සූර්ය මංගල්‍යය හෙවත් බක්මහ මඟුල නැතහොත් අලුත් අවුරුද්ද යන විවිධ නම්වලින් හඳුන්වන හෙළයන්ගේ මහා මංගල්‍යය හිරු දෙවියන් මුල්් කොටගෙන පවත්වනු ලබයි. එනම් සූර්ය දිව්‍ය රාජයාගේ දිගු ගමනක නිමහම දැක අලුත් ගමනක් අරඹන්නට සැරසෙන සමයයි. අලුත් යන වදන ආලෝකවත් යන අරුත ගෙනදේ. සැබවින්ම අලුත් අවුරුද්ද සිව් හෙළයටම නව ආලෝකයක් ලබාදෙන බව සත්‍යයකි. බක් මහ උළෙල එක් අතකින් සලකනවිට නැකත් උළෙලක් ද වේ. එහි සියලුම කටයුතු සුබ මොහොතින් ඇරඹෙන බැවිනි. නැකතට මුල් තැනක් දෙන අවුරුදු සිරිත් අතරේ හිස තෙල් ගෑමේ චාරිත්‍රයට ප්‍රධාන තැනක් හිමිවේ. ආයුර්වේදයත් ‍ජ්‍යොතිර්වේදයත් පාදක කොටගත් මේ මහඟු චාරිත්‍රය පරපුරෙන් පරපුරට පැවත එන්නේ හෙළයේ මහා සංස්කෘතික අංගයක් ආරක්ෂා කර ගනිමිනි.

ආයුර්වේදයේ මූලික පර්මාර්ථයන් වන්නේ රෝගී පුද්ගලයන්ගේ රෝගී බව දුරු කිරීමත් නිරෝගීන්ගේ නිරෝගී බව ආරක්ෂාකර ගැනීමත්ය. ආයුර්වේදය මේ ලොවට බිහි කළ ආදි කතුවරු තුන්කල් දක්නා නුවණින් යුක්ත අය වූහ. ඔවුන්ගේ තියුණු නුවණින් මිනිස් සිරුරේ ෙසෙලයන් පවා විනිවිද දුටහ. ඒ එතුමෝ හිස එහි උත්තමාංගය ලෙස සැලකූහ.
හිස උත්තමාංගය ලෙස හඳුන්වන්නේ මුළු මහත් සිරුරම පාලනය වන්නේ හිස් කබල තුළ සැදුම්ලත් මොළයේ හෙවත් මස්තිස්කයේ පවත්නා සියුම් ස්නායු පද්ධතියකිනි. එපමණක් නොව සිරුර අසිරිමත් නිර්මාණයක් බවට පත්කරන ඇස, කන, නාසය, දිව සම යන පංච ඉන්ද්‍රියන් හිසට අයත් බැවිනි.

ආයුර්වේද වාග්බට ආචාර්යවරයා මිනිස් සිරුර යටිකුරු කරන ලද ගසකට උපමා කරයි. මිනිසා නමැති ගසේ මුදුන්් මුල පිහිටා ඇත්තේ හිසේ බව එයින් කියැවේ. එබැවින් නැඟෙන ගසක මුලට සාරවත් ‍පෝෂණයක් අවශ්‍ය වේ. මිනිසා නමැති ගසේ මුදුන්්මුල වන උත්තමාංගය හෙවත් හිසට ‍පෝෂණීය සත්කාරයක් ලබාදිය යුතුමය. එයින් පුද්ගල නිරෝගී බව ආරක්ෂා කරගත හැකිය.

හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඇරඹුණේ හිස ආරක්ෂා කොට ඒ මගින් මුළු මහත් ජාතියක්ම ඉර හඳ පවත්නා කාලයක් රැකීමේ උතුම් අරමුණිනි. මේ උතුම් සිරිත අනාදිමත් කාලයක සිට පැවත ඒ. ජෝන් ඩේව්ගේ සඳහනකට අනුව ක්‍රි.ව. 1816-1820 කාලයේදී හිස තෙල් ගෑමේ චාරිත්‍රය රාජ්‍ය මහෝත්සවයක් ලෙසින් පවත්වා ඇති බව කියැවේ.

ගමේ පන්සලත් වෙද ගෙදරත් පාසලත් යන ත්‍රිත්වයේ එකතුවෙන් පන්ස‍ලේ හාමුදුරුවන් ද වෙදගෙදර වෙද මහතාද, පාස‍ලේ මුල් ගුරුතුමාද මේ කාර්යයට සම්බන්ධව අනාදිමත් කාලෙක සිට මෙම චාරිත්‍රය එකම දවසක එකම මොහොතක එකම දිශාවක් බලාගෙන උත්තමාංගය වන හිසෙහි තෙල් ගල්වා ප්‍රාණවත් කිරීම අලුත් වසරක් අරඹනු වස් මනස නිරවුල් කිරීමක් සේ දැකිය හැකිය.

මෙහිදී ප්‍රධාන තැනක් ගන්නා ඖෂධ මිශ්‍රණය හෙවත් නානු හා තෛල පිළිබඳ විශේෂ තැනක් ගනු ලබයි. නානු යනු ස්නානය යනුවෙන් එක් මතකයක් තවත් විද්වතුන් පවසන්නේ මැලියම් යන අරුත් ගන්නා බවය. නානුවල ලිස්සන ඇදෙන සුළු ගතිය නිසා එම නම ලැබි ඇත. නානු එය නාගයා, නාය යෑම ආදී වචනවලින්ද ඒබව පැහැදිලි වේ. ආයුර්වේදයට අනුව නානු යනු ඖෂධවල සංයෝගයකි. ඒ ඒ පළාත් අනුව නානු සකසන ක්‍රම විවිධ වේ. සාමාන්‍යයෙන් භාවිත වන ඔසු අතර රත්හඳුන්, සුදු හඳුන්, සැවැන්දරා, කහ, වෙනිවැල්, වදකහ, බෙලි මුල්, ජඨාමාංශ ආදිය වේ. මුදල් ඇති අය කුංකුමප්පු, ගොරෝචන, කස්තුරි, එක්කරමින් ගුණය වැඩි කරගනී. මෙම සංයෝගයට දිවුල් කොළ ඉස්ම හා දෙහි යුෂ යොදාගනු ලබයි.

හිසතෙල් ගෑමේදී නුග කොළ කොහොඹ කොළ ඉඹුල් කොළ බෝ කොළ කොල්ලම් කොළ ආදි කොළ වර්ග භාවිතයෙන් රක්ත ශෝධනය ප්‍රධාන ගුණය සේ සැලකේ. ‍ජ්‍යොතිර්වේදයට අනුව හිසට හා පයට තබන කොළ වර්ගය තීරණය කරනු ලබයි. ආයුර්වේදයට අනුව හිසට හා පයට කොළ වර්ග තැබිමෙන් ඖෂධය සිරුරට අවශෝෂණය සිදු කරයි. මෙහිදී යටිපතුල් විශේෂවේ.

හිස තෙල් ගැල්වීම තුළින් ඇතිවන මහත් ගුණ සමුදායකි. හිස රුජාව අකලට හිසකේ වැටීම, පැළීම, සුදු පැහැවීම දුරුවේ. මස්තිකාස්ථින්ගේ බලය වර්ධනය වේ. කෙස් මුල ශකිත්මත් වේ. කෙස් කළු පැහැවේ. වාත රෝග දුරුවේ. ඉන්ද්‍රියන්ගේ ප්‍රසන්න බව ඇතිවන අතර සුඛ නින්ද ඇතිවේ.

හිස තෙල් ගෑමේ චාරිත්‍රය සම්බන්ධව ගුප්ත ශාස්ත්‍රයේද විශේෂ තැනන් හිමිවේ. ශාන්තිකර්ම ආශ්‍රිතව නානුමුර මංගල්‍යය තුළ මේ බව දැකිය හැකිය. එහි එන කවියක් පහත දැක්වේ.

දිවැස් බල තද තෙද පතිනි දෙවියනේ
දහස් ගණන් දෙවිඳුට දිවසින් පෙනුණේ
භාහු සදිසි ඔබගේ පිරිපත හරිනේ
නානු ගා හිසේ දෝෂය දුරු හරිනේ

හිස නානු ගෑමෙන් අනතුරුව හිස තෙල් ගෑම කළ යුතුය. එහිදී තල, කොහොඹ, එඬරු, මී අබ ආදී තෛල වර්ගවලින් හිස තෙල් සකස් කරගනු ලබන අතර මේ ආකාරයට නැකතට ඖෂධීය හිස තෙල් ගෑමෙන් අණවින, කොඩි වින, හදි හූනියන්, නොවදින බව හා ආරක්ෂාව සැලසෙන බව ගුප්ත ශාස්ත්‍රයේ සඳහන් වේ. හිස තෙල් ගෑමේ මේ කාර්ය කළ යුත්තේ ආගමට දහමට ලැදි පින්වත් සත්පුරුෂයකුගේ සුරතින්ය. ආශිර්වාද පාඨ කීමෙන් මානසික සුවතාවය ඇතිවීමට එය හේතුවේ. ආශිර්වාදය හිසතෙල් ගාන්නාගේ අත් දිගේ හිසතෙල් ගානු ලබන්නාගේ ශීර්ෂයෙන් ශරීරයට කාවැදී එය කායික මානසික සුවයට හේතුවේ. මෙවන් උතුම් චාරිත්‍රයක් අප ජාතිය පවත්නාතාක් කාලයක් පරපුරෙන් පරපුරට දායාද කිරීම හා ආරක්ෂා කර ගැනීම අප සැමගේ යුතුකමකි.

ඉසුරු සඳකැලුම් පීරිස් -බණ්ඩාරවෙල

rt r fgh