උපන් දිනයට හෝ වෙසක් මඟුලට සුබ පැතුම් පත් යවන්නා සේ රෙඩිමේඩ් සුබ පැතුම් යැවීමේ සාමාන්‍ය සම්ප්‍රදායක් වසන්ත සැණකෙළියට ඇත්තේ නැත. එහෙත් ජනවාරි පළමු වෙනිදාට මෙන් අලුත් අවුරුදු කෙටි පණිවිඩ සුබ පැතුම් යැවීමේ සම්ප්‍රදායක් දැන් තරුණ තරුණියන් අතර ප්‍රකටය. අවුරුදු නැකතට කෙටි පණිවිඩයක් හොර රහසේ කොටා වැඩ අල්ලන නව යෞවන යෞවනියන් අලුත් අවුරුදු මේසයට එන්නේ සිනාසෙමිනි. පරණ තරහා මරහා අමතක කර යළි සමගි සම්පන්න වන සම්ප්‍රදායක් අලුත් අවුරුද්දේ ඇති බැවින් ඉන් ප්‍රයෝජන ගන්නට නම් ඔවුහු නොපැකිලෙති. අමනාපව සිටි කෙල්ලව යළි හාද කරගත් කොල්ලකු කියන්නේ ‘අවුරුද්දත් නරක නෑ’ කියාය. මෙබදු දෙයට උරණව දැන් හැදෙනවුන් කමකට නැතැයි අප නොසිතිය යුත්තේ ස්වභාවයේ මිස අදහස්වල මීට වඩා වෙනසක් පැරණි තරුණයන් තුළද නොවූ නිසාය. එවකට සිය පෙම්වතිය අමනාපව සිටි නිසා ඔහු ලියා යැව්වේ ‘ඔන්චිලි පදින කෙල්ලන් හා එකමුතුව වාරම් කියන්නේ කොහොමද ඔබ නැතිව‘ යනුවෙනි.

දැන් හැදෙන පරම්පරාව දන්නා ඔන්චිලි වාරමක් නැති සමහර විට රබන් පදයක් වුව රැප් කර ‘අන්න බලන් සකි’ මෙන්න බලන් බලන් සකි පාරට අතු නැමිලා’ යැයි ‍පොඩි සාප්ජයක් දමනු ඇති.

අලුත් අවුරුදු සුබ පැතුම් විද්්‍යුත් තැපෑලෙන් හුවමාරුවීම අලුතෙන්ම ඇතිවූ වෙනස්කමක් වන අතර සාමය සතුට සම්පත සුව සෙත ගාවා ලැබූ නව වසර සුබ නව වසරක් වේවා යන වර්ගයේ සාම්ප්‍රදායික සුබ පැතුමෙන් ඔබ්බට ගොස් නවීකරණය වූ බසක් නිමවා ඇත. බහු ප්‍රචාරයට නුසුදුසු බැවින් ඒවා නොලිව්වත් මේ වෙනස පර්යේෂණයට ලක් කිරීම සාහිත්‍යවේදියකුට හෝ සමාජ විද්‍යාඥයකුට ප්‍රයෝජනවත්වන බැව් නිසැකය.

එදා මෙදා නොවෙනස්ව පවතින අවුරුදු උද්යෝගයක් වන්නේ අලුත් ඇඳුම් පැලඳුම් ඇඳීමයි. අන් කවරදාකටත් වඩා ඒ සඳහා ඇති ඉල්ලුම නම් වැඩි වී ඇත. ජීවිතය පුරාම නිරුවත්ව සිටියා සේ ‍පොරකමින් ‍පෝලිම්වල තෙරපී ඇඳුම් මිලදී ගන්නේ තමාට අඳින්නට වඩා තෑගි දෙන්නටය. ඒ අලුත් අවුරුදු හරය නම් මෝස්තරයෙන් මිස අන් ලෙසකින් වෙනස් වී ඇතැයි සිතිය නොහැක. වෙළෙන්දන් අවුරුද්දට බහින්නේ මෙතැන් සිට සුපිරි රෙදිපිළි වෙළෙඳසල් අලුත් අවුරුදු සංකල්ප නිර්මාණය කරති. මේ අවුරුද්දේ මෝස්තර නිර්මාණ සංකල්පය ලිතේ තිබෙන නැකැත්වලට වඩා අලුත් පරම්පරාවට බලාත්මකය. එය සාධාරණීකරණය කරනු පිණිස අවුරුද්දේ උචිත පාට කල්තියා ලිතෙන් හොරකම් කර නිමැවීමට තරම් ඔවුන් ප්‍රඥාසම්පන්නය. සුපිරි වෙළෙඳසල් ඇතුළේ අමාරුවෙන් වියදම් කර වරිච්චි බිත්ති ගසා පැල් කොටයක් ඇටවෙන්නේ බක් මාසයටය.

වායුසමනය කළ වෙළෙඳසල් තුළ කෘතිම ගින්දර නිරූපණය කර අලුත් අවුරුදු ඩමියක් කොණ්ඩ කැවුම් පිසියි. අවුරුදු ලබන බව ඇතැම් විට නගරයට මතක් වන්නේ මුළු ජීවිතයටම රෙද්ද හැට්ට ඇඳ නැති යුවතියන්ව විනීත රෙදි හැට්ට ඇඳ පැලඳ බඩු විකුණන විටය. රුපියල් සියයේ ආස්මියේ සිට කොණ්ඩ කැවුම් හා කොකිස් දක්වා සියලු කැවිලි පෙවිලි වෙළෙඳ‍පොළට පැමිණ අවසන්ය. අලුත් අවුරුද්ද අවසානයේ නැකතට කෙසේ වෙතත් වැඩට යන විට ගෙනියන්නට මේවා කල් තියා ඇණවුම් කර තැබිමට මේ පරම්පරාව අමතක නොකරති. ලිතේ ඇති දිනයට හෝ වෙලාවට රාජකාරි සඳහා පිටත්වීම කළහොත් වෙන රස්සාවක් සොයා ගැනීමට සිදුවනු ඇතැයි ඔවුන් කියන්නේ හුදු හාස්‍යය පිණිසම නොවේ

නගරයේ කෙසේ වෙතත් ගමේ පවා එරබදු මල් සොයා ගැනීම උගහටය. කජු නාඹර කපා හත් මාලුවට දාන සම්ප්‍රදාය අලුත් යුවතියන් අතින් සිදු නොවන්නේ කජු කිරිවලින් අත හම යන එක වළක්වා ගනු පිණිසය. කජු පුච්චා තළා කැවිලිවලට දමනවාට වඩා ගෙදර යන ගමන් කඩේකට ගොඩ වී පැකට් කළ කජු ටිකක් ගෙන යාම පහසුය.

අහළ පහළ ගෙවල්වලට කැවිලි පිඟානක් බෙදීම සඳහා ප්‍රසිද්ධ බේකරිවලින් සකස් කළ කේක් මිලදී ගැනීමට කොපමණ ‍පෝලිමක් සිටින්නේ දැයි බැලීමෙන්ම මෙම තත්ත්වය පැහැදිලි වනු නිසැකය. බක්මස සැණකෙළිවල කෙරෙන කොට්ටා ‍පොර ගැසීම, කතුරු ඔන්චිල්ලා, පංච කෙළිය හෝ ඔළිඳ කෙළිය රට පුරාම දැකිය හැක්කේ බහු ජාතික සමාගමක අනුග්‍රහයෙන් ඒක රූපවාහිනියේ පෙන්වන නිසාය. ඇත්තටම එබඳු කෙළියක් දැකිය හැක්කේ එහෙමත් ගමකය. මාධ්‍ය ආවරණයක් ලැබෙන්නේ නම් එබදු සැණකෙළි ‍පොහොසත්ව සංවිධානය කරන අතර කල් තියා අවුරුදු උත්සව සංවිධානය කරන වෙළෙඳ සමාගම් අලෙවි ප්‍රවර්ධන සාම්පල් තෑගි වශයෙන් පිරිනමා අලුත් අවුරුදු වැඩ අල්ලති. තමන්ගේ මාධ්‍යය අහන බලන මුදල් දෙන මාධ්‍යයන්ද අලුත් පරම්පරාව හා එක්ව අලුත් අවුරුද්දක් අතාරින්නේ නැත.

අලුත් අවුරුද්දේ මහඟු සංස්කෘතික හර පද්ධතින් ඊළඟ පරම්පරාවට පැවරීමේදී අප ඛිෙදයක සිරවී සිටින බව පිළිගත යුතු සත්‍යයකි. නත්තල්, වෙසක්, ‍පොසොන්වලටත් වඩා අලුත් අවුරුද්ද වෙළෙන්දන්ගෙන් බේරාගත යුතුය. මන්ද දැන් සංස්කෘතිය පවරා දෙන්නේ පැරණි පරම්පරාව නොවේ. ජන මාධ්‍යය වෙළෙඳුන්ය. ප්‍රවණතා හදන්නේ ඔවුන්ය. කට පාඩම් ගීත ගයන කොවුලන් සිටින්නේ දැන්වීම්වලට පසුබිම් සංගීතය සපයනු පිණිසය. රබන් සුරල් වැයෙන්නේද ඒ සඳහාය. උත්සව අත්තිකාරම් ගෙන හතර අතට ණය වී අවුරුද්ද කන සේවකයන් ඉල්ලන් කන්නේ මැයි මාසයේය.

මේ සියල්ලෙන් ඔබ්බට චිරාගත සාම්ප්‍රදානුකූලව අවුරුදු සමරන තැන් නැතැයි මම නොකියමි. එහෙත් අල්පය. දුලබය. වෙනස්කම්වීම අරුමයක් නොවෙතැයි ඔබ සිතනු නිසැකය. සංස්කෘතියක් රකින්නේ වෙනස්වෙමින් ඉදිරියට ගියොත් පමණක්ය යන්න පිළිගත් ප්‍රවාදයකි. අපි මේ සියල්ලට හිස නමා එකඟ වෙමු. එහෙත් අලුත් පරම්පරාවට සංස්කෘතිය පවරා දෙන්නේ නම් ඒ වෙනස තුළ හිඳිමින් හර පද්ධතින් පමණක් රැක ගත යුතු තැනකට අප යා යුතුය. එසේ නොමැතිව ඩයිනෝසර් යුගයේ ක්‍රීඩා ගෙන්දගම් ‍පොළවේ සංවිධානය කිරීම, තුන් තිස් පැයේ ඩෙනිම් අඳින අයට රෙදි හැට්ට ඇන්ද වීම, සුපිරි වෙළෙඳසල් ඇතුළේ වරිච්චි බිත්ති ඇටවීම බදු බහුරූ කෝලම් තුළින් සිදුවන්නේ අලුත් අවුරුද්ද පරණ හාස්‍යයකට ඇන්දවීමය. මොරිස් මයිනර් වායු සමනය කර දුවන අලුත් අවුරුද්දක් වෙනුවට හයිබ්‍රිඩ් එක නිවැරදි පාරට ගැනීම අලුත් අවුරුද්දේ කළ යුතු හොඳම වැඩ ඇල්ලීමයි.

උඅජිත් ජයවර්ධන
වෘතීය මාර්ගෝප දේශන උපදේශක
කොළඹ විශ්ව විද්‍යාලය

fgh srdt u