මාධ්‍ය හමුවට පෙර අමාත්‍යවරුන් මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් මියගිය පිරිස සිහිකර විනාඩියක නිශ්ශබ්දතාවක නිරත වූ අයුරු / ඡායාරූපය : ඒෂාන් දසනායක

අනෙකුත් සියලු කටයුතු අබිබවා සෞඛ්‍ය ආරක්ෂිතව කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයකට රජය ගමන් කළ යුතු බවත්, එය රජයේ මූලික වගකීමක් බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
ඊයේ (20) ඩාර්ලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
නාගරික පරිසරයක ජීවත්වන පවුලක් ග්‍රාමීය පවුලක් වගේ හතර ගුණයක් පමණ කසළ නිෂ්පාදනය කරනවා. මේ කසළ බැහැර කළ යුතුයි. ඒ ගැන විවිධ යෝජනා විවිධ කාලවල තිබුණා. කොරියාව ශ්‍රී ලංකා රජයට කොම්‍පෝස්ට් අංගණ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ලබා දුන්නා. බොහෝ ප්‍රාදේශීය සභා ඒ කොම්‍පෝස්ට් අංගණ හැදුවා. සමහර ඒවා හොඳින් ක්‍රියාත්මක වුණා. තවත් ඒවායේ පරිපාලන ගැටලු තියෙනවා. ඒ වගේම කොරියානු ආධාර යටතේ සනීපාරක්ෂක කසළ රඳවන හදන්න ආවා. පළමු සනීපාරක්ෂක කසළ රඳවනයක් ලෝක බැංකුව යෝජනා කළේ මීපේ, වග. දේශපාලනඥයෝ ඊට විශාල විරෝධතා ඉදිරිපත් කරලා ඒක නැති වුණා.

ඊට පසු දොම්පෙට ආවා. දොම්පෙත් මේ ප්‍රශ්න ඇති වුණා. නමුත් සාකච්ඡා කරලා පළමු වතාවට දොම්පේ සනීපාරක්ෂක කසළ රඳවනයක් හැදුවා. සනීපාරක්ෂක කසළ රඳවනයක් කියන්නේ කොයිම වේලාවකදීවත් සාමාන්‍යයෙන් කුණු ගබඩා කරද්දී වගේ නොවේ. මේ කසළ රඳවනයේ කිසිම අපද්‍රව්‍යයක් ‍පොළොවට මිශ්‍ර වෙන්නේ නෑ. අප ජලයත් පිරිසිදු කරලා තමයි යවන්නේ.

ඒවාගේ සනීපාරක්ෂක කසළ රඳවන 5 කට ආධාර ලැබුණා. ඒත් තිබුණු දේශපාලන ප්‍රශ්න නිසා ඒවා පමා වුණා. කොළඹ නගරයේ මුලින්ම බ්ලූමැන්ඩල් එක උසාවි නියෝගයෙන් තහනම් වුණාම ඒක සේදවත්තට ගියා. එතැනින් පෑලියගොඩට ගියා. ඊට පසුව මීතොටමුල්ලට ගියා. මේ රජය බලයට පත් වුණාමත් අපි මීට විසඳුම් සොයන්න වෙහෙසුණා.

ලෝකයේ කසළ බැහැර කරන ක්‍රම කීපයයි තියෙන්නේ. එකක් තමයි කොම්‍පෝස්ට් කිරීම. ඒ කසළ කුඩා ප්‍රමාණයක්. හුඟක් තියෙනවා නම් ඒක සනීපාරක්ෂ කසළ රඳවනයක දාලා ඊට උඩින් පස් දාලා ඒක වහන්න පුළුවන්. ඊළඟට කසළ දහනය කළ හැකියි. ඊළඟට කසළ දහනය කරලා විදුලි නිෂ්පදානය කළ හැකියි. ඊට විශාල පිරිවැයක් වැය වෙනවා. අපි අවසානයේ දී අවසර දීලා තියෙනවා කසළ දහනය කරලා විදුලිය දහනය කරලා මේ ප්‍රශ්නය විසඳන්න. ඒක තාම ආරම්භ වුණේ නෑ.

අද පවතින තත්ත්වය තමයි විවිධ උසිගැන්වීම් නිසා මේ ප්‍රශ්නය උග්‍රවෙලා. අද කසළ ජාතික ප්‍රශ්නයක්. කොළඹ කසළ දින දෙකකට වඩා තියාගන්න බෑ. විශාල අර්බුදයක් ඇති වෙනවා. ඒ නිසා රජය කුමන ආකාරයකින් හෝ කසළ බැහැර කළ යුතුයි. ඒ සඳහා අපි නිශ්චිත තීන්දු කීපයක් අරගත්තා. ඒ තුළ කසළ අංගණයක් සාදන්න මාසයක් යනවා. ඒ සඳහා යම් තැනකට කසළ බැහැර කළ යුතුයි. දැනට අවසර දුන්නා කරදියානටයි, දොම්පෙටයි යම් සීමාවකට යටත්ව කසළ බැහැර කරන්න.

දැනට තිබෙන මීතොටමුල්ල කුණු කන්ද වැස්සොත් තවදුරටත් නාය යන්න පුළුවන් කියලා විශේෂඥයෝ කීවා. ඒ නිසා නාය යනු ඇතැයි සිතන ප්‍රදේශවල ජනතාව ඉවත් කරන්න උපදෙස් ලැබුණා. ඒ අය ඉවත් කරලා පදිංචි කළ හැකි තැන් සොයලා පදිංචි කරනවා. ඊට අවශ්‍ය සියලුම කටයුතු සිද්ධ වෙනවා.

දැනට සහන ලබා දීම් වෙනවා. ඉදිරියේ ලබා දෙන සහන තීරණය කරනවා. අද වෙනකොට තත්ත්වය යම් තරමක් නිවාරණය වෙයි කියලා හිතනවා. රජයක් හැටියට මේ වගකීම අපි භාර ගන්නවා. නමුත් මේකට ස්ථිර විසඳුමක් ලබා දිය යුතුයි. ඒක සියලු දෙනාගේම වගකීමක්.

සමහර දේශපාලනඥයෝ ඉදිරියට පැනලා අවුල් කරනවා. ඒ අයත් ආණ්ඩු කරපු අය. ඒ නිසා හැම දෙනාටම වගකීමක් තියෙනවා, මේකට උත්තර හොයන්න. මහජනතාවට කරුණු පැහැදිලි කරලා මේකට දිගුකාලීන විසඳුමක් සෙවිය යුතුයි.
නාගරික පරිසරය වැඩි දියුණු වෙන්න වෙන්න මේ කසළ ප්‍රශ්නය උග්‍ර වෙනවා. ලෝකේ පුරාම ඉදිරියට තියෙන බරපතළම ප්‍රශ්නය තමයි කසළ බැහැර කිරීම. අපි සෞඛ්‍ය ආරක්ෂිතව කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයකට වහාම ගමන් කළ යුතුයි. එය රජයේ මූලික වගකීමක්. අනෙක් සියල්ල අබිබවා එය කළ යුතුයි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැලිය මෙවර මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙනවා. මේ වන විට සියලු කටයුතු සූදානම්. දිස්ත්‍රික් මට්ටමින් වගේම ආසන මට්ටමින්ද සියලුම සන්ධාන කටයුතු සිදු වෙනවා.

ඒ කටයුතු සිදු වෙමින් පක්ෂය ක්‍රමානුකූලව ඉදිරියට එනවා. වත්මන් ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට පත්වෙලා තියපු පළමු මැයි රැලිය අපි තිබ්බේ කොළඹ දී අපිට පෙළපාලියට යන්නවත් සෙනඟ සොයාගන්න බැරි වුණා. නමුත් අපි දෙවැනි මැයි රැලිය ගාල්ලේ දී තිබ්බා. ඒක ඉතිහාසයේ වැඩිම ජන ගඟක් ආපු මැයි රැලිය. ඒක වාර්තාවක්. ඒ වාර්තාව මේ පාර කඩනවා. නුවරදී අපි අති සාර්ථක මැයි රැලියක් පවත්වනවා.

ඒ වගේම තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුණාම මුල්ම පක්ෂ සංවත්සරය ‍පොළොන්නරුවේ තිබ්බේ හරිම අමාරුවෙන්. නමුත් දෙවැනි එක කුරුණෑගල තිබ්බා. ඒක වැඩිම ජන ගඟක් ගලපු රැලිය. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා ක්‍රමානුකූලව ජනතාව අතරට අරගෙන යනවා.

මෙවර මැයි පෙළපාලි දෙකක් තියෙනවා. සෙනඟ වැඩි නිසා සමහර විට පෙළපාළි තුනක් තියන්න සිදු වෙයි. වෘත්තීය සමිති වගේම සන්ධානයේ වෙනත් පක්ෂ සමග එකතු වෙලා මෙවර අති විශාල වූ මැයි රැලිය අපි පවත්වනවා. ඒ වගේම අපි මෙවර මත්පැන්වලින් තොර වූ මැයි රැලියක් තමයි පවත්වන්නේ. මැයි රැලියෙන් පසුව මුළු මහනුවරම අපි පිරිසිදු කරනවා.

මෙවර ශ්‍රීලනිපයේ එකම මැයි රැලියයි තියෙන්නේ. වෙන ඒවාට යන්න පුළුවන් වෙන අයට. ඒත් ශ්‍රීලනිප මැයි රැලියට ශ්‍රීලනිපයේ අයට එන්න පුළුවන්. අවේ නැත්නම් එදාට අපි බලමු. මෙවර නිල්පාට එකම මැයි රැලියට එන්නේ නැතිව වෙනත් ඒවාට ගියොත් මධ්‍යම කාරක සභාව හරහා ඒ අයට විරුද්ධව තීන්දුවක් ගන්නවා.

සුජිත් කෝනාර