සංහිඳියාවෙන් සහජීවනයෙන් නැගී සිටිමු – ජනාධිපති

දිනාගත් ජයග්‍රහණ වඩාත් හරවත් කරමින් සංහිඳියාවෙන්, සහජීවනයෙන් වඩාත් ශක්තිමත්ව නැගී සිටින රටක් ලෙස එළැඹෙන අලුත් අවුරුද්දේ පෙළ ගැසෙමුය යන්න අපේ අලුත් අවුරුදු අධිෂ්ඨානය බවට පත් කර ගනිමු” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය අලුත් අවුරුදු පණිවුඩයේ සඳහන් කර ඇත.
mai
එම පණිවුඩයේ මෙසේද සඳහන් කර ඇත. සූර්ය සංක්‍රාන්තිය මත පදනම් වන අලුත් අවුරුදු චාරිත්‍රවාරිත්‍ර ඔස්සේ සමාජගත වූ ප්‍රමුඛ කියැවීම වන්නේ මිහිතලය මත ජීවයේ සම්භවය සිදුවූ අතීතයේ ඈත යුගයන් දක්වා දිව යන මිනිසාත්, සොබාදහමත් අතර පවතින්නා වූ භෞතික සහ ආධ්‍යාත්මික ගනුදෙනුවක අපූර්ව සබැඳියාවය.

එදා මෙදා තුර මිනිසාගේ කෘතවේදී ගුණය පිළිබඳ සජීවී නිදර්ශකයක් බවට පත්වන අවුරුදු චාරිත්‍ර පෙර පැවැති මහා කෘෂි ජීවන සම්ප්‍රදාය නවීකරණය වෙමින් පවතින අද දවසේ වුවද සක්‍රියව ජන විඥානය තුළ ස්පන්දනය වනුයේ අප තුළ ජීවත් වන සංස්කෘතික ආධ්‍යාත්මයේ ප්‍රබලත්වය විදහා දක්වමිනි. සමස්ත අවුරුදු චාරිත්‍ර පද්ධතියේ සමුදයාර්ථය වනුයේ තම පැවැත්ම සවිබල ගැන්වූ පරිසරයට මිනිසා විසින් පෙරළා දක්වන කෘතවේදීත්වය සේම ඔහුත් අවශේෂ සමාජයත් අතර පවත්නා සමීප සබැඳියාව යාවත්කාලීන කිරීමය. අවුරුදු ලිත ඒ සඳහා ඔහුට යම් කාලසටහනක් ලබාදීම තුළින් මිනිසාගේ කාල කළමනාකරණයටද අවුරුදු නැකැත්කරු ප්‍රමුඛත්වය ලබාදී තිබේ. එසේම නැකැතට කෙරෙන ගනුදෙනු සමග ප්‍රතිපත්තිගරුක වීමේ අගය අවුරුදු සිරිතේ නින්නාද දෙන ගැඹුරු හර පද්ධතිය බවට පත්වෙන්නේ යමක් ලබාගන්නා සේම පෙරළා පිරිනැමීමද අප සංස්කෘතියේ උදාර ගති ලක්ෂණයක් බවට අවධාරණය කරමිනි. සූර්ය සංක්‍රාන්තියට අනුගාමීව සිදු කෙරෙන සියලු චාරිත්‍රවාරිත්‍රයන්හි ‍පොදු අපේක්ෂාව තුළ කැටපත් වන්නේ පසුගාමී චින්තනයෙන් සහ අවර ගණයේ ආකල්පයන්ගෙන් තොර අලුත් මිනිසකු නිර්මාණය කිරීමය. අලුත් අවුරුද්ද සැබැවින්ම අපේ ජීවිතවලට නව සමාරම්භයක් වන්නේ අප එලෙස අලුත් වීම තුළය.

එතෙර මතෛර වෙසෙන සමස්ත ශ්‍රී ලාංකිකයන්ට සෞභාග්‍යමත්, සාමය, සතුට පිරිවැරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා
මෙම සංස්කෘතික උරුමය රැක දෙමු – අගමැති

සිංහල දමිළ සැමදෙනා එක්ව වාර්ගික, ආගමික, පක්ෂ, පාට භේද පසෙකලා ප්‍රීතිමත් සිතින් සමරනු ලබන මෙවන් ජාතික උත්සවයක් තවත් නොමැති තරම් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය අලුත් අවුරුදු පණිවුඩය මගින් පවසයි.

සිය අලුත් අවුරුදු පණිවුඩය මගින් වැඩිදුරටත් සුබපැතුම් එක් කරමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද දක්වා ඇත.
ranil
කෘෂි ජීවන රටාවක් සහිත වූ සෑම සංස්කෘතියකටම ‍පොදු වන අස්වනු මංගල්‍යය, එසේත් නැත්නම් විශ්වයේ පැවැත්මට ප්‍රබල සාධකයක් වන හිරුට කෘතවේදීත්වය පුද කරමින් පවත්වන සූර්ය මංගල්‍යය ශ්‍රී ලාංකික අපද බක් මාසයේ මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන මහා සංස්කෘතික මංගල්‍යයකි.

සිංහල, දමිළ සැම එක්ව වාර්ගික, ආගමික, පක්ෂ, පාට භේද පසෙකලා එක්සත්ව, මහත් ප්‍රීතිමත් සිතින් සමරනු ලබන මෙවන් ජාතික උත්සව අවස්ථාවක් තවත් නොවන තරම්ය. එම සතුට, සාමය, සංහිඳියාව, එකමුතු බව සැමවිටම අප සිත්සතන් තුළ පවත්වා ගැනීමෙන් සමස්ත සමාජය සාමකාමී, යහපත් සමාජයක් බවට පරිවර්තනය වනු ඇත.

මෙම සිංහල දමිළ නව අවුරුදු උළෙල සමග බැඳී ඇති සාම්ප්‍රදායික සිරිත් විරිත් නූතන ලොව හමුවේ වුවද ප්‍රතික්ෂේප කළ නොහැකි තරම් පරිසර හිතවාදී බවින්, මානව හිතවාදී බවින් පිරිපුන්ය. එබැවින්ම මෙම සාම්ප්‍රදායික සංස්කෘතික උරුමය අප දූ දරුවන් වෙත හඳුන්වා දෙමින්, අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරගැනීමද අප සතු වගකීමකි.

සියලු භේද දුරලා යහපත් සමාජයක්, සංවර්ධිත දේශයක් ගොඩනැංවීම වෙනුවෙන් නව අධිෂ්ඨානයන් සමග කැපවන සාමකාමී, සමෘද්ධිමත් සුබ නව වසරක් වේවා
අවුරුදු චාරිත්‍ර ඉටුකර ජාතියේ බැඳීම තහවුරු කළ යුතුයි – හිටපු ජනපති

“සියලු රටවැසියන් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකර ජාතියේ බැඳීම තහවුරු කරගැනීමට කටයුතු කළ යුතු බව සිහිපත් කරමු” යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය අලුත් අවුරුදු පණිවුඩයේ කියා සිටී.
එම පණිවුඩයේ මෙසේද සඳහන් වේ.
mahin
සිංහල අලුත් අවුරුද්ද හෙළයේ මහා ජාතික උළෙලයි. සාමය, සමගිය, සෞභාග්‍යය සහිතව ජාතියේ ඒකාග්‍රතාව ප්‍රකාශ කරන්නේ සිංහල අලුත් අවුරුද්ද මගිනි.
ශ්‍රී ලංකාද්වීපයේ ඒකාග්‍රතාව බිඳ දැමීම සඳහා තිස් වසරක් පැවැති කුරිරු ත්‍රස්තවාදය සහමුලින්ම උදුරා දමා සාමයද, සහජීවනයද, සිතේ සැනසීමද ජනතාවට අවංකවම ප්‍රාර්ථනා කළ හැකි වාතාවරණයක් එදා අපි උදා කර දුන්නෙමු. එසේම දේශීය ගොවියා නගා සිටුවමින්ද, දේශීය කර්මාන්ත සහ රටේ සම්පත් ගොඩනංවමින්ද, සශ්‍රීකත්වය, සෞභාග්‍යය ප්‍රාර්ථනා කළ හැකි වාතාවරණයක් මේ රටේ බිහි කළෙමු. එසේම රාජ්‍ය නායකයාද සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සිදුකර ඒ බව ජනතාවට සන්නිවේදනය කළේ පවු‍ලේ බැඳීමද, අසල්වාසීන් අතර බැඳීමද තුළින් රටේ, ජාතියේ ඒකාග්‍රතාව තහවුරු කිරීමේ ආදර්ශය ලබාදීමටය.

ඒ සියලු ආදර්ශයන් දැන් අතීතයට අයත් ඒවා බවට පත්කොට තිබුණද, හෙළයේ අසිරිමත් බක්මහ මංගල්‍යය ජාතියේ උරුමය බව සමස්ත රටවැසියන්ට මතක් කර දෙමු.
මේ නව වසර සියලු ශ්‍රී ලාංකිකයන්ට සාමය, සතුට, සෞභාග්‍යය ප්‍රාර්ථනා කරන නව වසරක් වේවා පතමි
ජනතා සිහින සැබෑ කරගනිමු – අනුර කුමාර

උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේදී ජනතාවගේ ගැටලු සැබෑවටම විසඳීම සඳහා රට දුෂ්ට රාශියෙන් මුදාගෙන නව චක්‍රයක් කරා ගමන් කරවිය යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ අලුත් අවුරුදු සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම සුබ පැතුම් පණිවුඩයේ මෙසේද සඳහන් වේ.
anura
සාම්ප‍්‍රදායික ජ්‍යොතිෂය විශ්වාසය අනුව අලූත් අවුරුද්ද යනු සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට මාරු වෙමින් චක‍්‍රයක් සම්පූර්ණ කිරීම ලෙස සැලකෙයි. නව අවුරුද්ද සෑම අතකින්ම අලූත් බව හා බැඳේ. මෙම විශ්වාසය සමග බැඳුණු සංස්කෘතික උත්සවය මෙරට ජනතාව කෙරෙහි සාධනීය ලෙස බලපාන සමාජ සංසිද්ධියක් නිර්මාණය කරයි.

පැරණි අනවශ්‍ය දෑ ඉවත් කර ජීවිතය නැවුම් බවකින් පුරවා ගැනීමට මෙන්ම ජීවිතය මෙතෙක් ආ ගමන දෙස අලූතින් සිතා බැලීමටද එය විසින් ජනතාවට ඉඩකඩ ලබාදෙයි.

පසුගිය වසර 69 පුරාවටම ශ‍්‍රී ලංකාවේ ගමන් මග තුළ පැවති ආණ්ඩු කිසිවක් බහුතර ජනතාව පෙළන ගැටලූවලට විසඳුම් ලබාදීමට සමත් වී නැත. මෙම ආණ්ඩු විසින් කර ඇත්තේ ලාංකේය සමාජය එකම දුෂ්ට චක‍්‍රයක ගමන් කරවීමය. එහෙත් ජනතාවගේ ගැටලූ සැබෑවටම විසඳීම සඳහා දුෂ්ට රාශියෙන් රට මුදාගෙන නව චක‍්‍රයක් දක්වා ගමන් කරවිය යුතුව තිබේ.

අනෙක් අතට රට විනාශකාරී ගමනක රැුගෙන ආ නව ලිබරල්වාදී ආර්ථික ක‍්‍රමය හැරෙන්නට ආර්ථිකයේ අර්බුදයට මුහුණ දීම සඳහා වන ආර්ථික උපායමාර්ගයක්ද මෙම පාලකයින් සතු නොවේ. ඔවුන් දවස ගෙවා ගැනීමේ තාවකාලික විසඳුම් සොයන්නේ රාජ්‍ය දේපළ, ස්වභාවික සම්පත් විදේශයන්ට හා විදේශීය සමාගම්වලට විකිණීමෙනි.

දිගුකාලීනව බදු දීමෙනි. කෙසේ වුවද පාලකයින්ගේ සුඛෝපභෝගී ජීවිතවලට අදාළ වියදම් කිසිවක් කප්පාදු නොවෙන අතර එ්වා ඇත්තේ දිනෙන් දින ඉහළ යමිනි.
උදා වූ සිංහල-දෙමළ අලූත් අවුරුද්දේ පුළුල් සමාජ වෙනසක් වෙනුවෙන් දැවැන්ත ජනතා බලයක් ගොඩනැගීමට අදිටන් කරගන්නා මෙන්ද එ් වෙනුවෙන් ක‍්‍රියාත්මක වීමට අවශ්‍ය ධෛර්යය කුළු ගන්වාලන අවස්ථාවක් බවට පත් කර ගන්නා මෙන්ද එකම ලාංකේය ජාතියක් බවට ගොඩනැගෙන ජාතික සමගියේ නිමිත්තක් බවට එය පත් කර ගන්නා මෙන්ද අපි දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

ජාතික සංහිඳියාව ඇතිවේවා – විපක්ෂ නායක

මෙම නව වසර සිංහල හා දෙමළ ජාතීන් ඉතා සතුටින් ගත කරන ආකාරයටම අනෙකුත් සියලුම කටයුතුවලදී සහයෝගයෙන් කටයුතු කිරීමට සුදුසු වාතාවරණයක් මෙරට තුළ නිර්මාණය වී ජාතික සංහිඳියාව ඇතිවේවායි මෙම උදාවූ නව වසරේදී අපි ප්‍රාර්ථනා කරමු” යැයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් කියා සිටියි.
ra-sam
එම පණිවුඩයේ මෙසේද සඳහන් වේ.
ශ්‍රී ලංකාවාසී දෙමළ ජනතාවට පමණක් නොව, ලෝකයේ අනෙකුත් රටවල්වල ජීවත්වන අපගේ දෙමළ ජනතාවට හා අප හා එක්වී අලුත් අවුරුද්ද සමරන සිංහල ජනතාවට සුබ අලුත් අවුරුද්දකට සුබ පැතීමට ලැබිම සතුටට කරුණකි.

අපගේ දෙමළ වර්ෂ හැටක් තිබේ. ඒ සියල්ලටම නමක්ද තිබේ. එම වර්ෂ වර්ෂාව, සුළඟ, කෘෂි භෝග යනාදී ස්වභාව ධර්මයේ ප්‍රතිඵල වෙනස් කළ හැකි ඒවා බවට විශ්වාස කෙරේ. එම වර්ෂ පිළිවෙළට අනුව 31 වැනි වර්ෂය ‘ඒවිලම්බි’ ලෙස හඳුන්වයි. ඒවිලම්බි වර්ෂය මෙම වසරේ අප්‍රේල් මස 14 වැනි දින උදාවේ.

ජනතා සිත් තුළ නව අපේක්ෂාවෙන් මල්ඵල ගැන්වීම නව වසර උදාවීමත් සමග සිදුවේ. එම අපේක්ෂාවන් අතර ප්‍රධානම වශයෙන් ඔඩුදුවා ඇති ජනවාර්ගික ගැටලුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙම වසර තුළදී විසඳුම් ලබාදීමට හැකියාව ලැබිය යුතු බවත්, එම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නව පරිච්ජේදයක් සනිටුහන් කිරීමට අවස්ථාවක් කරගත යුතු බවත්, ඒ තුළින් සත්‍ය සංහිඳියාවක් ඇති කිරීමට මග පෑදිය යුතු බවත්, මෙම නව වසරේදී දේවාශිර්වාදය පතා අපි ප්‍රාර්ථනා කරමු.

එමෙන්ම දෙමළ ජනතාව දැනට මුහුණපා සිටින දුක, අපේක්ෂා භංගත්වය, හීල්ලීම හා කොන් කිරීම යනාදියෙන් මිදී ඔවුන්ගේ බලා‍පොරොත්තු මල්ඵල ගැන්වෙන ආකාරයට රජය ක්‍රියා කළ යුතුය යන අපගේ ඉල්ලීම් මේ මොහොතේදී ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

මෙරටේ සිංහල ජනතාවත්, දෙමළ ජනතාවත් එක්වී ‍පොදුවේ මෙම සිංහල, දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සතුටට කරුණකි.

ඒ අනුව ජාතීන් අතර සමගිය, හොඳ හිත, අනේ‍යාන්‍ය අවබෝධය ඇතිවී, සාමය හා සතුට පිරි රටක් ලෙස ඉදිරියට යෑමට හැකියාව ලැබේවායි උදාවූ ඒවිලම්බි නව වසරේදී අපි සැවොම ප්‍රාර්ථනා කරමු. උදාවූ නව වසර වෙනුවෙන් ශ්‍රී ලංකාවාසී සියලුම ජනතාවට මම සුබපැතුම් එක් කිරීමට කැමැත්තෙමි.