ජනතාවට මේක අමාරු කාලයක් තමයි – කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

ප්‍ර: ඔබට මේ අවුරුද්ද ජයද?
පි: ජයයි. ජයයි. අවුරුද්ද හොඳයි, මේ පාර.
hirunika
ප්‍ර: මැති ඇමැතිලාට නම් හොඳයි. ඒත් ජනතාවට තමයි අවුරුදු නැත්තේ නේද?
පි: ජනතාවට පුංචි පුංචි ප්‍රශ්න තියෙනවා තමයි. බඩුමිල වගේ ප්‍රශ්න තියෙනවා. ජනතාවට ඇත්තටම අමාරු කාලයක් තමයි මේ ගෙවිලා යන්නේ. ඒක මම පිළිගන්නවා. කොහොමත් ජනාධිපතිතුමා නිතරම කියන දෙයක් තමයි තව වසරක් ඇතුළත මේ ජනතා ප්‍රශ්න විසඳනවා කියලා. ඉතිං අපි බලන් ඉන්නේ ජනතා ප්‍රශ්න විසඳනතුරු.

ප්‍ර: ඒ ප්‍රශ්න ඉස්සරහට විසඳෙයිද?
පි: ඇත්තටම විසඳෙයි කියලා අපි හිතනවා. මුදල් ඇමැතිතුමා අගමැතිතුමා වගේ ජනපතිතුමත් ඒ කාරණය සඳහා ජුවම මැදිහත් වෙලයි ඉන්නේ. අපිට රටක් විදිහට අති විශාල ණය බරක් තියෙනවා. ඉතිං ඒ ණය බරින් නිදහස් වුණාම මේ ප්‍රශ්නවලින් ගොඩ යන්න අපිට පුළුවන්. අද සියලු දේම කරන්න සිද්ධවෙලා තියෙන්නේ ඒ ණය බරක් ගෙවාගෙන යන ගමන්. මේ වසර අවසන් වෙද්දී අපිට යම් සහනයක් ලැබෙයි.

ප්‍ර: ජනතාවට නම් අවුරුදු නෑ. ඒත් ආණ්ඩුකරන අයට 365 දවසම අවුරුදුලු?
පි: සමහර විට ආණ්ඩුව ඇතුළේ විවිධ පිරිස් ඉන්නවා. යම් යම් කටයුතු කරන අය ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. ඉතිං ඒ අයගේ එම වැඩ නිසා අද සමස්ත ආණ්ඩුවටම චෝදනා එල්ල වෙනවා. ජනතාවත් දොස් කියන තත්ත්වයක් තියෙනවා. නමුත් ආණ්ඩුවක් විදිහට ජනතාව ගැන හිතනවා. රටේ ජනතාව ගැන හිතන නායකයෝ බිහිවිය යුතුයි.

ප්‍ර: අලුත් අවුරුදු දින දෙක කොහෙද අවුරුදු සමරන්නේ?
පි: කොළොන්නාවේ මගේ ගෙදර, මගේ පාක්ෂිකයෝ එක්ක මම අවුරුදු සමරනවා.

ජනතාව අවුරුද්ද දිහා බලා හූල්ලනවා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී – රංජිත් සොයිසා
ranjith

ප්‍ර: මන්ත්‍රීතුමා කොහොමද මෙදා පාර අවුරුද්ද?
පි: මෙදා පාර අවුරුද්ද කොහොමද කියලා චුට්ටක් පාරට බැහැලා ජනතාවගෙන් ඇහුවා නම් ලස්සන උත්තරයක් දෙයි. අවුරුදු කන්න නෙවේ මෙදා පාර සිද්ධ වෙන්නේ අවුරුදු දිහා බලබලා හූල්ලන්නයි.
ප්‍ර: ඒ මොකද ඔබ එහෙම කියන්නේ?
පි: දැන් බලන්න මේ තියෙන ප්‍රශ්න එක්ක ජනතාව කොහොමද අවුරුදු කන්නේ. හාල් මිල, ‍පොල් මිල ඇතුළු හැමදේම ගිනි ගණන්, වෙනදා වගේ සතුටින් සමාදානෙන් අවුරුදු කන්න වෙන්නෙ නෑ. නිකං සිරිත්විරිත් රකින්න චාරිත්‍ර ටිකක් කරන්න අවුරුදු සමරයි. එච්චර තමයි වෙන්නෙ.
ප්‍ර: මුදල් ඇමැතිතුමා කියන්නේ බඩුමිල හරිම අඩුයිලු?
පි: ඔව්. මමත් දැක්ක ඔය කතාව මාධ්‍ය ඉදිරියේ කියනවා. එදා ඉඳලා අපිත් හොයනවා එයා කියන ඔය අඩුමිලට හාල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තියෙන කඩවල්. නිකං බොරු සුරංගනා කතා. කවුද මේ රවට්ටන්න හදන්නේ. අපි කියන්නේ මේ ආණ්ඩුව හැමදාම වගේ මේ පාරත් ජනතාව රවට්ටන්නයි හදන්නේ. ඒත් ඉතිං ජනතාව මෙදා ‍පොටේ රවට්ටන්න බෑ. ඒක මේ ආණ්ඩුව මතක තියාගන්න ඕනි.

ප්‍ර: ඒකාබද්ධ විපක්ෂයට අවුරුදු කොහොමද?
පි: අපිටත් ඉතිං ජනතාවට අත්වෙලා තියෙන සෙතේම තමයි. අපිට ඉතිං අලුතින් කියලා වෙනම අවුරුදු නෑ. අපිත් ඔය සිරිත්විරිත්වලට යම් යම් දේවල් කරනවා. එච්චරයි.

ප්‍ර: ඔබ කොහෙද අවුරුදුවලට?
පි: මම ඉතිං රත්නපුර අපේ පාක්ෂිකයන් සමග මේ අවුරුද්ද ගත කරනවා. ඔවුන් සමග දුක සැප බෙදා ගන්නවා.
සියලුදෙනා අර්බුදයට ගිය අවුරුද්දක් – ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න
samantha

ප්‍ර: මෙදා පාර කොහොමද අවුරුද්ද?
පි: අවුරුද්ද මෙදාපාර නම් සම්ප්‍රදායක් විදිහට සමරන්න සූදානම් වෙනවා මිස ඉතිහාසයේ අවුරුදු සැලකුවා වගේ කරන්නේ නෑ. මෙදා පාර නෑයන්ට, දෙමාපියන්ට සලකගෙන දරුමල්ලෝ සමග සමරන්න පුළුවන් අවුරුද්දක් නෙවේ මේ උදාවෙලා තියෙන්නේ. නමුත් සමරන්න ඕන නිසා සම්ප්‍රදායික විදිහට සමරනවා.

ප්‍ර: ඒ කියන්නේ නිසරු අවුරුද්දක්?
පි: ගොවියාගේ ඉඳලා ව්‍යාපාරිකයා දක්වාම පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ සියලු දෙනාම අර්බුදයට ලක්වුණු අවුරුද්දක්. විශාල ප්‍රශ්න ගොඩක ඉන්න අවුරුද්දක් තමයි මේක.
ප්‍ර: ආණ්ඩුව කියන විදිහට සරුසාර අවුරුද්දක්නේ මේක?
පි: මෙහෙමයි පාලකයන්ට අවුරුදු තමයි. අද බලය ගත්තට පස්සේ ඒ බලය උපයෝගී කරගෙන ධනය රැස් කරගෙන එයාලාට අවුරුදු. සාමාන්‍ය ජනතාවට අවුරුදු එන්නේ එකපාරනේ. පාලකයන්ට ඉතිං මුළු 365 දවසම අවුරුදු තමයි. ඒ අය දිගටම අවුරුදු කනවා. ඒ කන්නේ අවුරුදු කියලා එයාලා කෑවට ඒ කන්නේ රටේ ජනතාවගේ රීරි මාංශ. මහජන මුදලින් පාලකයෝ සුර සැප විඳිමින් වැඩිවෙමින් අවුරුදු කනවා මිස ජනතාව වෙනුවෙන් ඒ අය කරන දෙයක් නෑ. මේ ප්‍රධාන පක්ෂ දෙකේ දෙගොල්ලොටම මේක අදාළයි.
ප්‍ර: මුදල් ඇමැති නම් කියන්නේ බඩුමිල අඩුයිලු?
පි: මුදල් ඇමැති බඩු ගන්න කඩේ බඩුමිල අඩු ඇති. අපි දන්නේ නෑ ඒ කඩේ තියෙන තැන. ඒත් ජනතාව බඩු ගන්න කඩවල නම් බඩුමිල ඉතා ඉහළයි. අද ඉතිං ජනතාව අතේ තියෙන රත්‍රං ටික, කරේ මා‍ලේ උගස්තියලා අවුරුදු ලෙවකනව, චාරිත්‍ර විදිහට. එච්චරයි.
ආණ්ඩුව හදන්නෙ ජනතාවට හැමදාම අවුරුදු දෙන්නයි – ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ
eranda
ප්‍ර: සභාපතිතුමා මේ අවුරුද්ද කොහොමද?
පි: රටේ ජනතාවට හැමදාමත් අවුරුදු කියලා කියන්න පුළුවන් වාතාවරණයක් ඇතිවෙන්නේ මේ අවුරුද්දෙන් පසුවයි.

මම එහෙම කියන්නේ පහුගිය ආණ්ඩුව වෙන් කළේ තරුණයන් වෙනුවෙන් ලක්ෂ 1200යි. අපි මේ අවුරුද්දේ තරුණයන් වෙනුවෙන් ලක්ෂ 4500ක් වෙන් කළා. යොවුන්පුරය පැවැත්වූවා. තරුණයන් ශක්තිමත් කිරීම තමයි අපේ අරමුණ. ඒ වෙනුවෙන් වැඩපිළිවෙළ රැසක් තියෙනවා.

ඒ වගේ අද බඩුමිල අඩුයි. පසුගිය ආණ්ඩුව ගත් ණය ගැන මේ ආණ්ඩුව හොඳින් හිතා බලලා ජනතාවට බරක් නොවන්න මේ අවුරුද්දේ සිට නව වැඩපිළිවෙළක් යොදන්න කටයුතු කරනවා.

මේ පටන් ගත්ත අවුරුද්දේ ඉඳලා රටේ ජනතාවට හැමදාම අවුරුදු එන විදිහට ආණ්ඩුව කටයුතු කරනවා.