රජයට හිමි විය යුතු බදු මුදල් නොගෙවමින් මහා පරිමාණයෙන් මැණික් ගල් පිටරට යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ලැබුණු තොරතුරක් මත අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ.
අදාළ ජාවාරමට විදේශිකයින් පිරිසක්ද සම්බන්ධ බවට තොරතුරු ලැබි ඇත. මේ හේතුවෙන් අධිකාරිය සතු බලතලවලට අනුව මෙම ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර මහතා සඳහන් කළේය.

ඉකුත් 2016 වසරේ මැණික් අපනයනය කිරීම මගින් අධිකාරිය සේවා ගාස්තු ලෙස රුපියල් මිලියන 124.3ක් රජයට අය කරගෙන ඇති අතර මෙම ක්‍රියාවලියේ යෙදී සිටින්නන්ට අධිකාරිය මගින් නව සේවා බලපත් ලබා දී ඇති බවද වෙලගෙදර මහතා කීවේය.

මෙම නීති විරෝධී ක්‍රියා හේතුවෙන් රජයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වන බව හෙතෙම සඳහන් කළේය.
මෙම අනවසර ක්‍රියා වළක්වා ගතහොත් රජයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් හිමිකරගත හැකි වන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.