොකරන්න. මොකද එය පාවිච්චි කිරීම තුළ තමයි ජනතාවට පීඩා විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේ දී රජයක් විදිහට මේ පිළිබඳ යම්කිසි තීන්දුවක් ගන්න බලා‍පොරොත්තු වෙනවා.

ප්‍ර: ඒ කියන්නේ මර්දනය කිරීමකටද සූදානම් වෙන්නේ?
පි: නෑ… නෑ… මර්දනය කිරීමක් කිසිසේත් කරන්නේ නෑ. මොකද ජනාධිපතිතුමා කිසිසේත් මර්දනයකට කැමැති නෑ. අවංකවම කියනවා නම් සමහර කාලවල මේවගේ දේවල් නවත්වන ක්‍රමවේද තිබුණා. ඒ ක්‍රමවේදයන් අද භාවිත කරන්නේ නෑ. අනෙක් අතට ඒක ඇත්තටම සුදුසුත් නෑ. නමුත් ජනතාව තුළ මෙතැනදී යම් දැනුවත් වීමක් විය යුතුයි, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ප්‍රධාන වශයෙන් අපි ආරක්ෂා කර ගත යුතුයි කියලා. ඒක වැරදි තැනකට තල්ලුවෙලා ගියොත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සීමා වෙන්න පුළුවන්. ඒක අධිකරණයේ දී වේවා දේශපාලනයේ දී තවත් ස්ථානවල දී වෙන්න පුළුවන්.

ප්‍ර: පසුගිය කා‍ලේ කැබිනට් සංශෝධනයක් වුණා. ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂිත අරමුණු ඉටුවුණාද?
පි: මේක පක්ෂ දෙකක් හා විවිධ පක්ෂ එකතුවෙලා කටයුතු කරන ආණ්ඩුවක්. එතකොට පූර්ණ කැබිනට් සංශෝධනයක් කළ යුතුයි යන තැන සිටි අවස්ථා තිබුණත් ඒක කිරීමට නොහැකි වුණේ දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවිය හැකිව තිබුණ නිසා. සම්මුතිවාදී රජයක් තුළ එකඟතාවන් සම්පූර්ණයෙන් විනාශ වන විදිහට ඒක කරන්න අමාරුයි. ඒක නිසා මේ වගේ තත්ත්වයන් වලදී පුළුවන් සීමාවට තමයි කැබිනට් සංශෝධනය සිදු කරලා තියෙන්නේ.

ප්‍ර: ඒකාබද්ධ විපක්ෂය නම් කියන්නේ රටේම ප්‍රශ්න ගොඩගැහිලා. වත්මන් ආණ්ඩුව වැඩබැරි ආණ්ඩුවක් කියලා?
පි: ඕක බලාගන්න පුළුවන් වෙන්නේ ආණ්ඩුව දිනාගත්ත දේවල් දිහා බලලා. ඇත්තටම ඒවත් කතා කළ යුතුයි. යම් යම් දේවල්වල අඩුපාඩු ඇති. අපි නෑ කියන්නේ නෑ. නමුත් ආණ්ඩුව දිනාගත්තු බොහෝ දේවල් අද වෙනකොට තියෙනවා. අභ්‍යන්තර වශයෙන් දිනාගත්ත දේවල් සහ ජාත්‍යන්තර වශයෙන් දිනාගත්ත දේවල්. ජී.එස්.පී. ප්ලස් සහනය, යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීම, ඒ වගේම ජාත්‍යන්තර හොඳ හිතා දිනා ගැනීම අපි ලබපු ලොකු ජයග්‍රහණ.  ඒ වගේ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අද වනවිට සුරක්ෂිත කරලා තියෙනවා. වෙන විදිහකට කියනවා නම් අපි ජාත්‍යන්තර වශයෙන් එල්ල වෙලා තිබුණු බලපෑම් අද නෑ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුණේ නැතිනම් මේ තත්ත්වය බොහෝ දුරට වෙනස් වෙන්න තිබුණා.

ප්‍ර: ඇමැතිතුමා එකක් ඉවර වෙද්දී එකක් වැඩවර්ජන එන්නේ ඇත්තටම ආණ්ඩුවට මේ ජනතා ප්‍රශ්න විසඳන්නේ නැති නිසා නේද?
පි: බලන්න බණ්ඩාරනායක මහත්තයට දවස් 365 දවසට වැඩවර්ජන කීයක් ආවද? ඒ වගේ රාජ්‍ය නායකයෙක් බලයට පත් වුණාම මේ නිදහස උපරිම වශයෙන් පාවිච්චි කරනවා. බණ්ඩාරනායක මහත්තයා කරපු හොඳ දේවල් බස් ජනසතු කිරීම වගේ දේවල් කරලා ජනතාවට සමාජ සාධාරණත්වය ඉටු කරද්දී වැඩ වර්ජනය සිදු කළා. මේක තමයි මේ වගේ නායකයෝ ආවම ඇතිවන තත්ත්වය. ඒ අය ලබා දෙන නිදහස වැරදි විදිහට පාවිච්චි කරනවා. ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු වෙනකොට තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ.

ප්‍ර: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වෙනකොට දෙකඩවෙලා කියලා කුමාර වෙල්ගම මහත්තයා කියනවා?
පි: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙහෙම කාලවල් තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාවත් ගොඩ එන්නේ නෑ කියලා කියපු කාලයක් තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයක් නෑ කියලා තිබුණා. ශ්‍රී ලංකා පක්ෂයේ නායකයෝ පවුල් පිටින් කැඩිලා ගියා. එක පවු‍ලේ හිටපු නායකයෝ වෙන්වෙලා ගියා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටුණේ නෑ, එකතු වුණා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වීම සම්බන්ධයෙන් කාටවත් උපකල්පන දෙන්න බෑ. කොයි මොහොතේ කොයි විදිහට හරි පක්ෂය එකතු වෙන්න පුළුවන්. අපි පක්ෂ ඉතිහාසය පුරාම ඒ අත්දැකීම ලැබුවා. අපි සිද්ධ වෙන කාරණය සම්බන්ධයෙන් අනාවැකි කියන්න සූදානම් නෑ. ඒකට සුදුසු වෙලාවකුත් ‍නෙවෙයි. ඒක සිද්ධ විය යුතු වෙලාවට සිද්ධ වෙයි.

ප්‍ර: ඔබ කියන විදිහට ආණ්ඩුව ලබපු ජයග්‍රහණ තියෙනවද? ඒ ජයග්‍රහණවල ප්‍රතිඵල ජනතාවට ලැබෙන්නේ කවද්ද?
පි: විශේෂයෙන්ම ලෝකයම ආර්ථික අර්බුදයක තියෙන අවස්ථාවක අපිත් යම්කිසි අර්බුදයක ඉන්නේ. අද චීනයට පවා ඔවුන්ගේ ඉලක්කගත ආර්ථික වර්ධන වේගයට යන්න බැරි වෙලා තියෙනවා. ට්‍රම්ප්ගේ ඇමෙරිකානු වෙනස් වීමත් එක්ක තවත් මේ තත්ත්වයට බලපෑවා. නමුත් මේ හැම දේම අවුරුදු දෙකකින් පමණ යථා තත්ත්වයට ගන්න අපිට පුළුවන් වෙයි. අපි එකතුවෙලා නිසියාකාරයෙන් මේක කළමනාකරණය කරගෙන ගියොත් අපිට ඒක කරන්න පුළුවන්.

ප්‍ර: රට තුළ තියෙනවා යැයි කියන ප්ලාස්ටික් සහල් සම්බන්ධයෙන් ඔබ මොකද කියන්නේ?
පි: අමූලික බොරුවක්. එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. ඒ පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් සිද්ධ වෙනවා.

ප්‍ර: පසුගිය ගංවතුරෙදි සහන සැලසීමේ දී ආණ්ඩුව බොහොම පසුගාමී තැනක නේද හිටියේ?
පි: ඒක ප්‍රචාරාත්මක වැඩපිළිවෙළක් විතරයි. මේ තරම් දිසාපතිලා, ප්‍රාදේශීය ‍ලේකම්ලට තමන්ගේ බලයට එහා ගිහිල්ලා තීන්දු ගැනීමේ හැකියාව රාජ්‍ය යාන්ත්‍රණය, හමුදාව, ‍පොලිසිය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙච්ච වෙන අවස්ථාවක් තිබුණේ නෑ. රජය ඉහළින්ම මැදිහත් වෙලා ඒ කටයුතු සිද්ධ කළා.

ප්‍ර: නායගිහින් විපතට පත් ජනතාවට නිවාස ලබා දීම් සිද්ධ වෙනවද?
පි: අනිවාර්යයෙන්ම. අපි ඉදිරියේ දී ලබා දෙනවා. ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු කරගෙන යනවා.

ප්‍ර: සාමසර කන්ද නාය ගිහින් නිවාස අහිමි වූ පුද්ගලයෝ තාම අවතැන් කඳවුරුවල. ඔවුන්ට අත් වූ ඉරණමම අත්වෙයිද?
පි: කිසිසේත් නෑ. එහෙම වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. මේ අයට අපි කඩිනමින් නිවාස ලබා දෙනවා.

සාකච්ඡා කළේ-සුජිත් කෝනාර
sujithkona@gmail.com