මීතොටමුල්ල කුණු කන්ද පසුගියදා නාය ගොස් විශාල දේපොළ සහ ජීවිත හානියක් සිදුවිය. වසර දහස් ගණනකට පෙර දුටුගැමුණු රජු අඩි 300ක් උසැති රුවන්වැලි සෑය ගොඩනැගූ රටේ එතරම් උස කුණු කඳු ගොඩගැසුවේ මේ රටේ ජනතාව වන අපමය. එහෙයින් කුණු පිළිබඳ අනෙකාට චෝදනා කිරීමට අප ඇඟිල්ල දිගු කරන විට ඇඟිලි කිහිපයක් නිතැතින් ම අප වෙත යොමු වෙයි. මීතොටමුල්ල ඛේදවාචකයෙහි අප සියලූ දෙනාම එක්තරා ආකාරයක චූදිතයෝය. එහෙත් අප තවමත් ඒ පිළිබඳ සංවේදී නැත. පරිසරය කෙරෙහි සංවේදී නැත.

දුම්රිය, බස්රිය ටිකට්පත්, යෝගට් සහ පාන වර්ග ඇසුරුම් ආදී වශයෙන් සකල විධ කසළ තැන තැන දමා යාම ඉතාම අශිෂ්ට ක්‍රියාවක් වුව ද ඒවා විධිමත් ලෙස බැහැර කරනු වෙනුවට දුම්රිය, බස්රිය කවුළුවෙන් ඉවතට විසි කරන්නේ එහෙයිනි. කසළ වර්ග කර වෙන වෙනම බැහැර කරන දියුණු රටවල පරිසර සංවේදී ජනතාව ආදර්ශයට ගනු වෙනුවට අප කරන්නේ රිය කවුළුවෙන් කසළ මලූ පාර අයිනට විසි කර කාර්යාලයට යාමය. එවැනි රටවල ජනතාව කෙතරම් පරිසර සංවේදී ද යත් ඔවුන් පෙට්‍රල්, ඩීසල්වලින් ධාවනය වන සුඛෝපභෝගී මෝටර් රථ වෙනුවට පරිසර හිතැති පාපැදි සිය ගමන බිමන සඳහා භාවිතයට නැඹුරු වෙමින් සිටිති. එය අපේ රටවල මෝටර් රථයක යාම මෙන් සමාජයේ බුහුමනට ගෞරවයට පාත්‍ර වෙයි. කසළ කන්ද ඉවත් කිරීම සඳහා එන ආයෝජකයාගෙන් කොමිස් මුදල් ඉල්ලන පාතාලයන් ලවා කසළ ලොරියෙන් කප්පම් ඉල්ලන නරුමයන් මෙවැනි අසංවේදී මිනිසුන් අතරින් පහළ වීම එතරම් පුදුමයට ද කරුණක් නොවේ.

රටේ කසළ ප්‍රශ්නයට විසඳුම් ලෙස විද්වතුන් ඉදිරිපත් කළ සැලසුම් හෝ අනතුරු ඇඟවීම් පිළිබඳ වගකිවයුත්තන්ගේ අවධානය යොමු වූයේ නැත. දැන් අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දැමීමට විවිධ සැලසුම් සකසති. කසළ බැහැර කිරීම, කසළ ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳ කතා කරති. එහෙත් අපේ රටේ තවමත් කසළ කෙසේ බැහැර කරන්නේ ද යන්න පිළිබඳ මිස කසළ නිෂ්පාදනය අවම කිරීම පිළිබඳ එතරම් අවධානයක් යොමු වන බවක් පෙනෙන්නට නැත. එහෙත් කසළ ප්‍රතිචක්‍රීයකරණය එතරම් ඵලදායි විසඳුමක් නොවන බව අත්දැකීමෙන් ම අවබෝධ කරගත් ලෝකය දැන් උත්සාහ කරන්නේ කසළ නිෂ්පාදනය අවම කිරීම සඳහාය.

කසළ යනු මිනිසා තමාට අනවශ්‍ය නිසා පරිසරයට බැහැර කරන සියලූ දේය. කාර්මික, කෘෂිකාර්මික, ඛනිජ කැනීම් සහ වාණිජ ආදී නිෂ්පාදන කටයුතුවලින් පරිසරයට කසළ බැහැර කෙරෙයි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සිට පරිභෝජන දක්වා ම කැළි කසළ නිෂ්පාදනය වෙයි. මිනිසා මිස කිසිම සත්ත්වයකු මෙලෙස කසළ නිෂ්පාදනය කරන්නේ නැත. එහෙයින් කසළ යනු මිනිස් ක්‍රියාකාරකම් නිසා ම ඇති වුණු ප්‍රශ්නයකි.

ලොව පුරා ජනතාව දිනකට කසළ ටොන් බිලියන 2.12ක් බැහැර කරති. මේ සියලූ කසළ ලොරිවලට පටවා එක පසුපස එක පෙළ ගැස්සුවහොත් එම ලොරි පෘථීවිය වටා රවුම් 24ක් පෙළ පෙළට තැබීමට සිදුවනු ඇත. මේ තරම් විශාල කසළ ප්‍රමාණයක් පරිසයට බැහැර කිරීමට මූලික හේතුව අප මිලට ගන්නා භාණ්ඩ අතරින් 99%ක් මාස 6ක් ඇතුළත කසළ ලෙස පරිසරයට බැහැර කිරීමය. මේ අතරින් කසළ සුළු ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීයකරණය කරන අතර බහුතරය කසළ කඳු ලෙස පෘථීවිය මත තැන තැන ගොඩගැසෙයි. මෙහි වඩාත් භයානක පියවර ඇමෙරිකාව වැනි සංවර්ධිත රටවල් සිය කසළ දියුණු වෙමින් පවතින ලෝකයේ රටවලට පැටවීමය.

කසළ කෙතරම් දියුණු තාක්ෂ‚ක උපාය මාර්ග භාවිතයෙන් කළමනාකරණය කළ ද එහි පරිසර බලපෑම බින්දුව දක්වා රැගෙන ඒම අත්පත් කරගැනීමට සිතීම අපහසු ඉලක්කයකි. කසළ නිසා හට ගන්නා පාරිසරික ගැටලූ කිසිදා නිමා කළ නොහැකිය. කසළ ප්‍රතිචක්‍රීයකරණය විධිමත් කිරීම ඔස්සේ කළ හැක්කේ කසළ නිසා ඇති වන දැවැන්ත පාරිසරික සහ මානව අර්බුදය කිසියම් දුරකට අවම කිරීම නැතහොත් පාලනය කිරීම පම‚. එසේම කසළ ප්‍රතිචක්‍රීයකරණය යනු විශාල මූල්‍ය පිරිවැයක් දැරිය යුතු ක්‍රියාවලියකි. පොලිතීන්, ප්ලාස්ටික් වැනි කසළ පුලූස්සා දැමීම නිසා වායුගෝලයට අධික විසැති රසායනික සංඝටක එක්වෙයි. කොටින්ම අදාළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඔස්සේ ලබා ගත් මුදලට වැඩි මුදලක් ඉන් බැහැර කෙරෙන කසළ නිසා ඇති වන පාරිසරික බලපෑම දිගුකාලීනව අවම කිරීම සඳහා වැයවෙයි.

කසළ කළමනාකරණ ක්‍රමවේදයක් ලෙස කාබනික කසළ භූමිය ගොඩ කිරිම සඳහා භාවිත කළ එමගින් වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යාමට හේතුවන මීතේන් වායුව නිකුත් වෙයි. මිනිස් පරිභෝජනයට ගන්නා කෑමබීම බහාලන ප්ලාස්ටික් බෝතලයක් බොහෝ විට ප්‍රතිචක්‍රීයකරණය මගින් නැවත එවැනිම බෝතලයක් නිර්මාණය කළ නොහැකිය. මන්ද ඒ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය තුළ මිනිස් සිරුරට අහිතකර දෑ ඇතුළත් විය හැකි හෙයිනි. ඒ නිසා ඒවා නැවත ඉක්ම‚න් කසළ බවට පත්වන පාපිසි, කාපට්, සෙල්ලම් බඩු වැනි දෑ බවට පත් වෙයි. කසළ ප්‍රතිචක්‍රීයකරණයට නොව කසළ නිෂ්පාදනය අවම කිරීමට අප වඩා වැඩි අවධානයක් යොමු කළ යුත්තේ එහෙයිනි.

මේ ප්‍රශ්නය සඳහා ලබාදිය හැකි හොඳම විසඳුම පරිභෝජනය සීමා කිරීමය. විශේෂයෙන් සංවර්ධිත රටවල මෙන්ම සෙසු රටවල ඉහළ ආර්ථීක හැකියාවක් ඇති පිරිස තමන්ට ඇත්ත වශයෙන් ම අවශ්‍ය ප්‍රමාණයට වඩා භාණ්ඩ හා සේවා මිලට ගනිති. ඔවුහු සිය අනාගත මුනුබුරු පරම්පරාවට ජීවත්වීම සඳහා අවශ්‍ය සම්පත් ද වර්තමානයේ පරිභෝජනය කරති. එම අධි පරිභෝජනය සීමා කිරීම මගින් ඉන් බැහැර කෙරෙන කසළ නිෂ්පාදනය අවම කළ හැකිය.
අප භාවිත කරන භාණ්ඩ නව අරමුණ උදෙසා නැවත නැවත භාවිතයට ගැනීම (රුමිැ) ද කදිම විකල්පයකි. කඩදාසි නැවත නැවත භාවිතයෙන් ගස් කැපීම අවම කළ හැකිය. ප්ලාස්ටික් නැවත නැවත භාවිතයෙන් ඛනිජ තෙල් අලූතින් ගොඩගැනීම අවම කළ හැකිය. ඇලූමිනියම් බඳුනක් ප්‍රතිචක්‍රීයකරණය කොට එවැනිම නව බහාලූමක් තැනීම මගින් අලූතින් ඇලූමිනියම් ලෝහ පිරිපහදු කර එය නිෂ්පාදනයට වැය වන බලශක්තියෙන් 90%ක් ඉතිරි කරගත හැකිය. අපට පැර‚ නාට්‍ය ශාලාවක් ඉතාම සුළු වෙනස්කම් ප්‍රමාණයක් සිදුකර පෞරා‚ක පෙනුමැති නවීන සිනමාහලක් කළ හැකිය. එසේම ඔබ භාවිත කරන දැව ගෘහභාණ්ඩයක් ඊට වඩා වටිනා කලා භාණ්ඩයක් (මචජහජකැ) බවට පත් කළ හැකිය.

එසේම අපට තවදුරටත් අවශ්‍ය නොවන භාණ්ඩ කසළ ලෙස බැහැර නොකර ඒවා අවශ්‍ය අයට ලබා දීම කළ හැකිය. දැන් ලොවපුරා පැතිරුණු මිලියන ගණනක් සාමාජිකයන් සිටින ත‍රුැජහජකැගදරට වැනි සංවිධාන බිහි වී තිබේ. එහි අරමුණ භාණ්ඩ නැවත භාවිතය සහ කසළවලින් භූමිය ගොඩ කිරීම සීමා කිරීමය.

කසළ නිෂ්පාදනය අවම කිරීම සඳහා රටක් ලෙස කටයුතු කරන අතර පෞද්ගලික වශයෙන් මිනිසාට ඒ සඳහා ඉතාම බලපෑම් සහගත ලෙස දායක විය හැකිය. අපට අවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට වෙළෙඳපොළට යන විට නැවත නැවත භාවිත කරන බෑග් සහ බහාලූම් රැගෙන යා හැකිය. දිවා ආහාර හෝ ගමන් බිමන් යන විට ආහාර රැගෙන යාමට ද නැවත භාවිත කළ හැකි බඳුන් භාවිත කළ හැකිය. හැකි සෑම අවස්ථාවක නැවත පිරවිය හැකි, නැවත භාවිත කළ හැකි මෙන්ම ආපසු ලබාදිය හැකි භාණ්ඩ මිලට ගත යුතුය.

භාණ්ඩ මිලට ගැනීමේ දී වෙන වෙනම ඇසුරූ තනි භාණ්ඩ මිලයට නොගෙන භාණ්ඩ කිහිපයක ඇසුරූම් මිලට ගත යුතුය. එසේම අවශ්‍යතාව පරිදි කුඩා ඇසුරුම් වෙනුවට වඩා විශාල ඇසුරම් මිලයට ගැනීම වඩා හොඳය. එය ඔබේ පසුම්බියට ද වාසියකි. එසේම ඇසුරු බඩු නැවත අසුරා විශාල ඇසුරුම් ලෙස ඇති විට මිලට ගැනීම සීමා කළ යුතුය. නිවසේ කොම්පෝස්ට් බඳුනක් නඩත්තු කරමින් ඉතිරි වන කෑම ආදිය නිවසේම කොම්පෝස්ට් බවට පත්කරගෙන ගෙවත්තේ වගා කටයුතු සඳහා යොදා ගැනීමෙන් වස විස නැති එළවළු, පලතුරු ටිකක් නිවසේ ම නිෂ්පාදනය කරගත හැකි අතර එමගින් සැලෙසන සෞඛ්‍යමය සහ ආර්ථීකමය වාසි බොහෝය.

අනවශ්‍ය විද්‍යුත් ලිපි හුවමාරුව සහ ලැබීම සීමා කිරීමෙන් විශාල බලශක්තියක් ඉතිරි කරදිය හැකිය. සාමාන්‍ය ඇමෙරිකානුවකුට වසරකදී රාත්තල් 40ක් පමණ අනවශ්‍ය විද්‍යුත් ලිපි (වමබන ප්සක) ලැඛෙන බව පැවසෙයි. පාවිච්චි කළ භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසලකින් අඩු මුදලකට බඩු මිලට ගත හැකිය. නැවත භාවිතයට ගත හැකි දෑ මිලට ගැනීමෙන් ඒවා ඔබේ සමීපතමයන්ට ලබා දීමට ද හැකිය. ප්‍රතිචක්‍රීයකරණය කොට සාදන ලද භාණ්ඩ මිලට ගැනීමෙන් ද ඒවා නැවත නැවත භාවිතයට ගැනීමෙන් ද කසළ නිෂ්පාදනය අවම කළ හැකිය. කඩදාසිවල පැති දෙකම භාවිත කිරීම මෙන් ම කටුසටහන් සඳහා මුද්‍රිත එහෙත් ඉවත දමන කඩදාසි භාවිතය ඒ සඳහා නිදසුනකි. කසළ නිෂ්පාදනය අවම කිරීම සඳහා මෙවැනි බොහෝ කටයුතු මගින් අපට දායක විය හැකිය.

රටේ කසළ ප්‍රශ්නයට එකම විසඳුම කසළ නිසි ලෙස බැහැර කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණය පමණකැයි සිතාගෙන මෙන් සැලසුම් සකසන බලධාරීන් කසළ නිෂ්පාදනය අවම කිරීමේ වැදගත්කම අවබෝධ කරගෙන එය අපේ රටේ ක්‍රියාවට නැගිය යුතු කාලය දැන් එළැඹ තිබේ.

නාමල් උඩලමත්ත