බක්මහේ අසිරිය ගැන වැඩි වැඩියෙන් කතාබහට ලක්වන අවධියකි. ශ්‍රී ලංකාවේ අති බහුතරයක් අති උත්කර්ෂවත් අන්දමෙන් සමරන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව බක් මාසයේ යෙදී තිබිම ඊට හේතුවයි. අනාදිමත් කාලයක පටන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන උත්සවය හැටියට සැලකෙන්නේ ද සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරුමයි. මේ නිසාම මෙම සැමරුම රටේ ජාතික උත්සවය තරමටම වැදගත්කමක් උසුලයි. බක්මහේ උදාව ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක ද උත්සවයක් හැටියට සමරනු දැකිය හැකිය. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ දෙමළ බහුතරයක් වාසය කරන තමිල්නාඩුව හා තෙළිඟු භාෂාව කතා කරන ජනතාවගෙන් සමන්විත ආන්ද්‍රා ප්‍රාන්තයයි. එහෙත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට අවුරුදු සැමරුම තුළ වෙනසක් දැකිය හැකිය. එය වෙනසට වඩා විවිධත්වය කියාපාන අවස්ථාවකි.

මෙරට දෙමළ සමාජයේ ඉහළ ප්‍රසාදයක් ලබා සිටින විද්වතකු වන මහාචාර්ය කාර්තිකේසු සිවතම්බි මහතා කරන විග්‍රහයකට අනුව මෙම අවුරුදු සැමරුම කිසියම් රටකට හෝ ජාතියකට පමණක් අයත් වන සැමරුමක් නොවේ. එය කිසියම් ප්‍රදේශයක ජනතාව ජාති භේදයකින් තොරව සමරන ‍පොදු උත්සවයක් බව ඔහුගේ තර්කයයි. තවද ශ්‍රී ලංකාව තුළ මෙම අවුරුදු සැමරුම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හැටියට හැඳින්වෙන නමුත් එය වැරදි ආමන්ත්‍රණයක් බව හෙතෙම අවධාරණය කරයි. මෙය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හැටියට හැඳින්වීමේ අවශ්‍යතාව ද මහාචාර්යවරයා පෙන්වා දෙයි. කෙසේ වෙතත් මෙම ලිපියේ අරමුණු ඒ පිළිබඳව ගැඹුරෙන් විශේ‍ලේෂණය කිරීම නොවේ. මෙම ලිපියෙන් විස්තර කෙරෙන්නේ මෙරට දෙමළ සමාජය සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය සමරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ය.

දෙමළ සමාජය අනාදිමත් කාලයක පටන් මෙම අවුරුදු උත්සවය තම ප්‍රධාන උත්සවයක් හැටියට සමරන නමුත් කාලයත් සමග මෙම උත්සවය සමරන ආකාරය තුළ වෙනසක් ඇති විය. විශේෂයෙන්ම මෙම උත්සවයේ දී අනුගමනය කළ යුතු බොහෝ චාරිත්‍ර අද වන විට විශාල ඇදවැටීමකට ලක්ව තිබේ. නූතනයේ දෙමළ සමාජයේ බහුතරයකට සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවත් තවත් සාමාන්‍ය දවසකි. වෙනසට ඇත්තේ වෙනදාට නොතිබූ උත්සවශ්‍රීයක් මෙදිනට එක්වීම පමණකි. අද බොහෝ දෙමළ වැසියන්ගේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අලුත් ඇඳුමෙන් සැරසී කෝවිලට යාමෙන් පමණක් සීමා වෙයි. ඊට එහා යමක් සිදු වනවා නම් ඒ රස කැවිලි හදා තමන් ද එහි රසය භුක්ති විඳ අසල්වැසියන් සමග බෙදා ගැනීම පමණි. දෙමළ සමාජයේ තවත් උත්සව සැමරුම් දෙකක් වන තෛ‍පොංගල් හා දීපවාලි උත්සවයන් තුළ දැකිය හැකි ලක්ෂණම සිංහල දෙමළ අවුරුදු සැමරුම තුළත් දැකිය හැකි ය. මේ උත්සව තුන අතර පැහැදිලි වෙනසක් හා විවිධත්වයක් තිබෙන නමුත් කාලයත් සමග මෙරට දෙමළ සමාජය මේ උත්සව තුනටම එක හා සමාන වැදගත්කමක් ලබා දෙමින් බොහෝ විට එක හා සමාන ලෙස එය සමරන අයුරු දැකිය හැකිය.

ශ්‍රී ලංකාව තුළත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙම අවුරුදු සැමරුම් චාරිත්‍රයන්හි යම් වෙනසක් දැකිය හැකිය. දකුණේ ජීවත් වන දෙමළ ජනතාව බොහෝ විට සිංහල ජන සමාජය හා එක්ව මෙම උත්සවය සමරන පසුබිමක, දෙමළ චාරිත්‍ර පිළිපදින අවස්ථා ඉතා අඩුය. එය මේ ජන සමාජ දෙක අතර අනේ‍යා්න්‍ය සම්බන්ධය වර්ධනය කිරීමෙහිලා විශාල රුකුලක් බවට පත්ව තිබේ. උතුරේ දෙමළ සමාජයට සාපේක්ෂව දකුණේ දෙමළ සමාජය සිංහල ජනයා සමග ගැඹුරු සම්බන්ධයක් ගොඩනගා ගැනීමෙහිලා පවා මෙවැනි සාධක ඉවහල් වූ බව කිසිවකුටත් බැහැර කළ නොහැකිය. අවුරුදු උත්සව වැනි උත්සව සංවිධානය කිරීමේ සිට අලුත් අවුරුදු ක්‍රියාවලිය තුළ සිදු කෙරෙන බොහෝ කටයුතුවල දී එක්ව කටයුතු කිරීමට මෙම ජන සමාජ දෙකට ලැබුණු වටිනා අවස්ථාවක් ලෙස ද සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය හැඳින්විය හැකිය.

සිංහල ජන සමාජය හා බද්ධ වී සිටින දකුණේ දෙමළ සමාජයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය තුළ දෙමළ චාරිත්‍ර දැකිය හැක්කේ ඉතා අවම මට්ටමක ය. අලුත් අවුරුදු දිනයේ දී උදෑසනින්ම නින්දෙන් අවදි වී ස්නානය කොට දෙවියන්ට පූජා පැවැත්වීම දෙමළ ගෙදරක අනිවාර්යයෙන්ම සිදුවන්නකි. අලුත් ඇඳුමෙන් සැරසී කෝවිලට ගොස් එදින පැවැත්වෙන විශේෂ පූජාවට සහභාගි වීම මෙදින සිදුවන තවත් වැදගත් කටයුත්තකි. නැකතට ළිප පත්තු කිරීම නෑගම් යෑම වැනි කටයුතු චාරිත්‍රානුකූලව සිදුවන්නේ ඉතා අවම මට්ටමෙන් ය. එහෙත් නැකතට ගනුදෙනු කිරීම බොහෝ දෙමළ නිවෙස්වල අනිවාර්යයෙන්ම දැකිය හැකිය. සිංහල ජන සමාජයට සාපේක්ෂව දකුණේ දෙමළ ජන සමාජය පරණ අවුරුද්ද යෙදී තිබෙන දිනය සමරන්නේ නැති තරම් ය.

පරණ අවුරුදු දිනයේ දී සිංහල නිවෙස්වල චාරිත්‍රානුකූලව බොහෝ කටයුතු සිදුවන නමුත් දෙමළ සමාජය මෙදින යොදා ගන්නේ අලුත් අවුරුද්දට සුදානම් වීම සඳහා ය. වැඩ ඇල්ලීමේ චාරිත්‍රය පවා දකුණේ දෙමළ ජන සමාජය තුළ දැකිය හැක්කේ අවම මට්ටමක ය. මෙම චාරිත්‍රය බොහෝ විට පිළිපදින්නේ තනිකර සිංහල පරිසරයක ජීවත් වන දෙමළ ජනතාව පමණි. හිසතෙල් ගෑමේ චාරිත්‍රය යම් මට්ටමක පිළිපදින අයුරු දැකිය හැකිය.

දෙමළ සමාජයේ අනෙකුත් උත්සවවලට වඩා මෙම උත්සවය උත්සවශ්‍රීයක් ගන්නේ මෙම උත්සවයේ දී පවු‍ලේ සියලුම සාමාජිකයන් එකට එක්වීමට අවකාශය ලැබෙන නිසා ය. තෛ‍පොංගල් හෝ දීපවාලි උත්සවයට ලැබෙන්නේ එක දිනයක නිවාඩුවක් පමණි.

සිංහල හා දෙමළ අවුරුදු උත්සව සමයේ දී ලැබෙන නිවාඩු ප්‍රමාණය වැඩිවන නිසාම පවු‍ලේ හැමෝටම එක් තැනකට (මහ ගෙදරට) එක්වීමේ අවස්ථාව ලැබෙයි. තමිල්නාඩු ජන සමාජය බොහෝ විට පවු‍ලේ හැමෝම එක තැනකට එක්වීමට යොදා ගන්නේ තෛ‍පොංගල් උත්සවයයි. ඊට හේතුව එම උත්සවයට වෙනත් උත්සවවලට වඩා වැඩි නිවාඩු ප්‍රමාණයක් ලැබෙන නිසා ය. හුදෙකලාව ගෙවන ජීවිතයට වඩා එක්ව ගෙවන ජීවිතය තුළ වැඩි සතුටක් හා ආස්වාදයක් ලැබෙන වටපිටාවක, චාරිත්‍ර අමතක වී ගිය ද සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අදටත් සිංහල ජන සමාජය තරමටම දෙමළ ජන සමාජය ද අති උත්කර්ෂවත් අන්දමෙන් සමරති. මතෛක් මෙහි විස්තර කෙරුණේ සිංහල ජනතාව සමග මිශ්‍ර වී සිටින දෙමළ ජන සමාජය බක්මහේ උදාව සමරන ආකාරයයි.

ඓතිහාසික වැදගත්කමක් උසුලන උතුරේ දෙමළ ජන සමාජයේ සිංහල දෙමළ අවුරුදු සැමරුම දකුණේ දෙමළ සමාජයට වඩා වෙනස් ය. එහි අදටත් දෙමළ සංස්කෘතිය අනුව මෙම අවුරුද්ද සැමරේ. යාපනයේ ජනතාවට අනුව දෙමළ හින්දු ජන සමාජයේ වටිනාම, නොඑසේ නම් වැදගත්ම උත්සවය සිංහල දෙමළ අවුරුදු සැමරුමයි. යාපනයේ ජන සමාජය කෝවිල කේන්ද්‍රීයව ගොඩනැගුණු ජන සමාජයක් ලෙස සැලකෙන නිසාම මෙම උත්සව සමයේ දී එහි කෝවිල් විශේෂ අලංකාරයක් ලබයි. මෙම උත්සව දිනයේ දී තේරු උත්සව පවා සංවිධානය කෙරේ. ‘සින්තිරෙයි තේර්’ (බක්මහේ තේරු පෙරහර) යන සංකල්පයට යාපන ජන සමාජය දක්වන්නේ විශේෂ ගෞරවයකි. මෙම අවුරුද්ද සැමරීම වෙනුවෙන් දින ගණනාවක සිට සූදානම් වන එහි ජනතාව තම නිවස හා අවට පරිසරය මුළුමනින්ම නැවුම් මුහුණුවරක් ලබා දීමට කටයුතු කරති. (යුදමය වාතාවරණය නිසා දැන් එවැනි තත්ත්වයක් නොතිබෙන්නට පුළුවන) දෙමළ චාරිත්‍රානුකූලව මෙම උත්සවය සමරන යාපනයේ ජනතාව මෙදින තම මූලිකම කටයුත්ත ලෙස සලකන්නේ කෝවිල් වැඳීම ය. අලුත් ඇඳුම්වලින් සැරසී කෝවිල් යාමට හැම විටම මෙහි ජනතාව හුරු පුරුදු වී සිටිති. ගෙහි දොරකඩ අඹ කොළවලින් සරසන අතර ඇතැම් අය ගෙහි මිදු‍ලේ ගෙඩි සහිත කෙසෙල් ගස් දෙකක් ද හිටවති. මෙම චාරිත්‍රය සෑම හින්දු උත්සවයක දී ම දැකිය හැකි ලක්ෂණයකි. මිදු‍ලේ කෝලම් රටා අඳින පිරිසක් ද සිටිති.

අලුයම කාලයේ දී ම නින්දෙන් අවදි වන මෙහි ජනතාව හිරුගේ උදාව සනිටුහන් කරන මොහොතේ ගෙහි මිදු‍ලේ ‍පොංගල් බතක් (කිරිබතට සමානය) සකස් කරන අතර එසේ සකස් කළ ‍පොංගල් බත හිරු දෙවියන්ට පූජා කර ඉන් අනතුරුව අසල්වැසියන්ටත් එය බෙදා දී තමන් ද ආහාරයට ගනියි. සිංහල දෙමළ අලුත් අවුරුද්දේ ඇරඹුම සනිටුහන් කරන්නේ ඒ අන්දමට ය. ඉන් අනතුරුව සිදුවන්නේ කෝවිලට පිය මැනීම ය. මේ සියලු කටයුතු සිදුවන්නේ නැකතට අනුව ය. මෙහි දී සිදුවන තවත් වැදගත් ලක්ෂණයක් වනුයේ අලුත් අවුරුදු දිනයේ දී දිය නෑමට පෙර යාපනයටම ආවේණික එක්තරා මල් වර්ගයක් මිශ්‍ර කළ තලතෙල් හිසට තවරා ගැනීම ය. එම කටයුත්ත සිදු වන්නේ නිවසේ වැඩිහිටියකු අතිනි. ගනුදෙනු කිරීමේ චාරිත්‍රය ද නැකතට අනුව සිදු කිරීමටත් මෙහි ජනතාවෝ වගබලා ගනිති.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය තවත් අලංකාර කිරීමක් හැටියට යාපනේ ජන සමාජයටම ආවේණික ක්‍රීඩා උත්සවයක් ද සංවිධානය කෙරේ. එය දකුණේ දක්නට ලැබෙන බක් මහ උළෙලට සමාන උත්සවයකි. මෙම ලක්ෂණය නූතනයේ යාපනය ජන සමාජය තුළ වැඩි වශයෙන් දකින්නට නැතත් අතීතයේ දී දක්නට ලැබි ඇත.

මෙම ක්‍රීඩා උත්සවයේ දී ප්‍රධාන තැනක් ගන්නේ ජල්ලිකට්ටු හෙවත් ගොන්නු මෙල්ල කිරීමේ තරගයයි. ගමේ තරුණයන් ඉතා උනන්දුවෙන් සහභාගි වන මෙම තරගය යම් අවදානම් එකක් වුව ද ඒ කෙරෙහි ඒතරම් අවධානයක් යොමු නොකෙරේ. ශක්ති සම්පන්න ගවයෙක් මෙල්ල කිරීම මෙයින් සිදුවෙයි. එය ඉන්දියාවේ දක්නට ලැබෙන ආකාරයේ ප්‍රචණ්ඩ ස්වභාවයක් ගන්නා තරගයක් නොවේ. විනෝදය උදෙසා සංවිධානය කරන පාරම්පරික උත්සවයකි. යාපනයේ ප්‍රකට ‍ලේඛකයකු වන ඩොමිනික් ජීවා පවසන අන්දමට මෙම ක්‍රීඩාවට වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ පේදුරුතුඩුව ප්‍රදේශයයි. යුද්ධයේ ආගමනයත් සමග මේ සියලු හුරු පුරුදු වැළලී ගිය බව ද හෙතෙම පවසයි. මෙදින සංවිධානය කරන තවත් ඉසව්වක් වනුයේ චිලම්බාට්ටම් ය. (ලී හරඹය) දෙමළ ජන සමාජය තුළ දැකිය හැකි විශේෂිත ක්‍රීඩා ඉසව්වක් වන චිලම්බාට්ටම් (ලී හරඹය) ක්‍රීඩාවට යාපනය පාරාදීසයක් වී තිබූ යුගයක් ද තිබුණි. වර්තමාන අලුත් අවුරුදු උත්සවයේ දී මේ සියලු අංග දක්නට නැතත් තමන්ටම ආවේණික චාරිත්‍ර රාමුවක සිට මෙහි ජනතාවෝ මෙම උත්සවය ජයටම සමරති.

ඡායාරූප-චමිල කරුණාරත්න

kkk