පසුගිය පෙබරවාරි මාසයේ  මාස 6 ක ශිෂ්‍යත්වයක් ලැබ වැඩිදුර පුහුණුවක් ලැබිමට ජැමෙයිකාවට ගිය ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර හිමාෂ ඒෂාන් පසුගියදා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබිණ.

මාස 6කට ජැමෙයිකාවට ගිය ඒෂාන් මාස  දෙකහමාරකින් නැවත ලංකාවට පැමිණියේ  ඇයි දැයි  අප  ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී ඔහුගේ පුහුණුකරු වූ චමින්ද පෙරේරාගෙන විමසනු ලැබිය.

“ජැමෙයිකාවේදි ඒෂාන්ට ලබා දෙන්නේ  දිගුකාලීන පුහුණුවක්. ඒ වගේම ඒ පුහුණුව ටිකක් සැර එකක්. නමුත් අප්‍රේල් 24 වැනිදා චීනයෙන් ආරම්භ වෙන ගෝන්ප්‍රි තරග තුනයි ජූලි මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියයි  අපිට වැදගත්නේ. ඒ තරගවලදී පදක්කම්  දිනා ගන්න ජැමෙයිකානු පුහුණු ක්‍රියාවලියන් අපහසුයි. ඒ නිසාය ඔහු ලංකාවට කල් ඇතිවම ආවේ.” යනුවෙන් චමින්ද  පෙරේරා සඳහන් කළේය.

කොහොම නමුත්  හිමාෂ ජැමෙයිකාවේදී   සහභාගි වූ  පළමු තරගයේදී මීටර් 100 නිම කරන්න ත.10.29ක කාලයක් වැයකර තිබිණ. එය මේ  තරග වාරයේ ඔහු  වාර්තා කළ හොඳ තරග නිමි කාලයක් ලෙස සැලකෙයි.

“හිමාෂ මිටර් 100 නිම කරල තියෙන හොඳම කාලය ත.10.26යි.  එයා ඒක ලංකාවෙදියි වාර්තා කරල  තියෙන්නේ. නමුත් මේ තරග වාරයේ පළමු තරගයේදී ත.10.29 ක කාලයක් වාර්තා කිරීම සුබ දායකයි. නමුත් ඉන්දියාවේ දී අපි පදක්කමකට යන්න නම් මේ කාලය  තවත් දශමයකින් විතර අඩුකරගන්න අවශ්‍යයි. මෙ මාස දෙකක කාලයේදී මම සැලසුම් සකස් කරන්නෙ ඒ වෙනුවෙනුයි”

චමින්ද පෙරේරා වර්තමානයේ කෙටිදුර ධාවන ඉසව් සඳහා සිටින හොඳම පුහුණුකරුවෙකි.  හිමාෂ ඒෂාන්ට අමතරව මීටර් 200 ඉසව්වේ දස්කම් දක්වන මිනෝද් සුරංජය සිල්වාද  ඔහු යටතේ පුහුණුව ලබන්නෙකි. දැනට මීටර් 200  ඉසව්ව තත්ත්පර 20.9 කදී අවසන් කොට තම හොඳම තරග නිමි කාලය වාර්තා කර ඇති සුරංජය  දෙවැනි වන්නේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන සුගත් තිලකරත්නගේ ත.20.7ට හා ප්‍රසන්න අමරසේකරගේ ත.20.8ට පමණි.
“ඇත්තෙන්ම මට මේ දෙන්නගෙන්ම ඉන්දියාවේදි පදක්කම් දිනාදීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඒකට මම ක්‍රීඩා  අමාත්‍යංශයත් වගේම අධ්‍යාපන අමාත්‍යංශයෙනුත්  උපරිම  සහයෝගය බලා‍පොරොත්තු වෙනවා. මම ගුරුවරයෙක්. මේ ළමියන්ගේ පුහුණු කටයුතු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය මාව වගකීම්වලින් නිදහස් කරල තියෙන්නේ දිනකට පැය දෙකකට විතරයි.  ඒක පදක්කම් බලා‍පොරොත්තුව ඉටු කරන්න හොඳටම මදි. මම ඉල්ලා සිටින්නේ අඩුගණනේ මේ මාස දෙකට විතරක් වත් මාව නිදහස් කරන්න කියලයි.  ඒ වගේම  ක්‍රීඩා අමාත්‍යාංශයට පුළුවන් නම් මේ ළමයි දෙන්නට ඉතිරි මාස දෙකේදී පුහුණුව ඉන්දියාවේදී හෝ මැ‍ලේසියාවේදී ලබා දෙන්න මට අවස්ථාවක් ලබාදෙන්න පදක්කම් වගකීම  මම භාර ගන්න ලෑස්තියි”

චමින්ද පෙරේරා අවසන් වශයෙන් එලෙස පැවසීය.

සීවලී එදිරිවීර

himasha (2)

හිමාෂ ඒෂාන් පුහුණුකරු සමග කායවර්ධන ඒකකයේ ව්‍යායාමවල යෙදෙමින් / ඡායාරූප - සීවලී එදිරිවීර
හිමාෂ ඒෂාන් පුහුණුකරු සමග කායවර්ධන ඒකකයේ ව්‍යායාමවල යෙදෙමින් / ඡායාරූප – සීවලී එදිරිවීර