‍පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල වෙනුවෙන් සහභාගි කරවන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම තෝරා ගැනීමේ පළමු පරීක්ෂණය ඊයේ (20) කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේ පැවති අතර ඒ සඳහා ක්‍රීඩකයින් 48 දෙනෙක් සහභාගි වූ බව වාර්තා වේ.

කෙසේ වෙතත් කලින් යොදාගත් පුහුණු සැසියක් හේතුවෙන් මහනුවර ත්‍රිත්ව විදුහ‍ලේ ක්‍රීඩකයින්ට ද නොවැළැක්විය හැකි හේතු නිසා කොළඹ රාජකීය හා ඉසිපතන ක්‍රීඩකයින්ට ද මේ සඳහා සහභාගිවීමට නොහැකි වී ඇත.
මේ හේතුවෙන් අවසන් තෝරා ගැනීමේ පරීක්ෂණය හෙට (22) කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට තීරණය විය.

ශ්‍රී ලංකා රග්බි සංගමය, ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම තෝරා ගැනීමේ පරීක්ෂණය සිදුකරන අතර, අප්‍රේල් 30 දාට පෙර ජාතික ඔලිම්පික් කමිටුවට කණ්ඩායමේ නාම ‍ලේඛනය ඉදිරිපත් කළ යුතු බැවින් එදින ක්‍රීඩකයින් තිස් දෙනකු තෝරාගැනීමට බලා‍පොරොත්තු වේ.

එසේ වුවත් වීසා ලබාගැනීම සඳහා 25 දෙනකුගේ නම් යැවෙන අතර තරගාවලියට සහභාගි කරවනු ලබන්නේ ක්‍රීඩකයින් දොළොස් දෙනකු පමණි.

සීවලී ඉදිරිවීර