ඩෙංගු මදුරු උවදුර දිනෙන් දින මොහොතින් මොහොත මහා ව්‍යසනයක් බවට පත් වෙමින් රටම පීඩාවට පත් කරමින් සිටී.

මෙම තත්ත්වය කොතරම් උග්‍ර වී ඇද්ද යත් ‘ජාතික ඩෙංගු මර්දන දිනය’ ප්‍රකාශයට පත්කරමින් හරියට එකම වේලාවක එකම නැකතක අවුරුදු චාරිත්‍ර පවත්වනවා මෙන් එක දිනෙක එකම වේලාවක රටේ සමස්ත පුරවැසියන් ඒ මොහොත වන විට තමන් සිටින ඕනෑම ස්ථානයක සිට ඩෙංගු මර්දනය සඳහා කැපවෙන වැඩසටහනක් ලෙස එය ක්‍රියාවට නංවන්නටද සෞඛ්‍ය බලධාරින් සැලසුම් සකස් කර අවසන්ය.

ඉකුත් ජුනි 06 වන දින සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජේ.එම්.ඩබ්ලිව්. ජයසුන්දර මහතා  සඳහන් කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කළ පරීක්ෂණයකදී තම නිවසින් ද මදුරු කීටයන් බෝවන ස්ථාන හමුවූ බවයි.

ඩෙංගු මර්දන තුන් මසක් හා එකවර ක්‍රියාත්මක වන දින කිහිපයක් ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ මෙකී මාධ්‍ය හමුවේදීය.
ඩෙංගු මර්දන සඳහා අතිශයින් සාර්ථක ක්‍රමයක් පිළිබඳව ‘රිවිර’ අප රටට කීවේ මීට වසර හතකට පමණ පෙරය. හරියටම කිව්වොත් ඒ 2011 ජූලි මස 24 වන ඉරු දිනය.

“ඩිංග ඩිංග වෙස් වළා ගන්නා ඩෙංගු මාරයා සහමුලින් වනසන්න වයඹින් බිහිවූ අරුම පුදුම මරඋගුල මැයෙන් මෙම ලිපිය එදින රිවිර හි පළ විය.

ඒ පිළිබඳව විශාල පාඨක ප්‍රතිචාරයක් ලැබුණ ද රාජ්‍ය අනුග්‍රහය නොලැබුණෙන් මේ මදුරු උගුල පිළිබඳ කතාව ලත් තැනම ලොප් විය.

වසර හතක් ඈතට විහිදී යන මේ අතීත කතාව දිගේ අප වර්තමානයට එන්නේ ඉහත කී මාධ්‍ය හමුවේදීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළ ප්‍රකාශයක් මුල් කරගෙනය.

“මදුරු කීටයන් බෝවන ප්‍රදේශ හඳුනා ගැනීමේදී ජනතාව සවිඥානික නොවුණහොත් එවැනි ස්ථාන සිය ඇසින් මගහැරී යා හැකියි.”

මේ ප්‍රකාශය පිළිබඳව සලකා බැලූ කල සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මනා අත්දැකීම් ඇති පළපුරුදු දක්ෂ වෛද්‍යවරයකු වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවසේ පවා ඩෙංගු මදුරු කීටයන් ඇති ස්ථාන සැඟවී තිබුනේ නම් ඔබ අප වැනි මිනිසුන් ගැන කවර කතාද?

මෙම ප්‍රකාශය ඉතා වටිනා ප්‍රකාශයකි. තම නිවසින් මදුරු කීටයන් සිටින ස්ථාන හමුවීම රටට සඟවා ගෙන මාධ්‍යයට හෙළි නොකර සිටීමට ඕනෑ තරම් ඉඩ ප්‍රස්ථා තිබියදී එසේ නොකොට එය රටට හෙළි කර රටේ හෙට දිනය ඩෙංගු උවදුර මුලිනුපුටා දමන දිනය බවට පත් කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඇති අවංක ඕනෑකම මොනවට පෙන්නුම් කර දෙයි. ප්‍රායෝගික රාජ්‍ය නිලධාරියකු ලෙස ඒ මහතා කරනු ලබන කැපවීම අපද අගය කරන්නේ ඒ නිසාය.

අප දැන් ඉහත කී ලිපිය ලියූ 2011 වසර තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් ප්‍රමණය කොතෙක්දැයි විමසා බලමු.

සංඛ්‍යා ‍ලේඛනවලට අනුව 2011 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් ප්‍රමාණය 28473කි. එය 2016 වසරේදී 55750කි. 2017 ජුනි මස එළැඹෙන විට (මීට සතියකට පමණ පෙර) 59760කි. (එය සමහර විට මේ වන විට 60,000) ඉක්මවා තිබිය හැක.) මේ වසරේ ගෙවී ගිය හය මස තුළ ඩෙංගු මර්දනය එසේ නම් ඉදිරි හය මාසයේදී එය ලක්ෂය ඉක්මවීම වළකාලන්නට නම් සාර්ථක ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුය.

මීට වසර දහයකට පමණ පෙර මේ අරුම පුදුම ඩෙංගු මර උගුල නිර්මාණය කළ ඒ අපූරු නිර්මාණකරුවා සිසිර බණ්ඩාර බස්නායකය. වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වූ ඔහු දැනට වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කුඹුක් ගැටේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ සේවය කරයි.

“මේ වෙද්දී ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුව බවට පත් වෙලා. මේ ව්‍යසනයෙන් රට බේරාගැනීමට බොහෝ කාලයක සිට අනුගමනය කරන ක්‍රියාමාර්ග රැසක් තියෙනවා. මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, දුමායනය, බි.ටී.අයි. බැක්ටීරියාව යෙදීම, මදුරුවන් බෝවන ස්ථානවලට කීට නාශක රසායනික ද්‍රව්‍ය එක් කිරීම, ඇතැම් ස්ථානවල කීට භක්ෂක මසුන් ව්‍යාප්ත කිරීම මේ අතරින් ප්‍රධානයි.

මේ ක්‍රියාවලිය මගින් මතෛක් කළෙත්, ඉදිරියට ගෙන යන්න සැලසුම් කළෙත් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සාර්ථකම ක්‍රමය ලෙස සලකලයි.
නමුත් අප ඒවා මර්දනය කරන්න කරන්න මදුරුවා ඒවාට විකල්ප සොයා ගන්නවා. අපට පහසුවෙන් ඇස නොගැටෙන ස්ථාන මදුරුවාට ඉතා පහසුවෙන් හඳුනාගත හැකියි. ඩෙංගු මදුරුවා මර්දනයට මතෛක් ගත් සියලු ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වන වට ලංකාවෙන් ඩෙංගු තුරන් වෙන්න ඕනෑ. මදුරුවා කියන්නේ ඉතා ඉක්මනින් පරිසර තත්ත්වයන්ට අනුවර්තනය වන සත්ත්ව කොට්ඨාසයක්.

සාමාන්‍යයෙන් ඩෙංගු මදුරුවන් බිත්තර දමන්නේ පිරිසිදු ජලයේ. නමුත් පිරිසිදු ජලය නැහැ කියලා ඔවුන් බිත්තර නොදමා ඉන්නෙ නැහැ. ළිං වැනි සාමාන්‍යයෙන් බිත්තර දැමීම නොකරන ස්ථාන වගේම දූෂිත ජලයේ බිත්තර දාන්න ඔවුන් පුරුදු වෙනවා. දූෂිත ජලයට ඩෙංගු මදුරු කීටයන් ඔරොත්තු නොදෙන බවයි අප දන්නේ. නමුත් ජානමය වශයෙන් එවැනි දූෂිත ජලයට ඔරොත්තු දෙන ප්‍රභේදන ඉන්න පුළුවන්. ඒ වගේ මදුරුවන් මගින් මදුරු පරම්පරාවක් බෝවෙන්න පුළුවන්.

මේ වගේ කරුණු සැලකිල්ලට අරන් පැහැදිලි කරලා, ඔප්පු කරලා දැනට ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන ක්‍රමවල අසාර්ථක බවක් තියෙනවා කියලා මීට වසර කිහිපයකට පෙර මා කළ පර්යේෂණවලින් සොයාගත් තොරතුරු දත්තවලට අනුව මා විසින් ශ්‍රී ලාංකවේ සියලු මදුරුවන් මර්දනය කළ හැකි නියමු ව්‍යපෘතියක් රටට ඉදිරිපත් කළා.

මගේ ක්‍රමය මදුරුවන් බිත්තර දමන ස්ථාන වැඩි කරලා මදුරුවන් නොව කීටයන් විනාශ කිරීම. එවිටයි ඩෙංගු මදුරු වර්ධනයට නොව මර්දනයට මග පෑදෙන්නේ.

මේ සඳහා මා 2011 වෙද්දී නිර්මාණය කළා මදුරු කීට විනාශ වෙන මදුරු උගුලක්.
ඩෙංගු මදුරුවා ජලයේ බිත්තර දමන්නේ නැහැ. ජල පෘෂ්ඨයට ඉහළින් ඇලවීමයි කරන්නේ. ඔවුන් හරිම කැමැතියි ඉතා සුමට පෘෂ්ඨවල මෙහෙම බිත්තර අලවන්න. ඒ පෘෂ්ඨ තියෙන්නෙ අඳුරු ස්ථානවල නම් වැඩේ තවත් සාර්ථකයි. මේ බිත්තරවලින් එළියට එන්නේ මදුරු කීටයන්. මේ මදුරු කීටයන් විනාශ කිරීමයි මා නිර්මාණය කළ උගුලෙන් සිදුවෙන්නේ.

මදුරුවන් බිත්තර දමන ස්ථාන විනාශ කිරීම වෙනුවට සේ බිත්තර දමන්න පුළුවන් ස්ථාන නිර්මාණය කරලා මදුරු කීටයන් විනාශ කරන මේ ක්‍රමය අඛණ්ඩව මාස තුනක් රට පුරා ක්‍රියාත්මක කළොත් මාස තුනක් ඇතුළත ශ්‍රී ලංකාවේ ඩෙංගු පමණක් නොවේ සියලුම මදුරුවන් විනාශ කරන්න පුළුවන්. මදුරුවා කියන සත්ත්වයා ශ්‍රී ලංකාවෙන් නැත්තටම නැති කරලා දාන්න පුළුවන්.

මා මේ බව වගකීමෙන් යුතුව කියනවා. රටේ මදුරු උවදුර තුරන් කරන්න අවංක වුවමනාවක් තියෙනවා නම් මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න කියලා මා වගකිව යුතු පාර්ශ්වවලින් ඉල්ලා සිටිනවා.”

මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබුණා නම් මේ වන විටත් අපේ රට මදුරුවන්ගෙන් තොර රටක්. ඩෙංගු උවදුර මුලිනුපුටා දැමූ රටක්. එහෙම වුණා නම් දැන් වසර ගණනාවක් තිස්සේ ඩෙංගු රෝගයෙන් මියගිය අය මියයන්නේ නැහැ. දැන්වත් මේ ගැන අවධානය යොමු කරවලා මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න කියලා මා ඉල්ලා සිටිනවා. වසර හතක් තිස්සේ මා මේ උගුල හදලා බලාගෙන ඉන්නවා. අදාළ වගකිවයුතු අයට මේ ගැන කියනවා. කවුරුත් ඇහුන්කන් දෙන්නේ නැහැ. ඒ වෙනුවට බාධා පමුණුවනවා. මේ නිසා  මා මේ කෙරෙහි සංවේදී පිරිසක් එකතු කරගෙන ‘ගෝලීය හරිත බිම’ (ග්ලෝබල් ග්‍රීන් ග්‍රවුන්ඩ්) එහෙමත් නැත්නම් “ට්03” නමින් ස්වේච්ඡා සංවිධානයක් පිහිටුවා ගෙන තියෙනවා. මේ උගුල ස්ථානගත කිරීම සඳහා වූ පුහුණු කණ්ඩායමක් අපට ඉන්නවා. විවිධ ප්‍රදේශවලින් මේ උගුල් ස්ථානගත කර දෙන්න කියලා ඉල්ලීම් අපේ සංවිධානයට ලැබිලා තියෙනවා. ඒ අනුව අප මේ වැඩසටහන අපේ ශක්ති පමණින් ආරම්භ කරනවා රාජ්‍ය අනුග්‍රහය එයට ලැබුණොත් මේ වැඩසටහන වේගවත් කරන්න පුළුවන්. අනික විශේෂයෙන් කියන්න ඕනෑ, ඉල්ලීම් කරලා කරලා බැරිම තැන රුපියල් ලක්ෂ 25ක් පමණ වැය කරලා අප මේ මදුරු උගුල් නිෂ්පාදනය කරන්න අවශ්‍ය මෝල්ඩ් ආදී දේවල් හදාගෙනත් ඉවරයි.

ලොකු ඉඩමක පිහිටි නිවසක් වටා මේ වගේ උගුල් 4-5ක් සවි කළාම ඇති. සාමාන්‍යයෙන් පර්චස් 10-15 ඉඩම්වලට නම් උගුල් 2-3ක් ඇති මේ සඳහා වැය වන මුදල ඉතා සුළුයි. මසකට මදුරු නාශක සඳහා අප වැය කරන මුදලටත් අඩු මුදලක් තමයි මේ සඳහා වැය වන්නේ. අප ලාභ ලබන ව්‍යාපාරයක් නෙමේ රටට සේවයක් කරන ස්වේච්ඡා සංවිධානයක්. ඒ නිසා ඉතා අඩු මුදලකට ජනතාව අතට මේ උපකරණ දෙන්න පුළුවන්.

මේ උගු‍ලේ ව්‍යුහය මෙහෙමයි. අඟල් හතක පමණ උසකින් යුත් කවාකාර ප්ලාස්ටික් බඳුනකට ජලය පුරවා තියෙනවා. එහි වැඩි ජලය බැහැර වීමට පිටාර සවි කරලා තියෙනවා. මේ මත පුනීලාකාර හැඩයකින් යුතු කළු පැහැති අර ජල බදුනේ ගිල්වලයි තියෙන්නේ. එහි උඩ අඟල් භාගයක වගේ විෂ්කම්භයකින් යුත් ප්ලාස්ටික් නළයක් තියෙනවා. මේ ජල බදුන සහ පුනීලාකාර කොටස අතරට භූමිතෙල් ස්වල්පයක් එක් කරනවා.

මේ පුනීලාකාර පියන මත සෙ.මී. 2*2 ප්‍රමාණයෙන් සිදුරු සහිත ප්ලාස්ටික් දැලක් සවි කරලා තියෙනවා. ඒ නිසා මදුරුවාට හැර කුරුල්ලන් වැනි සතුන්ට මේ උගුලට පැමිණ ජලය පානය කරන්න එන්න බැහැ. උගුලට කොළ රොඩු වැටීමත් වළකිනවා.

මෙසේ සකස් කළ උගුල් අවශ්‍ය ප්‍රමාණය අදාළ නිවෙස් අවට මදුරුවන් බහුලව ගැවසෙන අඳුරු සහිත ස්ථානවල තැන්පත් කළ යුතුයි. උගුලට අමතරව මදුරුවන් බෝවන ස්ථාන ඇතොත් ඒවා ඉවත් කළ යුතුයි. දැන් මේ උගුලින් මදුරුවාට බිත්තර දැමීම සඳහා ඉතා ප්‍රශස්ති ස්ථාන කිහිපයක් නිර්මාණය වෙලා.

මේ නිසා මදුරුවා තමන්ට බිත්තර දැමීමට ඉතා සුදුසු ස්ථානය වන මේ උගුලට ආකර්ෂණය වෙනවා. එසේ ආකර්ෂණය වන මදුරුවන් උගු‍ලේ පුනීලාකාර කොටසේ බිතර දමනවා. (බිත්තර අලවනවා) බිත්තර පුපුරා පිටතට පැමිණෙන මදුරු කීටයන් පුනීල සිදුර දිගේ ජලයට යනවා. හුස්ම ගැනීම සඳහා ජලයෙන් මතුපිටට ඔවුන්ට එන්න සිදුවන්නේ ජල බඳුනේ බිත්තිය ඔස්සේ. එවිට ඔවුන් පුනීලය සහ ජල බඳුන අතර ඇති කොටසට පහසුවෙන් ඇතුළු වෙනවා. එසේ ඇතුළු වෙද්දීම එම කීටයන් භූමිතෙල් ආඝ්‍රාණය වීමෙන් මිය යනවා.

වැඩිම මාස තුනක් ඇතුළත මෙසේ බිත්තර දමන වැඩිහිටි මදුරුවන් තම ආයු කාලය අවසන් වෙලා මියයනවා. ඔවුන් දැමූ බිත්තරවලින් උපන් කීටයන් උගුල තුළ මිය යනවා. මේ නිසා නැවත පරම්පරාවක් බෝකිරීම සඳහා වූ මදුරුවන් පිරිසක් නැතිව යනවා. මේක ඉතා සරල පහසු අඩු වියදම් ක්‍රමයක්.”

සිසිර බණ්ඩාර බස්නායක නම් නව නිර්මාණකරුවාගේ මෙම නව නිර්මාණය රටට, රටේ හෙටට බොහෝ වටිනා නිර්මාණයක් බව අපේ හැඟීමයි. මේ අපූරු නිර්මාණකරුවාට පමණක් නොව මෙවැනි නව නිර්මාණකරුවන් බොහෝ දෙනකුට එවන් කාර්යන්හිදී ලැබෙන්නේ මල් ‍පොකුරුවලට වඩා ගල්මුගුරුය. ඒ රටේ හැටිය. ඒ සඳහා මෑත උදාහරණ දෙකක් ඇත. පළමුවැන්න ගල්නෑවේ උපන් අනුරාධපුර මැදි මහ විදුහ‍ලේ සිසුවකු වූ තිසර බණ්ඩාර ලෝකයේ ප්‍රථම වතාවට කවකටු පෙට්ටිය වැඩිදියුණු කිරීමය. මේ සඳහා නිසි අතදීමක් නොලැබෙන කල ඔහු එය තනිවම නිෂ්පාදනය කරගෙන ගමෙන් ගම පාසලෙන් පාසල යයි.

ඔහුගේ වටිනාකම අපට නොතේරුණාට චීනාට තේරී ඇත. තිසරට චීනයෙන් වසර හතරක ශිෂ්‍යත්වයක් ලැබුණේ ඒ නිසාය. සමහර විට හෙට දිනයේ මේ කවකටු පෙට්ටියද ‘මේඩ් ඉන් චයිනා’ ලෙස අපේ දරුවන් අතට පත් වූවොත් එහි පුදුම වන්නට දෙයක් නැත.

දෙවැන්නා ගම්‍පොළ විකුම්ය. ඔහු නිර්මාණය කළ ජංගම කසළ ප්‍රතිචක්‍රීයකරණ යන්ත්‍රයෙන් නිසි ප්‍රයෝජනයක් ගන්නට තවමත් මගපෑදී නැත. ඉන් ප්‍රයෝජන ගන්නේ කාර්ගිල්ස් ෆුඩ්සිටි ව්‍යාපාරය පමණි. ඔවුන්ගේ කසළ ප්‍රතිචක්‍රීයකරණයට එම යන්ත්‍රය යොදාගැනීම ඔවුන් ද තීන්දු කර හමාරය. එම යන්ත්‍රය යම් දිනෙක ‘මේඩ් ඉන් ජපන්’ ලෙස අපේ වෙළෙඳ‍පොළට ආවාට අප පුදුම විය යුතු නැත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වූ සිසිර බණ්ඩාර බස්නායකගේ ඩෙංගු මදුරු උගුලට නම් ඒ ඉරණමට යන්නට ඉඩ නොදිය යුතු බව අපේ හැඟීමයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ද අනුදැනුම ඇතිව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සැලසුම් කර ඇති ඩෙංගු මර්දන තුන්මාසය රට පුරා එකම දිනකදී මේ ඩෙංගු මදුරු උගුල ශ්‍රී ලංකාවේ සියලු නිවාස, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, කම්හල්, වැඩබිම්, වෙළෙඳසල්, ආදී කොටගත් මෙකී නොකී සෑම සියලු තන්හි ස්ථානගත කිරීමෙන් ආරම්භ කළ හැකි නම් රටේ සමස්ත මදුරු උවදුර තුරන් කිරීමට මගපැදෙතැයි විශ්වාසයක් මේ මදුරු උගුල ප්‍රායෝගිකව පරීක්ෂා කර බැලූ සාමාන්‍ය සිවිල් පුරවැසියන් වූ අප තුළද තිබේ.

2011 වසරේදී මෙම ඩෙංගු මදුරු උගුල නිරීක්ෂණය කළ එවකට කුරුණෑගල නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ නිමල් චන්ද්‍රසිරි ද සිල්වා මහතා එම මදුරු උගුල කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශයේ නාගරික කොට්ඨාස 12 තුළ පිහිටි සියලු නිවාස තුළ ස්ථානගත කිරීමේ වැඩසටහක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු යෙදුවද 2011 පැවැති නගර සභා මැතිවරණයෙන් ඒ මහතාට නගරාධිපති ධුරය අහිමි වීමත් සමග වැඩසටහනටද වෙච්ච දෙයක් නැති විය.

ඒ මහතාගේ 2011-2015 කුරුණෑගල ගොඩනගන මගේ දැක්ම ‍පොත් පිංචෙහිද ඒ බව සඳහන්ය.

ඩෙංගු රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධයක් හිඟවී ඇති හෙයින් එය වහා ගෙන්වන ලෙසටත් එය ඉන්දියාවෙන් නොව තායිලන්තයෙන් ගෙන්වන ලෙසටත් රජයට බල කරමින් විරෝධතා දක්වන රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට ඩෙංගු මෙරටින් තුරන් කිරීම සඳහා අවංක වුවමනාවක් ඇත්නම් දැන් ඒ සඳහා අවස්ථාව උදා වී ඇත.
මෙය ක්‍රියාත්මක කිරීමට මෙන්ම මේ සඳහා එල්ල වී ඇති විවිධ බාධක ජය ගැනීම සඳහා ජී03 සංවිධානයට සිය සහයෝගය ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පුළුවන්කම ඇත.”

සිසිර බණ්ඩාර බස්නායක
සිසිර බණ්ඩාර බස්නායක

සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් හා නිලධාරීන්ගේ ශක්තිය සහ ආශීර්වාදයද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහයෝගයද ජී03 සංවිධානයට ලැබේ නම් දැනටමත් සහයෝගය දෙන ශ්‍රී ලංකා රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයටද එය මහත් ශක්තියක් වනු ඇත.

ඩෙංගු තුරන් වූ රටක් බවට අපේ රට හෙට දකිනු රිසියෙන් මා මේ ලිපිය හමාර කරන්නේ සිසිර බණ්ඩා බස්නායක නම් වූ මේ අපූරු නිර්මාණකරුවාගේ දුරකථන අංකයද මෙහි සටහන් කරමිනි.

සිසිර බණ්ඩාර බස්නායකගේ දුරකථන අංකය : 0703104060.

ugi gfyui