ශ්‍රී ලංකාවේ කිසිදු සම්පතක් විදේශීය රටවල්වලට විකුණා දැමීමේ තීරණයක් මතෛක් ගෙන නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. විදේශීය ආයෝජකයන්ට මෙරට සම්පත් සින්නක්කරට විකුණා දැමීමේ කිසිදු ගිවිසුමක් තමන් අත්සන් නොකරන බවද ජනාධිපතිවරයා කීවේය. පුවත්පත් කතුවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීවේය.

තමන් බලයට පත් වන විට කොළඹ වරාය නගරයේ හෙක්ටයාර් 200ක් චීනයට සින්නක්කර විකුණමින් පසුගිය ආණ්ඩුව රටේ සිදුවූ ලොකුම පාවාදීම සිදුකර තිබූ බවද ජනාධිපතිවරයා කීවේය. අනතුරුව චීනය සමග අමනාප නොවී එම ගිවිසුම වෙනස් කිරීමට හැකිවූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

“අපේ ආණ්ඩුව පත් වෙලා දැන් අවුරුදු දෙකහමාරක් සම්පූර්ණ වෙන්න යනවා. ඒ කාලය තුළ විවේචන, චෝදනා, නින්දා අපහාස ආවා. ඒක තමයි ප්‍රජාතත්ත්‍රවාදය නිදහසේ භුක්ති විඳීමේ අවස්ථාව. මේ රටේ ජනතාව මාව බලයට පත් කරද්දී ප්‍රධාන බලා‍පොරොත්තු දෙකක් ලබා දුන්නා. ඉන් එකක් තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ එම බලතල පාර්ලිමේන්තුවට ලබාදීම. ඒ සඳහා මම ඕන වෙලාවක ලෑස්තියි. මගේ තීරණයේ වෙනසක් නෑ. මම එදත් ඒකට ලෑස්තියි අදත් ලෑස්තියි. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. පහුගිය කා‍ලේ රටේ ආර්ථිකය පිළිබඳව නොයෙකුත් විග්‍රහ තිබුණා. විපක්ෂයේ දේශපාලනඥයෝ ඒ ගැන විවිධ කතා කිව්වා. මේ අලුත් අවුරුද්දේ මම රටට දෙන පණිවුඩය තමයි එවැනි ආර්ථික අර්බුදයක අපේ රට නැහැ. ඉදිරි කාලයේ හොඳ ආර්ථික ගමන් මාර්ගයක් අපිට තියෙනවා. මේ වෙනකොට බිලියන පහක විදේශ වත්කම් තියෙනවා. අපි බලා‍පොරොත්තු වෙන්නේ ඉදිරි මාස කිහිපය තුළ එය තවත් වර්ධනය කර ගන්න. අද තේවලට හොඳ මිලක් තියෙනවා. රබර්වලට හොඳ මිලක් තියෙනවා. පාරිභෝගිකයන්ට තරමක් අමාරු වුණත් ‍පොල් නිෂ්පාදනකරුවන්ටත් හොඳ මිලක් තියෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ රැස්වීමකට ගිහිල්ලා මම ආපහු කොළඹ එනකොට හෙලිකොප්ටරය නතර කරලා තිබුණු තැනට මිනිස්සු හුඟ දෙනෙක් ඇවිල්ලා හිටියා. ඒ ගොල්ලෝ ආවේ මාව බලන්න නමෛයි, හෙලිකොප්ටරය බලන්න. හැබැයි මම ඒ මිනිස්සු එක්ක කතා කළා. ඒ අය මට කිවේ රබර්වලට හොඳ මිලක් දෙන්න කියලා. අද රබර්වලට හොඳ මිලක් තියෙනවා. ඒ වගේම හැමෝම චෝදනා කරන වී වලටත් හොඳ මිලක් තියෙනවා. අද වී කිලෝව රු. 40ට මිලදී ගන්නවා. ඒ වගේම අනෙක් පැත්තෙන් හාල් මිල ‍පොඩ්ඩක් ඉහළ ගිහිල්ලා පාරිභෝගිකයන්ට අමාරුවක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව වුණේ නියඟය ඇවිල්ලා වී නිෂ්පාදනයට බලපෑම් එල්ල වුණු එක. අපි ඒකට පිළියමක් ලෙස පිටරටින් සහල් ගෙනැල්ලා පාරිභෝගිකයන්ට අවශ්‍ය සහන දුන්නා. ඒ වගේම තමයි අවුරුදු ගණනාවක් ආණ්ඩු කිහිපයක් ලංගම සේවකයන්ගේ අර්ථසාධක අරමුදල් ගෙවලා තිබුණේ නෑ. බිලියන දොළහක් ගෙවන්න තිබුණා. නිමල් සිරිපාල ඇමැතිතුමා ඇමැති විදිහට පත් වෙලා අවුරුදු එකහමාරක් යන්න කලින් අපි එයින් බිලියන හයක් ගෙවලා දැම්මා. ඒ වගේම තමයි කටුනායක ගුවන්තොටුපළ අලුත් ගුවන් පථය ගැන එක එක කතා මාධ්‍යවල යනවා. මම ඒ ගැන ඒ ක්ෂේත්‍රවල විශාරදයන්ගෙන් අහලා බැලුවා. අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි ඉදිරි කාලය තුළ ඒ නව ගුවන් පථයෙන් ඒ-380 ගුවන් යානාවක් ගොඩ බස්සන්න පුළුවන් විදිහට වැඩකටයුතු සකස් කරලා තියෙනවා. ඒ වගේම ගුවන් තොටුපළ තීරුබදු රහිත භාණ්ඩ විකුණන කඩවල්වල මාෆියාවක් තිබුණා. ඒ කඩවල් බහුතරයක් අයිති කරගෙන තිබුණේ ඇමැතිවරු. ඒ ගැන මම අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. හැබැයි පළවෙනි වතාවට අපේ ආණ්ඩුව ආවාට පස්සේ මේ වෙළෙඳසැල් ටෙන්ඩර් දැම්මා. ඇමැතිවරුන්ගේ අයිතිය තිබෙද්දී මේ කඩවල්වලින් අපිට ලැබුණේ 24ක ආදායමක්. දැන් 40ක ආදායමක් අපිට ලැබෙනවා. ඒ වගේම තමයි මොරගහකන්ද ජලාශය ගැනත් වචනයක් කියන්න ඕනෑ. පරාක්‍රම සමුද්‍රය වගේ හය ගුණයක් ජලය රඳවන්න පුළුවන් විදිහට මොරගහකන්ද ජලාශය හැදෙනවා. උතුරේ වැව් හයසීයක් අලුතෙන් ප්‍රතිසංස්කරණය වෙනවා.

ඒ වගේම හුඟක් දෙනෙක් අතර කතාබහට ලක් වුණා අපේ රටේ මානව හිමිකම් ප්‍රශ්නය. මේ සැරෙත් අපිට පුළුවන්කම ලැබුණා ඒ යෝජනා ක්‍රියාත්මක කිරීම අවුරුදු දෙකකට කල් දාන්න. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන්න අපිට පුළුවන්. අපේ රටේ ස්වෛරීත්වයට කිසිදු හානියක් නොවන අයුරින් මානව හිමිකම් ප්‍රශ්නය විසඳා ගන්න අපිට පුළුවන්. මම ඒ ප්‍රශ්නය කොහොම හරි විසඳා ගන්නවා. මේ වෙනකොට උතුරේ නැවත පදිංචි කිරීම් 60ක් අවසන් වී තිබෙනවා. ඉදිරි මාස තුනක කාලය තුළ අපි ඒ ප්‍රදේශවල ඉන්න අවතැන් වෙච්ච සියලු දෙනා නැවත පදිංචි කර අවසන් කරනවා. ඒ වගේම ජාත්‍යන්තර වෙසක් සතිය ලංකාවේ පැවැත්වෙනවා. මේ සඳහා සමාරම්භක උත්සවයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහතා පැමිණෙනවා. ඒ වගේම සමාප්ති උළෙලට නේපාලයේ ජනාධිපති පැමිණෙනවා.

මම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලට යන කොට තියෙන ලොකු චෝදනාවක් තියෙනවා. අවුරුද්දකට එක දවසක්වත් සම්බන්ධීකරණ කමිටුව රැස්වෙලා නැහැ. මම ඒකට හේතුව හොයලා බැලුවා. නිලධාරීන් කියන්නේ මැති ඇමැතිවරු දින දීලා නැහැ කියලා. මම ජනාධිපති ‍ලේකම් කාර්යාලය හරහා දින ලැයිස්තුවක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලටයි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලටයි යවනවා. ඒ දිනවල ඒවා රැස්වෙන්න ඕන. ඒවා නැතිව කොහොමද සංවර්ධන ව්‍යාපෘති ගැන සාකච්ඡා කරන්නේ? පළාත් සභා රැස්වෙන්නේ නැති පාර්ලිමේන්තුව රැස්වෙන්නේ නැති දින ලැයිස්තුවක් ඒ අයට යවනවා. ඒ වගේම තමයි අද රටේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මාලබේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය. මමත් එක්කත් ඒ අය සාකච්ඡා වට තුනක් තිබ්බා. මම සියලු දෙනා කැඳවලා ඒ ගැන කතා කළා. මේකට විසඳුමක් ලෙස අපි ඉදිරියේදී තීරණය කළා සයිටම් වෛද්‍ය විද්‍යාලය කොටස් වෙළෙඳ‍පොළට දාලා ‍පොදු සාමූහික ආයතනයක් බවට පත් කරන්න. එතකොට ඒකට ඕන කෙනෙක්ට කොටස් මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව තනි පුද්ගලයෙක් පාලනය කරන මෙම ආයතනය පාලක මණ්ඩලයක් යටතේ පාලනය කිරීමට රජය කටයුතු කරනවා. නිදහස් අධ්‍යාපනයට කිසිදු අයුරකින් හානියක් නොවන විදිහට අපි මේ කටයුත්ත කරනවා. ඒකෙන් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න දරුවන්ගේ අයිතිවාසිකම්වලට කිසිම හානියක් වෙන්නෙ නැහැ. ඒ විතරක් නමෛයි සයිටම් ආයතනයෙන් ලබා දෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කරන්නත් අපි කටයුතු කරනවා.

ඒ වගේම තමයි මීතොටමුල්ල ඛිෙදවාචකය. මම දැනට මේ ගැන සාකච්ඡා වට  තුනක් කැඳවලා තියෙනවා. සියලු බලධාරීන් මම ඒකට කැඳෙව්වා. ආයතනවල බලය තියෙන කඹ ඇදීම තමයි මේ ඛිෙදවාචකයට මුල.
මේ කුණු කන්ද සමහර අයට ඉවත් කර ගන්න වුවමනාව තියෙනවා. හැබැයි සමහර අය කැමැතියි මේ කුණු කන්ද එහෙම තියෙනවාට. මට ආරංචි වුණු හැටියට මේ කුණු කන්දට එන ලොරිවලින් රු. 1000ක් 1500ක් පගාව ගන්නවා. අපි බලන්න ඕන මෙවැනි ඛිෙදවාචකයක් ඉදිරියේදී ඇති නොවන්න වගබලා ගන්න එක. කොච්චර වන්දි දුන්නත් මේ මිනිස්සු ආයිත් උපදින්නේ නැහැ. මම ලබන සතියේ විශ්‍රාම විනිසුරුවරයෙක්ගෙන් සමන්විත කමිටුවක් පත් කරනවා මේ ඛිෙදවාචකය වෙන්න කවුද වගකියන්න ඕනෙ කියලා බලන්න. තීන්දු තීරණ ගන්න කොට කොතැනද අඩුපාඩුව වුණේ කවුද ඒ තීරණ ගත්තේ නැත්තේ එතකොට මේකෙන් සොයා ගන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට ඇවිල්ලා මේකට කරුණු දක්වන්න පුළුවන්.  වැරැද්ද වුණේ කොතැනද කියලා රටටම කියන්න එතකොට පුළුවන්කම තියෙනවා. වැරැදි කරුවන්ට ගන්න ඕන ක්‍රියාමාර්ගත් අපිට එතකොට ගන්න වෙනවා. පැහැදිලිවම අපිට එවැනි නිර්දේශ ලැබුණොත් අපි ඒවාට ක්‍රියාත්මක වෙනවා.

මෙම අදහස් දැක්වීමෙන් පසුව මාධ්‍ය ආයතන ප්‍රධානීන් විමසූ ප්‍රශ්නවලටද ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.
ප්‍ර – හිටපු ජනාධිපතිතුමා කියලා තිබුණා පහුගිය අයවැයෙන් මේ සඳහා මුදල් වෙන් කරලා තිබුණත් ඒ මුදල්වලට වෙච්ච දෙයක් නෑ කියලා?
පි – මේ ආයතනවලට මුදල් පිළිබඳ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ. මේ වැඩේ කරන්න අවශ්‍ය කරන මුදල් ඒ අයට ඕනෑ තරම් තිබුණා.

ප්‍ර – අද වෙනකොට කොළඹ කුණු ගන්නෙ නැති තැනට පත් වෙලා. මිනිස්සු හැමතැනම උද්ඝෝෂණය කරනවා. මේකට විසඳුමක් තියෙනවාද?
පි – කැළිකසළ ඉවත් කිරීමේ කටයුතු කරන්න ගියහම හැම තැනම මිනිස්සු උද්ඝෝෂණය කරනවා. මට මතකයි මම පරිසර ඇමැති කා‍ලේ මින්නේරිය ප්‍රදේශයේ ඉඩමකට කුණු දාන්න හදන කොට පාරේ දෙපැත්තේ මිනිස්සු උද්ඝෝෂණය කළා. කොළඹ වගේ නමෛයි මින්නේරිය පැත්තේ ඕනෑ තරම් ප්‍රදේශ තියෙනවා කුණු දාන්න. ඒ වෙලත් මිනිස්සු උද්ඝෝෂණය කළා. මම එක දෙයක් දැක්කා. මේ අද ඊයේ පැවැත්වුණු උද්ඝෝෂණ මෙහෙයවන පිරිසක් ඉන්නවා. ඒ අය මිනිස්සු නොමග යවනවා. ඒ කවුද කියලා අද පත්තරවල ‍පොටෝවල තිබ්බා.

ප්‍ර – විගණන පනතේ සමහර වගන්ති ඉවත් කළා කියලා චෝදනාවක් තියෙනවා. ඇයි ඒක ගේන්න එච්චර ප්‍රමාද?
පි – මම පාර්ලිමේන්තුවේදී අයවැය කතාවේදී කිව්වා විගණන පනත ජනවාරියේදී ගේනවා කියලා. මොනවා වුණත් ඒක අපේ අඩුපාඩුවක්. ඇත්ත කියන්න වෙනවා. තවම අපිට ඒක ගේන්න බැරිවෙලා තියෙනවා. මම අවශ්‍ය බලධාරීන්ට උපදෙස් දෙනවා මේක හැකි ඉක්මනින් ගේන්න කියලා.

ප්‍ර – රාජ්‍ය ආයතනවලට අලුත් මුහුණු එනවා වගේම කැබිනට් සංශෝධනයකුත් වෙනවාද?
පි – වෙසක් ‍පෝයට කලින් බලාගන්න පුළුවන්.

ප්‍ර – විපක්ෂයත් කියනවා වෙසක් ‍පෝයට කලින් වෙනසක් වෙනවා කියලා?
පි – ඔව්, ඔව්. මමත් දැක්කා. විපක්ෂයෙත් වෙනසක් වෙයිද දන්නෙ නෑ.

ප්‍ර – මීතොටමුල්‍ලේ ඛිෙදවාචකයෙන් වන්දි ලබාදීම ගැන ප්‍රකාශ කිරීමේදී මුදල් අමාත්‍යාංශය වැරැද්දක් කරලා තියෙනවාද?
පි – පැහැදිලිවම ඔවුන් වැරැද්දක් කරලා තියෙනවා. අපි ඒ අයට නිවාස 98ක් දෙනවා. ඒ නිවසක වටිනාකමම ලක්ෂ 45ක්. මේ වන විට ඒ නිවාසවලට ජලය, විදුලිය ලබාදීම සිදුවෙනවා. තව දවස් දෙකකින් ඒ නිවාස 98 අපි භාර දෙනවා.

රුචිර දිලාන් මධුසංඛ

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය