එදා අපි ගෙනාපු යෝජනාව අනුව කටයුතු කළා නම් අද මීතොටමුල්‍ලේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. විවිධ බලවේගත්, පගාවත් නිසා අපේ අදහස් ක්‍රියාත්මක කරන්න බැරි වුණා යැයි ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් මහාචාරය තිස්ස විතාරණ මහතා පැවසීය.

කොළඹ පිහිටි ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

තිස්ස විතාරණ මහතා එහිදී මෙසේද පැවසීය.
ලෝකය ජීව තාක්ෂණයෙන් ඉදිරියට ගිහින් තියෙද්දී අපි තවම ජීවත් වන්නේ අතීතයේ. තාක්ෂණයක් තියෙද්දී නොසැලකිල්ල නිසා දැන් මතුවෙලා තිබෙන මේ තත්ත්වය වෙනුවෙන් ලක්ෂයක් නොවෙයි මිලියන තුන හතරක්වත් එක පවුලකට දෙන්න ඕනෑ.

අගමැතිවරයා කියලා තියෙනවා නිවාස කඩන්න කියලා. ඊට කලින් ඒ මිනිස්සුන්ට නිවාස ලබා දෙන්න. ජීව තාක්ෂණ ක්‍රමවේදයක් හරහා කටයුතු කරලා මේ අපද්‍රව්‍ය ‍පොහොරවලට හැරෙව්වා නම් මේ එකක්වත් කරන්න ඕන නැහැ. ‍පොහොරින් ලැබෙන ආදායමත් ජනතාව වෙනුවෙන් යොදවන්න පුළුවන්. මේ ක්‍රමය ගැන දැනටමත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවුරුදු පහක් විතර පර්යේෂණ කරලා ජපන් විශ්වවිද්‍යාල එක්ක සම්බන්ධ වෙලා දියුණු කරලා තියෙනවා. ඒක මෙහෙ යොදවන එකයි කරන්න තියෙන්නේ. නමුත් නොයෙකුත් පිස්සු අදහස් මාධ්‍ය හරහා දානවා. මේ තත්ත්වයෙන් අපි ගැලවෙමු.

මොරටු විශ්වවිද්‍යාලයේ නෝර්වේ විශ්වවිද්‍යාලය එක්ක සම්බන්ධ වෙලා කුණු ඉක්මනින් ‍පොහොර කරන ක්‍රමයක් දියුණු කරලා තියෙනවා. මේක ක්‍රියාත්මක කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලැබිය හැකියි. ‍පොහොර ලබා ගන්න විතරක් නමෛයි ජීව වායු ලබාගන්නත් පුළුවන්. අපද්‍රව්‍ය ටොන් 100කින් මෙගා වොට් 1ක විදුලි බලයක් ලබා ගත හැකියි. විදුලිබල හිඟයක් විසඳිය හැකියි. ‍පොහොර හිඟයත් විසඳිය හැකියි. මේ තාක්ෂණය උපයෝගී කරගෙන කටයුතු කළොත් රට තුළම මීට පිළියමක් සොයන්න පුළුවන්.

මීට වසර විසිදෙකකට කලින් නර්ඩ් ආයතනය එක්ක සම්බන්ධ වෙලා අපි කිව්වා කොළඹ අපද්‍රව්‍ය ප්‍රශ්නයක් තියෙනවා ඒක විසඳන ආකාරය පෙන්වන්නම් කියලා. කිරුළපන කන්දක් තියෙනවා අපි කුණු දාලා ‍පොහොර එකතු කළා. ජීව වායුත් එකතු කළා. මේක පෙන්නලා කිව්වා කොළඹ තව තැන්වලත් මේ ක්‍රමය අනුගමනය කරන්න කියලා. නමුත් කනගාටුයි කියන්න. එදා වෙන සමාගමකට දීලා තිබුණේ මේ අපද්‍රව්‍ය එකතු කරන්න. ඒ සමාගම එළිපිටම මුදල් දුන්නා ඒ මන්ත්‍රීවරුන්ට.  ඒ සමාගම් දුන්නු පගාවලට යට වෙලා හිටියේ නැත්නම් මේ ප්‍රශ්නය එදාම විසඳන්න තිබුණා.

සවන්ති රත්නායක
ඡායා – ඒශාන් දසනායක