මත්පැන් හා මත්ද්‍රව්‍ය උවදුරෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට යහපාලන රජය ප්‍රමුඛතාව දෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර මුවන්වැව සේවා පියස ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදී සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
ලුණුගම්වෙහෙර කොට්ඨාසයේ මුවන්වැව ග්‍රාමයේ රාජ්‍ය නිලධාරීන් සිව් දෙනා වෙනුවෙන් අංග සම්පූර්ණ සේවා පියසක් ඉදිකර මේ මගින් විධිමත් කාර්යක්ෂම සේවාවක් ඉටුකිරීමට හැකිවීම ගැන අද දින මා බෙහෙවින් සතුටට පත් වෙනවා. මෙම සේවා පියස ඉදිකිරීම සඳහා රජය රුපියල් ලක්ෂ 20ක මුදලක් වැය කර තිබෙනවා. මෙම කාර්යාලය හරහා ඔබේ සේවාව විධිමත්ව ඉටු කිරීමට මෙම රාජ්‍ය නිලධාරීන්ට හැකියාව ලැබෙනවා. ඒ වගේම මා ඔවුන්ට කියනවා එම රාජකාරිය නිසියාකාරව ඉටුකරන්නට වග බලා ගන්න කියලා.

මේ වන විට මෙම කොට්ඨාසයේ සේවා පියස කාර්යාල රැසක් විවෘත කොට තිබෙනවා. ඒ සෑම අවස්ථාවකදීම මෙම රාජ්‍ය නිලධාරින් ඉතා උනන්දුවකින් මේ වැඩකටයුතු ක්‍රියාත්මක කරන ආකාරය මා දුටුවා. සමහර කාර්යාල ඉදිරිපිට යම් ප්‍රශ්නයක් විසඳීමට ගතවන කාලය ප්‍රදර්ශනය කර තිබූ ආකාරයත් මා දුටුවා. එමගින් ජනතාවට තමන්ගේ කාර්යය ඉටු කර ගැනීමට කොපමණ වේලාවක් ගතවනවාද යන්න පිළිබඳව දැනගැනීමට පුළුවන්. මෙම කාර්යාලය ඉදිරිපිටත් එම ක්‍රියාවලිය ප්‍රදර්ශනය කිරීමට මා නිලධාරීන්ට යෝජනා කරනවා.

ඔබේ නිවාස ප්‍රශ්නය අංග සම්පූර්ණව අවසන් කරන්න අප බලා‍පොරොත්තු වෙනවා. ඉඩම් නොමැති අයට ඉඩම්, නිවාස නොමැති අයට නිවාස, රැකියා නොමැති තරුණ පරපුරට රැකියා අප ලබා දෙනවා. මෙලෙස ඔබ මුහුණ දෙන ප්‍රශ්නවලට අප අමාත්‍යාංශයෙන් ඉටුවිය යුතු ජනතා සේවාව ශක්තිමත්ව ඉටුකිරීමට අප සැදී පැහැදී සිටිනවා. මේ දේවල් ඉටු කිරීමට අපට තිබෙන්නේ තව මාස 45ක කාලයක් පමණයි. ඒ වගේම මෙම ප්‍රදේශයේ සෞඛ්‍යය හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීමටත් අප රජයක් ලෙස විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මා ප්‍රකාශ කරනවා.

රටක් ලෙස අප මතින් තොර, සුරාවෙන් තොර ජන ජීවිතයක් වෙනුවෙන් පෙළ ගැසිය යුතුයි. මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් සෞභාග්‍ය සම්පන්න  වෙනවා. රටක ජීවත් වන ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කිරීම සෑම රජයකම වගකීමක්. විශේෂයෙන් මැතිවරණ කාලවලදී ‘මතට තිත’, ‘මතින් තොර දේශයක්’, ‘තැබෑරුම් වහන යුගයක්’, ‘සුරාව ජන සමාජයෙන් මුලිනුපුටා දමන යුගයක්’ ආදී සුන්දර වචන අපට අසන්නට ලැබෙනවා. නමුත් මෙම ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ කීයෙන් කී දෙනාද? මැතිවරණ කාලවලදී ඡන්දය ලබාගැනීම සඳහා කොපමණ මත්පැන් බෝතල් බෙදනවද? මත් ද්‍රව්‍ය නමැති ආයුධය පාර්ලිමේන්තුවට පත් වන මන්ත්‍රීවරුන් කී දෙනෙක් මනාපය ලබා ගැනීමට උපයෝගී කර ගන්නවාද?

අප කවුරුත් දන්නා පරිදි එදත්, අදත්, මේ මොහොතේදීත් සුරාව, සූදුව භාවිත කර දේශපාලනය කරන විශාල පිරිසක් සිටිනවා. මා ඔබෙන් අහනවා මෙයද රටේ අනාගතය කියා. රටට උචිත ප්‍රතිපත්ති මෙයද? මතින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපේ රජය කටයුතු කරනවා කියා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා බෙහෝ පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. මේ නිසා තමයි, අපේ රජය පූජනීය ස්ථානයක් හා සුරාසැලක් අතර මීටර් 500ක දුරක් තිබිය යුතු බවට වන නීතිය තහවුරු කිරීමට කටයුතු කළේ. කවුරු හෝ එම නීතිරීති වෙනස් කරන්නට උත්සාහ කරනවා නම් එය රටටත් ජනතාවටත් කරන ලොකු හානියක්.

අද මත්ද්‍රව්‍ය නිසා ජීවිත කොපමණ අනාථ වෙලාද? ජීවිත කීයක් අහිමි වෙනවද? මේ නිසා අද පවුල් දස දහස් ගණනින් අනාථ වී ඇති බවත් අප හොඳින් දන්නා කාරණයක්. එක කාලයක අප දුටුවා, මතට තිත කියලා වැඩසටහනක්. හැබැයි ඒ හරහා කළේ මොකක්ද? තමන්ගේ ගෝලබාලයන්ට තැබෑරුම් අවසරපත් ලබා දීමයි. ඔවුන් නීති විරෝධී සුරාව ආශ්‍රිත කර්මාන්තවල නියැළිලා ප්‍රශ්නවලට මුහුණ දෙන විට ‍පොලිසියට කතා කර ඔවුන් නිදහස් කරන්නැයි තර්ජනය කිරීමයි. කන්ටේනර් පිටින් මෙරටට කුඩු ගෙන ඒමයි. මෙයයි, මතට තිත තුළින් සිද්ධ වුණ විශාල මෙහෙය. නමුත් අපේ රජය අද කුඩු කන්ටේනර් පිටින් අල්ලනවා. රට තුළ මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමට රේගුව හරහා ඓතිහාසික මෙහෙවරක් ඉටු කරනවා. එපමණක් නොව මත්ද්‍රව්‍ය වෙළෙඳාම විනාශ කරන්නත් කටයුතු කරනවා.

පසුගිය කාලයේදී තැබෑරුම්වල අවසර පත් බෙදා ගත්තේ සමහර දේශපාලනඥයන්. මෙය බරපතළ ගැටලුවක්. මේ අය තමයි අද නීති සම්පාදන මණ්ඩලවල සිටින්නේ. මේක සිද්ධ වුණේ පසුගිය රජයේ අදූරදර්ශී ප්‍රතිපත්තිය නිසයි. දේශපාලනඥයා හරහා තැබෑරුම්වල අවසරපත් ලබාදීම අප අද නතර කොට තිබෙනවා. දේශපාලනඥයන්ගේ වගකීම මෙය නොව ගමේ පාරවල්, පාසල්, රෝහල් සෑදීමයි. තරුණ පිරිසට රැකියා ලබා දීම සහ නිවාස සාදා දීමයි.

මෙරට ඇති තැබෑරුම් ප්‍රමාණය අවම කිරීමට රජයක් ලෙස අප වග බලා ගත යුතුයි. මෙම ක්‍රියාවලිය තිස්සමහාරාමයෙන් ආරම්භ කරන ලෙස මා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. අද මේ ප්‍රදේශයේ හවස තැබෑරුම් අසල මී මැස්සන් වගේ මිනිසුන් රොක්වී සිටිනවා. මත්පැන්වලට මුදල් නාස්ති කරනවා. මෙයින් කිසිම කෙනෙකුට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. බිමත්ව නිවසට යන පියා කරන දේ බලාගෙන ඒ දේවල් දූදරුවන්ද කරනවා. මෙයයි පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ මතට තිත වැඩසටහන හරහා රටට සිද්ධ වුණේ.

අද යහපාලන රජයක් යටතේ සදාචාර සම්පන්න දේශයක් ගොඩනැගීමට අප ඇප කැප වී සිටිනවා. ශක්තිමත් අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් යථාර්ථයට මුහුණ දීමේ අභියෝගය අප භාරගෙන තිබෙනවා.

අමාත්‍යවරයා 'සේවා පියස' ගොඩනැගිල්ල විවෘත කරමින්
අමාත්‍යවරයා ‘සේවා පියස’ ගොඩනැගිල්ල විවෘත කරමින්

sajith (1)