ශ්‍රී ලංකාව දශක තුනකට අධික කාලයක් පැවැතියේ එළිමහන් සිර කඳවුරක් නැතහොත් පාතාලය රජයන චිකාගෝ නුවර වීථීයක් ලෙස යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. අපේ මාතෘ භූමියෙන් 1/3ක් ද මුහුදින් 2/3ක් ද නොනිල වශයෙන් පාලනය කළ ප්‍රභාකරන් මුලතිව් කැලයට වී මුළු රටම භීතියෙන් මුසපත් කරමින් ද දකුණේ ආණ්ඩු සිය අල්ලේ නටවමින් ද සිටියේය. උදෑසන නිවසින් පිටවන අඹු සැමියන් පමණක් නොව හය හතර නොදත් පාසල් සිසුවා ද යළි නිවසට මිනි පෙට්ටියකින් එවන තරමට ප්‍රභාකරන් බලවත්ව සිටි අතර ඔහු නායකත්වය දුන් කොටි සංවිධානය ලොව දරුණුතම ත්‍රස්ත සංවිධානය ලෙස නම් කළේ ඇමෙරිකාවේ එෆ්බීඅයි සංවිධානයයි.

ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ රාජ්‍ය නායකයකු ද ඝාතනය කළ කොටි සංවිධානය රටේ මහ බැංකුවට, දළදා මාළිගාවට ද පහර දෙමින් අහිංසක ජනතාව දහස් ගණනින් අමු අමුවේ මරා දමමින් රට විසාලා මහනුවරක් කළ යුගය අවසන් වූයේ 2009 මැයි මස මැද භාගයේය. එතැන් පටන් සිංහල දෙමළ මුස්ලිම් වර්ග භේදයකින් තොරව උතුරු දකුණු භේදයකින් තොරව සියලූ ශ්‍රී ලාංකිකයන් භුක්ති විඳින නිදහස වෙනුවෙන් ලේ, ඉස්, මස් පමණක් නොව අවසන සිය හුස්ම පොද ද පූජා කළේ අපේ රටේ ආරක්ෂක හමුදාවය.

ප්‍රභාකරන් වෙල්ලමුල්ලිවයික්කාල්හි මිනිස් පවුරක් ලෙස යොදා ගත් අහිංසක දෙමළ ජනතාව සතුරාගේ වෙඩි වරුසා මැදින් සිය මව-පියා, සහෝදරයා-සහෝදරිය, දුව-පුතා ලෙස අලූත් ජීවිතයකට එතෙර කළේ ශ්‍රී ලංකා හමුදාවය. හිටපු කොටි නායිකාවක වන තමිලිනී විසින් රචිත —තියුණු අසිපතක සෙවණ යට˜ කෘතියේ කියැවෙන ශ්‍රී ලංකා හමුදාව ත්‍රස්තවාදීන්ට පවා සැලකූ මානුෂීය ආකාරය විස්මය ජනකය.

රටට සමස්ත ජාතියට අභයදානය ලබා දුන් මේ සටනේ දී හමුදා සෙබළුන් දහස් ගණනක් සිය ජීවිතයේ යෞවන සමයේ ම ආබාධිත තත්ත්වයට පත්විය. සමහර සෙබළුන් දෑත් දෙපා අහිමි මිනිස් කොට බවට පත්වූ අතර සමහරු දෑස් අත් පා අහිමි වී සදාකාලික ආබාධිතයන් බවට පත්වූහ. රටේ නිදහස වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කොට ආබාධිත වූ එම රණවිරු පිරිස රැක බලා ගැනීම ජාතික වගකීමකි. ඔවුන්ට සෙවණ පි‚ස ගාල්ල බූස්ස ප්‍රදේශයේ අක්කර දහයක භූමියක් වෙන් කර පුනරුත්ථාපන කඳවුරක් ඉදිවන්නේ ඒ යුතුකම ඉටු කරනු පි‚සය.

ආබාධිත රණවිරුවන් 1300 ක් පමණ පුනරුත්ථාපනය ලබන එහි ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩා, සංගීත, වෘත්තීය පුහුණු, පුස්තකාල පහසුකම් ආදිය සම්පාදනය කර තිබේ. එසේම ඔවුන්ට බාහිර ලෝකයේ අනවශ්‍ය ගාලගෝට්ටිවලින් බැහැරව නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් එහි නිර්මාණය කර තිබේ. රට වෙනුවෙන් සිය ජීවිත පූජා කළ මේ විරුවන් පිරිසට තවත් ලබා දිය හැකි ලබා දිය යුතු යමක් වේ නම් කවර මිලක් ගෙවා වුව එම පහසුකම් ලබා දීමට කටයුතු කළ ද අප ඔවුන්ට මිස ඔවුන් අපට ණය නැත.
එහෙත් මේ පුනරුත්ථාපන කඳවුර ඉදිකළ භූමි භාගයෙන් හරි අඩක් නැවත පවරාගෙන එහි අධිකරණ සංකීර්ණයක් ඉදිකිරීමට මූලික මැනුම් කටයුතු ආරම්භ වී ඇති නිසා එහි සිටින ආබාධිත රණවිරුවන් මහත් නොසන්සුන්තාවට පත්ව ඇති බවට පුවතක් අද රිවිරට වාර්තා වී තිබේ. රටට අධිකරණ සංකීර්ණයක් වුවමනා නම් එය ඉදි කළ යුතු බවට කිසිදු තර්කයක් නැත. එහෙත් ඒ සඳහා ඉඩමක් තෝරා ගැනීමේ දී මෙවැනි සංවේදී ස්ථානයක් තෝරා ගැනීම බරපතළ තත්ත්වයකි. මේ පුනරුත්ථාපන කඳවුරේ සිටින්නේ පාතාල ගැටුමකට ගොස් අතපය කඩා ගත් මදාවි පිරිසක් නොවේ. රට එක්සේසත් කළ රණවිරු පිරිසකි.

එදා ඔවුන් සිය යුතුකම අප වෙනුවෙන් ඉටු කළ හෙයින් ආබාධිත වූ ඔවුන්ගේ ඉතිරි ජීවිත කාලය වඩා සුවපහසු ලෙස ගත කිරීමට අවස්ථාව ලබාදීම අපගේ පරම යුතුකමය. ඔවුන්ට සුවපහසුව උදෙසා වෙන් කළ භූමියේ කොටසක ජනතාව නිතර ගැවසෙන අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීම ඔවුන්ගේ නිදහසට බාධාවකි. හිරිහැරයකි. රටට අහිමිව පැවැති විශාල බිම්කඩක් නැවත ලබා දීම උදෙසා සටන් කර ආබාධිත වූ පිරිසකට වෙන් කළ භූමිය නැවත වෙනත් කටයුතුවලට පවරා ගැනීමට කටයුතු සිදුවන්නේ නම් එය නැවත නැවත සිය දහස් වාරයක් සිතා බැලිය යුතු තත්ත්වයකි.

රටට නිදහස දිනාදුන් ඒ සටන පැවැති අවසාන දිනවල රටේ වැඩබලන ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කළේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඒ අවස්ථාවේ රටේ ආරක්ෂක හමුදා සිදු කළ අනන්ත අපරිමාණ කැපකිරීම් පිළිබඳ අපට වඩා හොඳ අවබෝධයක් එතුමාට ඇති බව නිසැකය. ඒ ජයග්‍රණයේ කොටස්කරුවකු ද වන එතුමාගේ අවධානය බූස්ස ආබාධිත රණවිරු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදුවන බව පැවසෙන මේ සිදු නොවිය යුතු කටයුත්ත පිළිබඳ වහා යොමු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.