ලාංකික තිලකය පිළිබඳව අප රිවිර ඔස්සේ අනාවරණය කරන ලද්දේ පසුගිය පෙබරවාරි මස 26 වැනි දාය. “වන රකුසන් එන්නට පෙර රැක ගත යුතු අපේ ඇත් රජු” මැයෙන් එම ලිපිය පලවිය. එම ලිපියෙන් අවධාරණය කරන ලද්දේ දකුණු ලක ආඩම්බරය වූ මේ සුවිශේෂී ඇතාගේ ජීවිතය පැහැදිලිව අවධානම් මට්ටමකට පත්ව තිබෙන බවය. යාල ජාතික වනෝද්‍යානය වටකොට අමනෝඥ ලෙස ඉදිකළ විදුලි වැටට පිටතින් තිලක් ජීවත්වන බවත්, ඒ ආශ්‍රිත ප්‍රදේශවල තිබෙන හෝටල්වල ඉවතලන ඉඳුල් ආහාරයට ගැනීමට මේ ඇතා හුරුවී තිබෙන බවත්, එම ලිපිය මගින් අපි පෙන්වා දුන්නෙමු. අහමඩ් වැනි ලෝකප්‍රසිද්ධ ඇතුන් සම්බන්ධයෙන් පැවති ආරක්ෂිත උපක්‍රම පිළිබඳව ද එහි අපි අනාවරණය කළෙමු. එහෙත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ කාරණා සම්බන්ධයෙන් සබුද්ධික මැදිහත්වීමක් සිදුකළ බවක් නම්  අපට වාර්තා වූයේ නැත.

කෙසේ වුවද පසුගිය සතිය මැද තිලක් හදිසියේම මියගියේය. ඒ සිද්ධිය මෙසේය. තිලක් තුවාල සහිතව සිටින බව ප්‍රථමයෙන්ම වාර්තා වූයේ යාල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක ඩී.පී. සියාසිංහ මහතාටය. ඔහු වහාම ඇතා නිරීක්ෂණය සඳහා පිටත් විය. ඔවුන්ට ඇතා හමුවූයේ ද කිරින්දට ආසන්න  කුඩා වන ප්‍රදේශයකදීය. ඇතාගේ තුවාල නිරීක්ෂණය කිරීමෙන් පසු වහාම පශු වෛද්‍යවරයකු කැඳවීමට සියාසිංහ මහතා කටයුතු කළේය.   ඒ අනුව වනජීවී පශු වෛද්‍ය ධර්මකීර්ති මහතා තිලක්ට ප්‍රතිකාර කිරීම සඳහා පිටත් විය.

සියාසිංහ මහතා ප්‍රමුඛ වනජීවී කණ්ඩායම තිලක් ඇතාට ලබාදිය යුතු ආහාර හා සෙසු කළමනා රැගෙන ඒම සඳහා පිටත්වූහ. එම කළමනා සපයා ගැනීමෙන් පසු සියාසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම නැවතත් තිලක් සොයා පැමිණියහ. ඒ වන විට තිලක් සිටියේ කිරින්ද සිට යාලට වැටී තිබෙන මාවතේ මාගම්මුල්ල කුඩා ‍ලේවාය අසල ස්ථානයකය. යම්තාක්දුරකට ශක්තිමත්ව තිලක් ඇතා සිටින අයුරු වනජීවී කණ්ඩායම දුරදීම නිරීක්ෂණය කළහ. එහෙත් ඔවුන් ඇතා ළඟට කිට්ටුවන අවස්ථාව වන විට කිසිසේත්ම නොසිතූ දෙයක් සිදුවිය. එනම් මඳ වේගයකින් ඇවිද යමින් සිටි ඇතා එක්විටම ඇදවැටීමය. එම ඇදවැටීමත් සමගම ඇතා මියගිය බව වනජීවී නිලධාරීහු අවබෝධ කරගත්හ.

තිලක් ඇතා මියගොස් සිටියේ අප ලිපියේ සඳහන් කළ ආකාරයට  දඩයක්කරුවන්ගේ වෙඩි පහරකින් නොවේ. (එම ලිපියේ ඇත් ප්‍රහාර පිළිබඳව ද සටහන්ව ඇත.) වෙඩි පහරක් තරම්ම බරපතළ රුදු දළ පහරවල් කිහිපයක් තිලක් ඇතාගේ සිරුර පසාරු කරගෙන ගොස් තිබිණි. වනජීවි නිලධාරීන් පවසන ආකාරයට තිලක් ඇතා මියගොස් ඇත්තේ තනි දළ ඇතෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙනි. එම ප්‍රදේශය තුළ   මේවන විට මදකිපුණු තනි දළ ඇතෙක් සැරිසරයි. කෙසේ වුවත් මේ වනවිට ඇත් පෙළපතේ ශ්‍රී ලාංකීය තිලකය මතකයක් පමණි.

තිලක් ඇතා ප්‍රථමයෙන්ම මා දුටුවේ අදින් වසර විස්සකට පමණ එහා දිනකදීය. ඒ යාල වනෝද්‍යානයට පිටතදීය. එතැන් සිට මේ දක්වා අවස්ථා ගණනාවකදීම අපි තිලක් ඇතා බැලුවෙමු. ඇතාගේ සෑම ඉරියව්වක්ම  නිරීක්ෂණය කළෙමු.  තිලක් හා අප අතර තිබුණ ඒ අචල බැම්ම දැන් සිහිවටනයකි. මීට ඉහත අප පලකළ ලිපියේ තිලක් ගැන සටහන් කළේ මෙසේය.

ලංකාවේ වනාන්තර හා ඉන් පිටත අලි ඇත්තු හාරදහසක් පමණ දිවි ගෙවති. ඒ අතරින් දළ දරා සිටින සංඛ්‍යාව 5කටත් අඩුය. උතුරු මැද කලාපය තුළ මෙම ප්‍රතිශතය තරමක් ඉහළ බව සංඛ්‍යා‍ලේඛන මගින් පෙනී යයි. කෙසේ වුවද අලි ඇතුන් මේ ගෙවමින් සිටින්නේ සිය ගමන් මගේ අවසාන කාර්තුව බව පෙනෙන්නට ඇත.

විශේෂයෙන්ම ඇත්තු  ඔවුන්ගේ තාර්කික අවසානයට ළ‘ාවෙමින් සිටිති. මෑතක අපේ වනපෙත්වල වාර්තා වූ විසල් දළ යුගලක් සහිත දැවැන්තයා ලෙස විරුදාවලිය ලබා තිබුණේ සියඹලන්ගමුවේ දළ ඇතාය. එම දළ ඇතා ජීවත් වූයේද රක්ෂිත වනාන්තර පද්ධතිවලින් පරිබාහිර වූ ගල්ගමුව ආශ්‍රිත ප්‍රදේශයකය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපරික්ෂාකාරීව එම ඇතා වෙනත් ස්ථානයකට ගෙන යාමේදී ඇද වැටී මියගිය පුවත මෙරට පමණක් නොව විදෙස් වනජීවී රසවතුන්ගේද නෙත‘ට කඳුලක් එක් කළේය. අලි ඇතුන් ජීවත්වන සිටින භූමියෙන් පිටතට රැගෙන ගොස් දැමීම අසාර්ථක බව විද්‍යාත්මකව ඔප්පු වී තිබියදී පවා වනජීවිය මේ ආකාරයට හැසිරීම කනගාටුවකි. සියඹලාන්ගමුවේ ඇතා මියයාමෙන් පසුව එම කිරුළ දැරීමට ලංකාවේ ඇත්තු තිදෙනෙක් පමණ ඉදිරිපත් වූහ. තිලක් ද ඒ තිදෙනාගෙන් එකෙකි.

තිලක් සිටින්නේ ලංකාවේ එක් සුපතළ වන උයනකය. තිලක්ගේ සැරිසැරුම් නිජබිම දෙබෑ කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මායිම සකස් කෙරී විදුලි වැටක් ඉදිකරන ලද්දේ පරිසර සංරක්ෂණවේදීන්ගේ බලවත් විරෝධයද නොතකමිනි.

සාමාන්‍යයෙන් අලි ඇතුන් ජීවත් වන්නේ නිසි වපසරියක් තුළය. කුමන බාධක පැමිණියද එම වපසරිය තුළ ගමන් කිරීම අලියාගේ ජානමය ගතියකි. එම බිම්කඩ “ඩ්ධථඥ අචදඨ” ලෙස හඳුන්වයි. මියෙනතුරුම අලියා ගමන් කරන්නේ තමන්ට හිමි එම “ඩ්ධථඥ අචදඨ” එක තුළය. තමන්ට උරුම එම නිශ්චිත භූමිය අලියා හඳුනාගන්නේ ‍පොළොවේ චුම්බක ශක්තිය සමග ඇති විශේෂ සන්නිවේදනයක් ඔස්සේය. මෙය සනාථ කරන පිළිගත් විධිමත් විද්‍යාත්මක පත්‍රිකා ගණනාවකි.

ලෝකයම මෙය දැන සිටියද ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව  මෙය නොදැන සිටීම කනගාටුවකි. යම් හෙයකින් ඔවුන් මෙය දැන සිටියා නම් අප මේ කතා කරන විදුලි වැටත් තවත් මෙවැනිම විදුලි වැට ගණනාවකුත් ලංකාවේ වනාන්තර බෙදෙමින් සතුන් දෙපසට කරමින් ඉදි නොවීමට ඉඩ තිබිණි. එනමුදු එය එසේ වූයේ නැත.

තිලක් මේ ආකාරයෙන් මරණය දැක දැක ගම් නියම්ගම් මැදින් සැරිසරන්නේ ඉහතින් සඳහන් කළ අමනෝඥ වනජීවී විදුලි වැට හේතුවෙනි. මේ ආකාරයට හිතුමතේ විදුලි වැටවල් සවිකරන වනජීවියට දිගම්පතහ ආශ්‍රිතව කුණු දමන ස්ථානය නොපෙනීම අභාග්‍යයකි. අඩුතරමින් එහි කුණුදැමීම නතර කළ නොහැකි නම් ඒ ඉඩ වටකොට විදුලි වැටක් ඉදිකිරීමේවත් හැකියාව වනජීවීය සතුව ඇත. එහෙත් අවාසනාවකට එවැනි දෑ මේ තකතීරු නිවට තක්කඩි දූෂිත වනජීවී ලොක්කන්ට පෙනෙන්නේ නැත.

තිලක් යනු ලංකාවේ සාඩම්බර උරුමයකි. වසර 50කට ආසන්න ආයුකාලයක් ගෙවා තිබෙන තිලක්ට මේ නම යොදන ලද්දේ වර්තමානයේ අමාත්‍යවරයකු වන සජිත් ප්‍රේමදාස මහතාය. ඇතුන්ට නම් තැබිම කලක සිටම සම්ප්‍රදායයක් විලසින් පැවතියේය.

ප්‍රථමයෙන්ම මෙය විධිමත් ලෙස සිදුකරන ලද්දේ ප්‍රවීණ වනජීවී ඡායාරූප ශිල්පියෙකු වූ ලාල් ඇන්තනීස් මහතාය. කුබ්ලයි ඛාන්, ජින්ජස් ඛාන් හා පෙලට් වැනි නම් ඇන්තනීස් මහතා යෙදූ නම් ගණනාව අතරින් කිහිපයකි. ඉන් පසුකාලීනව වනයේ ඇතුන්ට නම් දැමීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කරට ගත්තේය. ගෝඨාභය, තිලක්, ගැමුණු, නාලක හා අර්ජුන වැනි නම්වල හිමිකාරීත්වය සජිත්ගේය.  ඉන්පසුව අලුත් ඇතුන් වාර්තා වනවිට සෙසු අයද නම් තැබිම් සිදුකර ඇත. මේ ලියුම්කරු හා ඉංජිනේරු ලලීන් ගුණවර්ධන මහතාද එවැනි නව ඇතුන් කිහිපදෙනෙකුටම නම් තබා තිබේ. කලක් යනවිට අදාළ නම් ඒ ඒ ඇත්තුන්ට සින්න වී යයි. ඒ අනුව ඇතාගේ නමින් කරුණු විමසීම සිදුවේ. උදාහරණයක් ලෙස සැලකුවහොත් බොහෝවිට යාල ජීප්රථ රියැදුරන් ඇතුන් ගැන කියන්නේ එම ඇතාට යොදා තිබෙන නම සඳහන් කරමිනි. (ඔවුන් වරද්දන අවස්ථා ද ඇත.)

ඇත්තුන්ගේ නාමකරණය කෙසේ වුවද තිලක් නැති හෙටක් නම් වන දිවියට අඳුරක් බව කිව යුතුය. තිලක් සිටින්නේ ලංකාවේ එක් සුපතළ වන උයනක කොටසක් හා එහි ප්‍රේරක කලාපයත් ඊට යාබද අභයභූමියක කොටසකුත් අතරය.  (විදුලිවැට ඉදි වී ඇත්තේ එය බෙදා වෙන්කරමිනි.) නිශ්චිත වශයෙන්ම මේ ප්‍රදේශය අප සඳහන් නොකරන්නේ තිලක්ගේ හෙට දවස පිළිබඳව පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙනි.

පෙර ලිපියේ අප සඳහන් කළේ ඒ ආකාරයටය. අනතුරු දහසක් මැද සිටි තිලක් අද ජීවතුන් අතර නැත.  තිලක් පිළිබඳ අපට ඇත්තේ මතක ගොන්නකි. එය  නොමැකෙන මතකයකි.

ඇත්තු ඇත්තු අතර සටන් වන පද්ධති තුළ දුලබ නොවේ. එය ස්වාභාවික සංසිද්ධියකි. එවැනි සටන් අපට කළමනාකරණය කළ නොහැක. ඒ සඳහා අපට අයිතියක් ද නැත.  තිලක් වැඩිහිටි අතෙකු වුවද වයසට වඩා සෞඛ්‍යයෙන් පිරිහී ගිය තත්ත්වයක් ඌගෙන් දිස් විය.  එයට බලපෑ එක් කාරණාවක් වූයේ හෝටල්වල ඉඳුල් කෑමට හුරුවීම විය හැක. විශේෂයෙන්ම මනුෂ්‍ය ජනාවාස මැද නිතර සිටීම මගින් තිලක් අර්ධ යාන්ත්‍රික තත්ත්වයට  ද පත් වූ බව පෙනේ. ලැබෙන වස කෑමෙන්  දුර්වල වූ තිලක් අර්ධ යාන්ත්‍රික වීමෙන් වනයේ හැසිරීම්වලටද  අ ඉඩ කඩක් ලබා දුන් බව පෙනේ.

කලහකාරි තනි දළ ප්‍රහාරයකට තිලක් මෙල්ල කිරීමට මෙයද පහසුවක් නොවූවා යැයි කිසිවෙකුටවත් තර්ක කළ නොහැක. (එසේම වෙනත් හේතු ද එයට බලපෑවේය.) කෙසේ වුවද දැන් තිලක් මතකයකි. සදා නොමියෙන මතකයකි. ලංකාවේ සිටින අනෙක් දළ ඇතුන් සම්බන්ධයෙන් හෝ වීම වඩා විද්‍යාත්මක සබුද්ධික කියවීමක් වනජීවී දෙපාර්තමේන්තුවට ඇති  වන්නේ නම් එය අගනා ප්‍රවේශයකි.

සටහන හා ඡායාරූප
නයනක රන්වැල්ල

thilak (1)
මීට මාස 4කට පෙර මේ දළ ඇතාගේ ජීවිත අවදානම ගැන අප පළ කළ ලිපිය

thilak (3) thilak (2) thilak (5) thilak (4)