රස කැවිලි සැකසීමේ දී එහි පැණි රස ලබා ගැනීම ස`දහා දුරාතීතයේ සිටම භාවිත වූවක් ලෙස කිතුල් පැණි හා හකුරු හැ`දින්විය හැකි ය. විශේෂයෙන්ම සිංහල අලූත් අවුරුද්දට එකල ගම්වල පවා කිතුල් පැණි හකුරු ටිකක් සොයා ගැනීම පහසු නොවේ. ඊට ප‍්‍රධාන හේතුව සිංහල අලූත් අවුරුද්ද කාලයට කිතුල් පැණිවලට ඇති අධික ඉල්ලූම යි. එකල පැණි රසට හදන සෑම කැවිල්ලක් ස`දහාම කිතුල් පැණි හෝ හකුරු භාවිත කළේය.

පැණි කැවුම්, හැ`දි කැවුම්, කොණ්ඩ කැවුම්, මුං කැවුම්, අලූවා, අග්ගලා, මුං ගෙඩි, මුං අලූවා, ආස්මි, අතිරහ, පැණි වළලූ යනාදී පැණිරස කැවිලි වර්ග ස`දහා කිතුල් පැණි භාවිත කළ අතර කළු දොදොල් ස`දහා භාවිත කළේ කිතුල් හකුරු ය. අද මෙන් සීනී භාවිතයක් නොතිබුණු එකල පැණි රස ලබා ගැනීම ස`දහා ප‍්‍රධාන වශයෙන් භාවිත කළේ කිතුල් පැණි ය. පැණි-හකුරු කොතෙක් පැණි රස වුව ද කිතුල් පැණි නිෂ්පාදනය එතරම් රසවත් නොවන දුෂ්කර කටයුත්තක් බව අපට අවබෝධ වූයේ සිංහරාජයට ගිය අවස්ථාවකදීය.

ලංකාවේ තිබෙන ඉතා වැදගත් නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයක් ලෙස සිංහරාජ වනාන්තරය හැ`දින්විය හැකි ය. හෙක්ටයාර් 11.187ක් පමණ වන සිංහරාජය රත්නපුර, ගාල්ල, මාතර යන දිස්ත‍්‍රික්ක තුනෙහිම ව්‍යාප්තව දිවයිනේ නිරිතදිග පෙදෙසෙහි පිහිටා තිබේ. දිස්ත‍්‍රික්ක තුනටම අයත් ගම්මාන විසිපහකට වැඩි ප‍්‍රමාණයක් මෙම වනාන්තරයට මායිම් ව ඇත. එම සෑම ගම්මානයක් ම වනාන්තරය හා බද්ධ වූ ජන ජීවිතයකට හැඩගැසී ඇත්තේ සොබාවික පරිසරයට අනුවර්තනය වීමක් වශයෙනි.

සිංහරාජ වනාන්තරයෙහි අතීතයේ සිට ම ඉතා සුලබ ලෙස කිතුල් තිබූ හෙයින් වනාන්තරය වටා ජනාවාස වීමට ද කිතුල් ශාකය කිසියම් ආකාරයක බලපෑමක් සිදු කොට ඇතැයි කිව හැකි ය. මීට අවුරුදු විසිපහකට පමණ පෙර මේ ප‍්‍රදේශවල ගැමියන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය මාර්ගය වූයේ කිතුල් මැදීම යි. වර්තමානයේ ද තම ප‍්‍රධාන ආදායම් මාර්ගය කිතුල් නිෂ්පාදන බවට පත්කරගත් ගැමියෝ සැලකිය යුතු ප‍්‍රමාණයක් සිංහරාජ වනාන්තරය අවට ගම්මානවල සිටිති. කැලේ පමණක් නොව ගමේ ද කිතුල් තිබේ. එහෙත් ගමේ කිතුල්වලට වඩා කැලේ කිතුල්වල කිසියම් විශේෂත්වයක් තිබෙන බවත් ‘ගමේ කිතුල්’ වලට වඩා ‘කැලේ කිතුල්වල’ තේ දිය සහ පැණි වැඩි බවත් බොහෝ ගැමියෝ අත්දැකීමෙන් දනිති. ඒ පිළිබ`ද අප සමග අදහස් දැක්වූ පේ‍්‍රමසිරි මහතා කියා සිටියේ මෙවැන්නකි.

”කැලේ කිතුල් දුකෙන්නෙ හැදෙන්නෙ. දුකෙන් හැදෙන ගහේ පැණි ගතිය වැඩියි. ගමේ කිතුල්වල දිය ගතිය වැඩියි. ”

අනෙක් තාල වර්ගයේ ගස් මෙන් නොව කිතුල් ගසේ මල් හටගැනීම සිදුවනුයේ ගස මුදුනේ සිට පහළට ය. කිතුල් ගසේ පළමු මල කෙසෙල් ගහක පිලි අවසන් ව කෙසෙල් මුව එන්නා සේ කිතුල් පිලි අවසන්ව ‘‘මුදුන් මල’’ හටගැනීම සිදුවෙයි. මුදුනෙහි කිතුල් පිලි කිහිපයක් කපා දමා ‘‘මුදුං මල පාදා ගැනීම’’ මල හැදීමට ප‍්‍රථමයෙන් කළ යුතු කාර්යයකි. ‘‘මුදුං මල’’ අනිවාර්යයෙන් ම ‘‘හරියන මලක්’’ වෙයි. කිතුල් ගසේ පළමු මල හෙයින් එහි ‘‘රා’’ මෙන් ම පැණි, හකුරු ද ඉතා ගුණාත්මක බවකින් යුක්ත ය.

කිතුල් මදින්නකු කිසි විටකත් මුදුන් මලේ රා පිට කෙනෙකුට නො දෙයි. එය තමාගේ භාවිතය සඳහා පමණක් තබා ගනියි. ‘‘මුදුන් මලේ රා හරි සැරයි. හරි රසයි. මුදුන් මලේ රා බොන්න ඉතිං තමංම මලක් කපන්ඩ ඕනෑ’’ යනුවෙන් සිරිසේන මහතා කළ ප‍්‍රකාශය බොරුවක් නොවන බව ප‍්‍රත්‍යක්ෂ වීමට මට බොහෝ වේලා ගත නො වී ය. මුදුන් මලේ රා යමෙකුට නො දෙන්නේ එම රා බී කෙනෙක් යමක් ප‍්‍රකාශ කළහොත් ‘‘කටවහ’’ වදීවි යන බිය නිසා ය. ‘‘කිතුල් මලට නිකංම කටවහ වදිනවා’’ යනු ගැමියන්ගේ ප‍්‍රබල විශ්වාසයකි.

ගමේ ස්වකීය ඉඩම්වල කිතුල් මල් කපන ගැමියෝ එදිනෙදා භාවිතය හා අතිරේක ආදායමක් ලෙස කිතුල් මැදීම සිදු කළ ද ප‍්‍රධාන ජීවනෝපාය ලෙස කිතුල් මල් කැපීම සිදු කරන ගැමියෝ මහ වනාන්තරය මැද වාඩි තනාගෙන නැවතී කිතුල් මල් කැපීම සිදු කරයි. මේවා ”කිතුල් වාඩි” ලෙස හ`දුන්වයි.

පසුගිය දිනෙක සිංහරාජයේ පල්ලෙදෙණියෙ ජෝන් මාමා කිතුල් වාඩි ජීවිතය ගැන මෙසේ කීවේ ය.

‘‘වාඩි ජීවිතේනං කියල වැඩක් නෑ අම්මප. උදේට මල් කපනව. කහට එක බිව්ව ගමං පිහිය මැදල මල් කපන්ඩ යනව. ඒ ඇවිත් මොනවහරි එකක් උයල බත් කනව. කාල අහරල තේදිය ටික ළිපේ තියල දර කපන්ඩ යනව. දවල්ට තමයි ටිකක් සුනංගුවක් තියෙන්නෙ. දවල්ට කාල ටිකක් ඇලවිල ඉඳල කිතුල් බඳින්න වැල් කපන්ඩ යනව. නැත්තං වේවැලක් තලාගන්ඩ යනවා. නිකං නෑ පොඞ්ඩක්වත්. අපි තුන්දෙනෙක් හිටිය වාඩියෙ. හරි විනෝදයි. ?ට ඉතිං කයිවාරු ගහගහ ළිපට ගින්දර දානව. එදා තේදිය ටිකේ හකුරු එදා ම හදනව. දවල් තලං ආපු වැල්වලින් ?ට කූඩ වියනව. කූඩ වියන එකනං දවාලටත් ඉඩහමුවක් ලැබුණම කරන දෙයක්. ඉතිං අපි හකුරු විකුණල විතරක් නෙවෙයි කූඩ විකුණලත් සල්ලි ගත්ත. ගොරක කාලෙට ගොරක කඩල වේලනව. අම්මප වාඩි ජීවිතේනං කියල වැඩක් නෑ’’

‘‘ඉස්සර මම කුඹුරක් වැඩකළා. හේනක් වැඩ කළා. මල් කැපුව. කෑමෙන් බීමෙන් අඩුවක් නෑ. සල්ලි තමයි හිඟ. සල්ලි ලැබුණෙ කිතුල් හකුරුවලිං විතරමයි. මම මෙහේ ඉඳල පරඬලා ගලටත් ඉපිට ගිහිං මල් කැපුව. තේදිය ටිං එකක් තිබුණ. උදේ ගිහිං මල් කපල තේදිය කද අරගෙන ගෙදර එනකොට උදේ එකොළහ විතර වෙලා. ඉතිං බත් කාල අනික් පැත්තට ආය යනව මල් කපන්ඩ. ටික දවසක් කරනකොට මේක හරිම අමාරුයි. ඊට පස්සෙ කැලේ ම ගල් ගෙයක් හොයාගෙන තේදිය උණුකරල හවහට පැණි ටික අරගෙන ගෙදර එනව. ඒ දවස්වල හකුරු මුලක් රුපියලයි’’ කියමින් සිරිසේන මහතා සිනහ පහළ කළේ ය.

ගමෙන් බොහෝ ඈත කැලයේ පිහිටි කිතුල් වාඩිවල ජීවිතය බොහෝ සෙයින් වෙනස් වූවකි. මෙම වාඩිවල සිට කැලේ කිතුල් මදින ජනයා ගමට එන්නේ සතියකට හෝ දෙකකට වරකි. ඒ එන්නේ අන් කිසිවක් ස`දහා නොව කැලේ දී සකස් කළ හකුරු නගරයට ගොස් විකුණා කෑමට අවශ්‍ය හාල්, තුනපහ, කරවල, දුංකොළ, ලූනු, අල, පරිප්පු යනාදී අඩුම-කුඩුම කළමනා රැුගෙන යාමට යි. කැලය සම්බන්ධ ප‍්‍රධාන ජීවන ව්‍යවහාරයක් වන කිතුල් මැදීම වාණිජ වශයෙන් ගැමියා ශක්තිමත් කළා සේ ම තවමත් බොහෝ දුරට යහපත් තත්වයෙන් ආරක්ෂා වී තිබෙන කර්මාන්තයක් ලෙස හැ`දින්විය හැකි ය. එහෙත් වර්තමාන තරුණ පරපුර ඒ කෙරෙන් ඈත්වී යන බව පෙනී යයි. එසේ ම කිතුල් වාඩි තව අවුරුදු පහකින් දහයකින් සදහට ම නැතිවී යා හැකි ය. කැලයේ ගමන දුෂ්කර වීමත්, තේ ආර්ථිකය ව්‍යාප්ත වීමත් හේතුවෙන් කැලයේ කිතුල් වාඩි තනා කිතුල් මල් කැපීමේ කර්මාන්තය අභාවයට යමින් තිබේ.

‘‘තෙල්දිය’’ මගින් පැණි නිෂ්පාදනය කිරීමට නම් එම ‘‘තෙල්දිය’’ ළිපේ තබා උණු කළ යුතු ය. එවිට දිය සිඳීගොස් පැණි පමණක් ඉතිරි වෙයි. මෙය ‘‘පැණි උණු කරනවා’’ යනුවෙන් හඳුන්වයි. මහ කැලයේ වාඩි තනාගෙන කිතුල් මල් කපන ගැමියන් සඳහා කිසිදු ආකාරයක දර හිඟයක් නැතත් ගම්මානයේ දී නම් කිතුල් මලක තෙල්දිය තිබෙන විට දර සොයා වෙහෙස වීමට ද සිදුවෙයි.

කැලයේ කිතුල් මල් කපමින් වාඩි ජීවිත ගතකරන ගැමියන් බොහෝ විට තෙල්දිය උණු කිරීම සඳහා භාවිත කරනුයේ ‘‘හැඩවක’’ දරයි. හැඩවක ලීය පහසුවෙන් පලා ගැනීමට හැකි අතර ඉතා හොඳ බලශක්තියක් ද උත්පාදනය කරයි. එහෙයින් තෙල්දිය උණු කිරීමට ඉතා හොඳ ම දර විදියට ගැමියන් හඳුන්වන්නේ හැඩවක දරයි. ‘‘කිතුල් වාඩියේ’’ ‘‘තේ දිය ළිප’’ නිවෙන්නේ කිතුල් මලක් කැපීම අත්හළ දාට ය. නැතිනම් එය පැය විසිහතර පුරා ම දැල්වෙයි. බොහෝ ‘‘කිතුල් වාඩිවල’’ තේ දිය ළිප් තුනක් හතරක් පත්තුවනු දැකිය හැකි ය. දිනකට කිතුල් මල් දහයක් පහළොවක් පමණ කපන කිතුල් වාඩිවල මෙසේ දැල්වෙන ළිප් සඳහා දර කැපීමට වෙනම කෙනෙක් මහන්සි විය යුතු ය.
එලෙස දර එකතු කිරීම පරිසරයට ප‍්‍රශ්නයකි. මේ නිසා එහි නිමාවක් පවත්වා ගැනීමට පැරුන්නෝ කටයුතු කළහ.

පැණි උණූ කරන විට ළිපට දර දැමීමත් තේ දියවල සෑදෙන ‘‘පෙන’’ හැන්දෙන් අරන් දැමීමත් උතුරා එනවිට ‘‘හැඳි ගෑමත්’’ කළ යුතු ය. පැණි පදමට ආ විට ‘‘තේ දිය තාච්චිය’’ ළිපෙන් බා නිවෙන්නට හැර නිවුණු පසු මැටි මුට්ටියකට දමා ‘‘කඩවැස්මකින්’’ බඳිනු ලබයි. කැලයේ ඇති කිතුල් වාඩිවල පැණි සැකසීම සිදු නො කරයි. ඔවුන් පැණිටික තවත් උණුකර හකුරු සකස් කරයි. ඊට ප‍්‍රධාන හේතුව පැණිවලට වඩා හකුරු මිලෙන් වැඞීවීමත් ගබඩා කිරීමේ පහසුව හා රැුගෙන යාමේ පහසුවත් ය.

කිතුල් හකුරු සකස් කිරීම හඳුන්වනුයේ ‘‘හකුරු හැඳිගෑම’’ යනුවෙනි. තෙල්දිය පැණි පදමට උණු වූ පසු හැඳිගාමින් තවත් විනාඩි පහළොවක් පමණ පැණිටික ලිපේ තබාගෙන සිටීමෙන් ‘‘හකුරු පදමට’’ එයි. එවිට තව තවත් වේගයෙන් හැඳිගෑම සිදු කරයි. ලැයිසා මහත්මිය ඒ ගැන මෙසේ අදහස් දැක්වී ය.

‘‘හකුරු කැටිගැහීගෙන එනව කියල හැන්දට දැනෙනකොට තාච්චිය ළිපෙන් බාල තව තව හැඳිගාන්ඩ ඕන. එතකොට තව තවත් දැඩිවට හැන්දට දැනෙනව. ඔහොම හැඳිගානකොට හැඳිගාන්න අමාරු තරමට දැඩි වෙනව. අන්න එතකොට පදම. ටක්ගාල පොල්කටු ටික තෙමල ඇරං පොල්කටුවලට හකුරු ටික වක්කරනව. පෙරළෙනවට දර කෑලි හරි කෝටු කෑලි දෙකක් හරි දෙපැත්තෙං තියනව’’

හකුරු හැඳිගෑම ගැහැණු පිරිමි භේදයකින් තොරව සිදු කෙරෙයි. කැලේ කිතුල් වාඩිවල හකුරු හැඳිගෑම කරනුයේ ‘‘මල් කපන’’ පිරිමි විසින් ම ය. හකුරු හැඳිගා පොල්කටුවලට වත් කිරීමෙන් පසුව තාච්චියේ අඩියේ ඉතිරි වී ඇති ‘‘හකුරු දංකොඩය’’ මේස හැන්දකින් සූරා දොඹගෙඩි තරමේ ‘‘හකුරු බෝල’’ සාදයි. එම සෑ¥ හකුරු බෝල වෙනම මුට්ටියක බහා දුම්මැස්සේ තබයි. හොඳම හකුරු ලෙස ගැමියන් සලකන්නේ මේ ‘‘හකුරු බෝල’’ ය.

යම් පමණකට ‘‘කරවී’’ ඇති හකුරුවලින් සකස් කළ මෙම ‘‘හකුරු බෝල’’ ‘‘හකුරු මුල්වල’’ හකුරුවලට වඩා ප‍්‍රණීත රසයකින් යුක්ත ය. තාච්චියේ අඩියේ තිබූ හකුරු සූරා හකුරු බෝල සාදා ඉවරවන විට කලින් පොල්කටුවලට වත්කළ හකුරු මිදී අවසන් ය. පොල්කටුව අනික් පැත්ත හැරවූ විට පොල්කටුවේ හැඩය අනුව මිදුණු ‘‘හකුරු ඇස්ස’’ ආයාසයකින් තොරව ගැලවෙයි. මෙවැනි හකුරු ‘‘ඇහි දෙකක්’’ එක් වූ විට ‘‘හකුරු මුලක්’’ සෑදෙයි. සකස් කරන හකුරු ‘‘මල්ලක’’ බහා දුම්මැස්සේ ‘‘ගොඩකරයි’’. හකුරු දුමේ තිබෙන තාක්කල් කිසිදු ආකාරයක නරක් වීමක් සිදු නොවෙයි. හකුරු කල්තබා ගැනීමේ හොඳම සහ එකම ක‍්‍රමය ලෙස ගැමියන් හඳුනාගෙන ඇත්තේ හකුරු දුමේ තැබීම යි.

කිතුල් පැණි කොතෙක් රසින් ගුණෙන් යුක්ත වුවත් නියම කිතුල් පැණි හකුරු සොයා ගැනීම අතිශය දුෂ්කර ය. බොහෝ විට වෙළෙ`දපොළෙහි පවතිනුයේ විවිධ ආකාරයෙන් සකස් කළ පැණි වර්ග හෙයින් ජනතාවට සැබෑ කිතුල් පැණි ගැනීමට සොයා ගැනීමට අපහසු වීම කනගාටුදායක තත්ත්වයකි.

සටහන හා ඡායාරූප – ධම්මික හේවගේ

 

ghj
කිතුල් හකුරු
fgyht
කිතුල් වාඩියක්
fg
අලුත පදම් කළ කිතුල් මලක්
dsft
හකුරු හදන හැටි

df drty

හකුරු හදන හැටි
හකුරු හදන හැටි