විවාදාපන්න ප්‍රකාශ පළ කිරීම නිසා සිංහල ජන සමාජයේ අවධානයට ලක්ව ඇති උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් ඉකුත් දිනවල ඉතාම මහඟු තීන්දුවක් ගත්තේය. ඒ දූෂණ වංචා ආදියට වැරදිකරුවන් වූ උතුරු පළාත් සභාවේ ඇමැතිවරුන් සිව් දෙනකුට අනතුරු ඇඟවීමය. ඔහු ඉන් ඇමැතිවරුන් දෙදෙනකුට තම ධුරවලින් ඉවත් වන්නැයි ඉකුත් 14 වැනි දා උතුරු පළාත් සභාවේ දී ප්‍රකාශ කළේය. උතුරු පළාත් සභාවේ අධ්‍යාපන ඇමැති ටී. කුරුකුලරාජා, උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති පී. අයියංගරනේෂන් යන අයට එසේ ඉල්ලා අස්වන්නැයි මහ ඇමැතිවරයා අවධාරණය කළේය. මෙකී ඇමැතිවරුන් චෝදනාවට ලක් වූයේ මෙයට මාස 10කට පමණ පෙරය. ඉන් පසු මහ ඇමැති විග්නේෂ්වරන් මහතා ඔවුනට එරෙහිව එල්ල වූ චෝදනාවල ඇත්ත නැත්ත සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. ඒ විශ්‍රාමික විනිසුරු එස්. ත්‍යාගේන්ද්‍රන්, විශ්‍රාමික විනිසුරු එස්. පරමරාජා, විශ්‍රාමික පරිපාලන නිලධාරී එස්. පත්මනාදන් යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙනි.

මෙම ත්‍රිපුද්ගල කමිටුව නිකුත් කළ වාර්තාවෙන් තහවුරු වූයේ චෝදනාවට ලක් වූ ඇමැතිවරුන් දෙදෙනා වැරදිකරුවන් බවය. ඒ අතරින් කෘෂිකර්ම ඇමැති පී. අයියංගරනේෂන් මහ ඇමැතිගේ ඉල්ලීම පිළිගැනීමට කැමැත්ත පළ කළ බව සමහර වාර්තා පැවසුව ද තවත් වාර්තාවක් සඳහන් කළේ දෙදෙනාම තමන් නිවැරදිකරුවන් යැයි ප්‍රකාශ කළ බවය. උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ මේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය නිසා ඔහුට එරෙහිව පළාත් සභාවේ බහුතරයගේ අත්සනින් යුතු දෝෂාභියෝගයක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේට භාර දී තිබේ. එසේ වුව ද මහ ඇමැතිවරයාට සහයෝගය පළ කරමින් යාපනය සරසවියේ සිසුන් ඇතුළු මහජනතාව පෙළගැසී සිටින ආකාරය දැකගත හැකිය.

සැබැවින්ම මේ දෙස අපට කිහිප ආකාරයකින් බැලිය හැකිය. එක් පැත්තකින් උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ ජු පිළිවෙතය. අනෙක් පැත්තෙන් ඔහු ආරක්ෂා කර ගැනීම සඳහා යාපනයේ මහජනතාව පෙළගැසීමය. උතුරු පළාත් සභාව පිහිටුවා තවම වැඩි කාලයක් ගතවූයේ නැත. එනිසා දූෂණ වංචා මතු වූ අවස්ථාවේම ඊට එරෙහිව මහ ඇමැතිවරයා ජුව පියවර ගැනීම ඉතාම අගය කළ යුතු කරුණකි. ඒ සඳහා ඔහුට පෞරුෂයක් කොන්දක් තිබිම අපගේ ඇගැයීමට ලක් වේ. උතුරු මහ ඇමැතිවරයා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි. එහෙයින් ඔහුගේ දැනඋගත්කම ගැන අමුතුවෙන් කිවයුතු නැත. ඔහු බඳු කෙනකු උතුරු පළාත් සභාවේ මහ ඇමැති ධුරයට පත්වීමෙන් යහපත් දේශපාලන සංස්කෘතියක් උතුරේ හෝ නිර්මාණය වනු ඇතැයි අපට යම් අපේක්ෂාවක් ඇතිවිය. එසේ වුව ද ඔහු යම් යම් අවස්ථාවල දී දෙපැත්තට කඹ අදින දේශපාලන සංස්කෘතියේ ගොදුරක් වීම නිසා අපගේ අපේක්ෂා යම් මට්ටමකට භංග විය. එසේ නමුදු යළි අපට විග්නේෂ්වරන් මහතා ගැන සාධනීය අපේක්ෂාවක් ඇති වේ. ඒ පෙර කී ලෙස ඔහු දූෂිත දේශපාලන ක්‍රමයට එරෙහිව අඩි කීපයක් පෙරට ගැනීමය. ඔහු විනිසුරුවරයකු සේ කටයුතු කළ අවධියේ ද ජුව වැඩ කළ කෙනෙකි.

මේ වන විට උතුරු මහ ඇමැතිවරයා හමුවේ තිබෙන්නේ පළාත් සභාව තුළ තම බහුතරය තහවුරු කර ගැනීමේ අභියෝගයකි. ඔහු සඳහන් කරන්නේ තමන්ගේ දේශපාලන අනාගතය අනතුරට ගිය හැකිය යන බිය ඇති වුව ද තමා මෙකී දූෂණ විරෝධී පියවර ගත් බවය. එමගින් පෙනෙන්නේ ඔහු තම දේශපාලන අනාගතය නොතකා දූෂණයට, වංචාවට, අල්ලසට එරෙහි වී ඇති ආකාරයයි. ඔහුගේ දේශපාලන අරමුණු කෙසේ වෙතත් මෙකී පියවර රටේ අවධානයට ලක්විය යුතුය.

මහ ඇමැතිවරයා සහ දෙමළ සන්ධානය අතර මේ වන විට හොඳහිත පළුදු වී තිබිම ඔහුගේ දූෂණ විරෝධී සටනට නරක අයුරින් බලපා හැකිය. ඉන්දීය අගමැති මෝදිගේ දෙවැනි ලංකා සංචාරයේ දී ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ සන්ධාන නියෝජිතයන් කටුනායක ගුවන් තොටු‍පොළේ දී මෝදි හමු වුව ද ඒ හමුවට මහ ඇමැති විග්නේෂ්වරන්ට ඇරයුම් කර තිබුණේ නැත. එවැනි පසුබිමක අපට පෙනෙන්නේ උතුරේ මහ ඇමැතිවරයාගේ සටනට දෙමළ සන්ධාන සහයෝගය ලැබිම අඩමානයක පවතින බවය. දෙමළ සන්ධානයේ සහ උතුරු පළාත් මහ ඇමැතිගේ අන්තර්ජාතික දේශපාලන සබඳතාවල  වෙනස්කම් පවතී. මෙකී වෙනස්කම් ද මේ දෙපාර්ශ්වය අතර දේශපාලන ගැටුම් ඇති කිරීමට හේතු වී තිබෙන බව පෙනේ.

උතුරේ සමාජ, දේශපාලන, ආර්ථික තත්ත්වය පිළිබඳ අමුතුවෙන් විස්තර කළ යුතු නැත. දශක තුනකට අධික කාලයක් තිස්සේ ත්‍රස්තවාදී සංවිධානයකට සහ ඊට එරෙහිව ක්‍රියාත්මක වූ යුද මෙහෙයුම්වලින් පීඩාවට පත් උතුරේ ජනතාවට පැදුරෙන් වැටෙන්නවත් පැදුරක් තිබුණේ නැත. එහෙයින් එබඳු ජන සමාජයක් දූෂණ, වංචා ත්‍රස්තවාදයේ ගොදුරක් වීමට කිසිසේත්ම ඉඩ දිය යුතු නැත. උතුරේ ජනතාවට වුවමනා කරන්නේත් ඔවුන් කෙරෙහි කරුණාවෙන් යුතුව වැඩ කරන එසේම දූෂණ, වංචාවෙන්, අල්ලසින්, අකාර්යක්ෂමතාවෙන් තොර නායකත්වයකි. උතුරු හැදිය හැක්කේ එබඳු නායකත්වයකින් පමණි. එවැනි නායකත්වයකට බිම් මට්ටමින් උතුරේ ජනතාවගේ ප්‍රශ්න රැසක් විසඳීමට තිබේ. විශේෂයෙන් ඔවුන්ගේ ආර්ථික කටයුතු සඳහා හේතු වන යටිතල පහසුකම්වල සැලකිය යුතු සංවර්ධනයක් නැත අනෙක් අතට දෙමළ සමාජයේ කුලවාදය ද උතුර ගොඩනැගීමට ප්‍රබල බාධාවක් වී තිබේ. මේවා උතුරේ දෙමළ සමාජය ජයගත යුතු අභියෝග ය.

උතුරේ වැසියන් ඔහු වැනි දැන උගත් පරිණත පුද්ගලයකු තමන්ගේ නායකයා සේ තෝරා ගත්තේ බලා‍පොරොත්තු රැසක් සහිතවය. ඒ බලා‍පොරොත්තු ඉටුකිරීමට නම් මහ ඇමැතිවරයා දූෂණ, වංචා ආදියට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක සිටීම අත්‍යවශ්‍ය කරුණකි. ආරම්භයේදීම ඊට වැට බැඳීම ඉතා සාධනීය පියවරක් වනු ඇත.

දැන් අපි උතුරින් දකුණට හැරෙමු. (අප හොඳින් දන්නා පරිදි උතුර හා දකුණ යන මේ යෙදුම්වල හුදු සාම්ප්‍රදායික දේශපාලනික භාවිතයක් විනා භූගෝලීය අර්ථයක් නැත.) අප මුලින් සඳහන් කළ යුත්තේ දකුණේ නායකයන්ට කළ නොහැකි කාර්යයකට උතුරේ මහ ඇමැතිවරයා අතගසා ඇති බවය. සමහර විට ඔහු මේ සටනින් ජය ගැනීමට සේම පරාජය වීමට ද ඉඩකඩ තිබේ. එහෙත් අප අගය කළ යුත්තේ ඔහු තැබූ යහපත් පූර්වාදර්ශයයි. දකුණේ නායකයෝ බලයට එන්නේ දූෂණ, වංචාවට, අල්ලසට, අකාර්යක්ෂමතාවට එරෙහිව සුමධුර දෙසුම් පවත්වමිනි. එසේ වුවත් ඔවුනට දූෂිත දේශපාලනඥයන්ට, ඉහළ නිලධාරීන්ට එරෙහිව ජුව තීන්දු ගැනීමට හැකියාවක් නැත. කවර ආණ්ඩුවක් පැමිණිය ද දූෂිත දේශපාලනඥයෝ ඒ පැත්තට මේ පැත්තට පනිමින් තම ජාම බේරාගනිති. මේ දූෂිත දේශපාලනඥයෝ ආණ්ඩු බලය තමන්ගේ ආරක්ෂාව සඳහා සන්නාහකයක් සේ භාවිත කෙරෙති. මෙහිලා දකුණේ දේශපාලනය පිළිබඳ අපගේ විරෝධය වර්ධනය වන්නේ දේශපාලන ලොක්කන් ජනතාව පරාජය කළ දූෂිතයන්ට ද යම් යම් තනතුරු ආදිය ලබා දී ඔවුන් දිරිමත් කරන නිසාය. මෙනිසා දකුණේ දේශපාලනඥයෝ කවර ආණ්ඩුවක් පැමිණිය ද එමගින් තමන්ට ආරක්ෂාවක් ඇතැයි හොඳින් දනිති. ඔවුන් ටොන් ගණන් දූෂිත වංචා වැඩවල නිරත වන්නේ එනිසාය. ආණ්ඩු ලොක්කෝ තම දේශපාලන සෙල්ලමේ දී එසේත් නැත්නම් දේශපාලන ඉත්තන් එහා මෙහා කිරීමේ දී කවර ඉත්තකු වුව ද පාවිච්චි කරති. ඉත්තා කළු ද සුදු ද යන්න ඔවුනට වැදගත් නැත. සැබැවින්ම දූෂිතයන් රැකෙන්නේ මෙකී දේශපාලන සෙල්ලම නිසාය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද මෙවැන්නන් කෙරෙහි දැක්වූ කරුණාව නිසා අන්තිමට ඒ ආණ්ඩුවට සිදු වූයේද ගෙදර යන්නටය.  දැනට රට පාලනය කරන ආණ්ඩුවේ දේශපාලන ලොක්කෝ ද දූෂිතයන්ට, වංචනිකයන්ට, අල්ලස් ගත්තවුන්ට, කළු සල්ලිකාරයන්ට එරෙහිව අගති විරහිතව නීතියක්‍රියාත්මක කරන බව කීහ. එසේ වුව ද තවම එහි සැලකිය යුතු ප්‍රගතියක් නැත. මෙනිසා දූෂිතයන්ට දඬුවම් දීම දේශපාලන සෙල්ලම තුළ තවත් සෙල්ලමක පමණක් වී තිබේ.

එපමණක් නොව චෝදනා ලැබූවෝ සැලුන් දොරින් ආණ්ඩුවට රිංගා ගත්හ. එනිසා ඔවුහු ආරක්ෂාවක් ලැබූහ. ආණ්ඩුවේ ද විවිධ චෝදනාවලට ලක් වූ මැති ඇමැත්තෝ සිටිති. නිලධාරීහු සිටිති. හිටපු මහ බැංකු අධිපතිගේ අයථා වැඩපිළිවෙළට එරෙහිව ශක්තිමත් සාක්ෂි ඕනෑතරම් ඉදිරිපත් කර තිබේ. මෙයට නොබෝ දිනකට පෙර කොන්ද පණ තිබෙන හොඳ නිලධාරියකු වන විගණකාධිපතිවරයා බැඳුම්කර ගනුදෙනුව ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ දී අයථා බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ඉතා ශක්තිමත් සාක්ෂි සැපයීය. බැඳුම්කර ගනුදෙනුවෙන් රටේ ආර්ථිකයට කෙතරම් මරු පහරක් වැදී තිබේදැයි තේරුම් ගැනීමට ඔහුගේ සාක්ෂි පමණක් වුව ද ප්‍රමාණවත්ය. මේ දූෂිත ගනුදෙනුවට වගකිවයුත්තන්ට එරෙහිව කොමිසමෙන් පසු හෝ පියවර නොගන්නේ නම් එය මෙරට සබුද්ධික දැන උගත් සමාජයේ යුක්තිය පිළිබඳ අන්තිම බලා‍පොරොත්තුව ද බිඳ දැමීමට හේතු වනු ඇත.

මෙවැනි රටක උතුරු පළාත් මහ ඇමැතිවරයා දූෂණ, වංචා චෝදනා ලැබූ තම පළාත් සභාවේ ඇමැතිවරු දෙදෙනකුට එරෙහිව පියවර ගැනීම අපගේ අස්වැසිල්ලට හේතු වේ. එයින් අප සඳහන් කරන්නේ මහ ඇමැති විග්නේෂ්වරන්ගේ සේවය උතුරට සීමා නොකොට ඔහුට වගකිවයුතු කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දී රටේම යහපතට යොදාගත යුතු බවය. ආණ්ඩුව කළ යුත්තේ ඔහුට උතුරේ මහ ඇමැතිකම අහිමි වුවහොත් දැනට පාර්ලිමේන්තුවේ සිටින ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුට ඉන් ඉල්ලා අස්වන්නැයි කියා මහ ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ගෙන ඔහුගෙන් රටට වැඩක් ගැනීමය. එය ජනාධිපතිවරයාගේ යහ පාලනය පිළිබඳ අභිලාෂය ඉටුකර ගැනීමට රුකුලක් වන බවට සැකයක් නැත. අපට පෙනෙන හැටියට උතුරේ වැසියන් පමණක් නොව රටේම වැසියන් මහ ඇමැති විග්නේෂ්වරන්ගේ දූෂණ විරෝධී සටනට සහයෝගය පළ කළ යුතුය. පටු දේශපාලන මතභේද නොතකා ඒ හා එක්විය යුතුය. එය රටම යහපත් තැනකට යොමු කිරීමට කදිම ආරම්භයක් වන බවට සැකයක් නැත.

වරුණ අබේසේකර

wigneshwaran