දක්ෂිණ ලංකාවේ ගාලු දිසාවේ බලපිටිය නගර සමීපයේ ඇති බ්‍රාහ්මණවත්ත නම් ග්‍රාමය ඓතිහාසික වශයන් වැදගත් වන්නේ බ්‍රාහ්මණ වංශයට අයත් පරපුරක් එහි විසූ නිසාවෙනි. එමෙන්ම ඇහැළේ‍පොළ අදිකාරම් තැනගේ උපන් භූමිය ද වූයේ මේ ග්‍රාමයයි. අපගේ කථානායකයාණන් වූ පූජ්‍ය ආචාර්ය සීවලී තිස්ස අනුනාහිමිපාණන් වහන්සේගේ ජාත භූමිය වූයේද මේ ඓතිහාසික බ්‍රාහ්මණවත්ත නම් ගමය.
බ්‍රාහ්මණවත්තේ විසූ වැදගත් පරපුරකට අයත් ඉදිරිමුනි බේබිසිඤ්ඤෝ සිල්වා දම්පතින්ට හා ලද්දු එමිනෝනා උපාසිකා මාතාවට දාව ලද දූ දරුවන් සතර දෙනාගෙන් අන්තිමයා වූයේ ඉදිරිමුනි ඇක්මන් සිල්වා පින්වත් දරුවාය. 1936 මාර්තු මස 03 වෙනි දින මෙම පින්වත් කුමරාගේ උපත සිදුවූ අතර නිසි වයස් සම්පූර්ණ වීමේදී බලපිටිය රේවත මහා විද්‍යාලයට ඇතුළත්ව 15 වැනි විය දක්වාම ඉතා දක්ෂ ලෙස අධ්‍යපනය ලැබිය.

දකුණු සිරිලක උගත් ශ්‍රේෂ්ඨ ප¾ඩිවරුන්ගේ නිජභූමියක් වශයෙන් දෙස් විදෙස් සුපතල කන්දෙගොඩ රන්දොඹේ මහා ච්ෙතිය පරිවෙණස්ථානයේ වැඩසිටි යාපනය, නයිනතිවු, නාගදීප රාජමහා විහාරස්ථානාධිපතිව වැඩසිටි අපවත්වී වදාළ අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස අමරපුර නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තම නැන්දණියගේ පුත්‍රයකු වූ නිසාම උන්වහන්සේගේ බලවත් ඉල්ලීම නිසා මෙම පුත් කුමරා 1951 මැයි 21 වෙනි දින ප්‍රවෘජ්‍යා භූමියට පත් කෙරිණි. ඒ නාගදීප රාජමහා විහාරස්ථානයේදී වන අතර නාගදීප ශුද්ධභූමියේදී පැවිදි බිමට පත් ප්‍රථම භික්ෂුව වූයේද සීවලී නමින් නම් තැබූ මෙම සාමණේරයන් වහන්සේය.

හෝඩියේ කුඩා දරුවන් අතර අධ්‍යාපනය ලබන වයස 15ක් තරම් වූ මේ කුඩා සාමණේරයන් වහන්සේගේ දක්ෂතාව නිසා වසර දෙක තුනකින් පන්තියක් හැර පන්තියක් උසස් කොට එහිදීම ද්‍රවිඩ භාෂාවෙන් උසස් පෙළ සමත් කොට පසුව වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමට පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් විය.

විද්‍යාලංකාර, විදේ‍යාදය මහා පිරිවෙන් විශ්වවිද්‍යල බවට පත්කිරීමේදී විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත්ව කැලණියේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍ය පිරිසට ඇතුළත්ව ඉතා උසස් ලෙස අධ්‍යාපනය හදාරා 1962 දී ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. 1963 දී කුරුණෑගල නක්කාවත්ත මහා විද්‍යාලයට ප්‍රථම ගුරු පත්වීම ලැබූ සීවලී හිමිපාණෝ විවිධ ප්‍රදේශවල මහා විද්‍යාලයවල සේවය කොට පසුව කැලණිය ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස පත්ව එම විදුහල ගම්පහ දිසාවේ කීර්තිමත් විදුහලක් බවට පත්කොට අධ්‍යාපන සේවයෙන් විශ්‍රාම ගත්හ.

කැලණියේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හා පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා සහතිකයද ලබාගත් පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ සීවලී හිමිපාණන් වහන්සේට ඉන්දියාවේ මදුරෙයි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය පිරිනමා ඇත.

අධ්‍යාපන සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු වඩාත් ජාතික හා ආගමික සේවාවන් කෙරෙහි කැපවූ සීවලී හිමිපාණෝ අමරපුර මහා නිකායේ සම‍ලේඛකාධිකාරී වශයෙන් වසර ගණනාවක් ස්ව නිකායේත්, නිකායට අයත් විහාරස්ථානවලත් අභිවෘද්ධිය වෙනුවෙන් මහත් සේවාවක් සිදු කළහ. අමරපුර නමින් හැඳින්වෙන පාර්ශ්ව 22කින් යුත් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ නියෝජ්‍ය ‍ලේකම් වශයෙන් වසර 15ක් සේවය කළ අතර එහි භාරදූර තනතුර වන මහා ‍ලේඛකාධිකාරී තනතුරට පත්වූයේ 2008 වර්ෂයේදීය.

උතුරේ යුද්ධයෙන් පසු නාගදීප රාජමහා විහාරස්ථානය වැඳපුදා ගැනීමට යන බැතිමතුන්ගේ පහසුව තකා වවුනියාවේ සිට යාපනය දක්වා තිබූ එකම බෞද්ධ විහාරස්ථානය වූ ලුම්බිණි. විහාරය නැවත දැකුම්කලු හා පහසුකම්වලින් යුත් විහාරස්ථානයක් බවට පත් කරලීමත්, ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීමට යනෙන බැතිමතුන්ගේ ශ්‍රද්ධාව, භක්තිය වඩා වර්ධනය වන අයුරින් සහ වෙහෙස නිවා ගැනීම සඳහා පහසුකම් සැපිරීමෙන් නල්ලතන්නිය නාගදීප බෞද්ධ මධ්‍යස්ථානය පරිපූර්ණත්වයට පත් කිරීමත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ඉතා නිවැරදිව හා ව්‍යක්තව දෙමළ භාෂාව කතා කරන හා දෙමළ භාෂාවෙන් ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා අතළොස්ස අතර අපේ සීවලී අනුනායක හාමුදුරුවන් වහන්සේට හිමිවනුයේ ප්‍රමුඛස්ථානයකි. ගුවන්විදුලිය, රූපවාහිනිය ආදී මාධ්‍ය තුළින් දෙමළ භාෂාවෙන් ධර්ම දේශනා පැවැත්වීමට නිතර ආරාධනා ලැබෙන්නේ එහෙයිනි. සීවලී අනුනාහිමිපාණෝ දෙමළ භාෂාවෙන් කරන ලද ධර්ම දේශනාවනට පැහැදුණු තමිල්නාඩුවේ හා කේරළයේ දෙමළ බෞද්ධ ජනතාව විසින් බෞද්ධ විහාරස්ථාන ආරම්භ කිරීම සඳහා ඉඩම් 03ක් පරිත්‍යාග කොට ඇති අතර දැනට ඒවායෙහි වැඩ කටයුතු ආරම්භ කොට ඇත. ඉන් එක් ඉඩමක් පූජා කොට ඇත්තේ තමිල්නාඩුවේ හිටපු සමාජ සේවා අමාත්‍ය නල්ලුසාමි මැතිතුමා විසිනි.
උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය 22 සවස 3.00ට බොරැල්ල කැම්බල් පිටියේ දී සිදු කෙරේ.
අපේ බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස අනුනායක හාමුදුරුවන් වහන්සේට නිවන් සුව අත්වේවා.

ආචාර්ය මාදම්පාගම අස්සජී නායක ස්ථවීර
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර විධායක සභාවේ සාමාජික